නාවලපිටිය බස් නැවතුම්පොළෙහි දුර ගමන් බස් රථ නැවතීම වෙනස් කිරීමට එරෙහිව ඊට විරෝධය පාමින් හැටන්- මහනුවර ලංගම හා පුද්ගලික බස් රථ අද (24) වර්ජනයක නියළිණි.
හැටන් සිට මහනුවරට ධාවනය වන බස් රථ නාවලපිටිය බස් නැවතුමේ නතර නොකොට නාවලපිටිය තැපැල් කාර්යාලය ඉදිරිපිටටත්, මහනුවර සිට හැටන්වලට ධාවනය වන බස් රථ ගිනිගත්හේන පාරේ පැරණි උසාවිය අසලටත් බස් නැවතුම් රැගෙන යාමට විරෝධය පාමින් මෙම බස් රථ වර්ජනය ආරම්භ කොට තිබිණි.
මෙම බස් රථ වර්ජනය හේතුවෙන් හැටන් සිට මහනුවරටත්, මහනුවර සිට හැටන්වලටත් දිනපතා යන එන රාජ්‍ය හා පුද්ගලික ආයතනයන්ගේ සේවකයන් මෙන්ම පාසල් සිසුන් හා සෙසු මඟී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටියහ.
දැනට හැටන්- මහනුවර මාර්ගයේ ධාවනය වන ලංගම හා පුද්ගලික බස් රථ 32ක් වර්ජනයට එක්ව ඇති බවත්, බස් නැවතුම ඉවත් කිරීමේ ක්‍රියාවලියට වඩා විවිධ පාර්ශවයන්ගෙන් බස් රථ රියදුරු මහත්වරුන්ට හා කොන්දොස්තර මහත්වරුන්ට එල්ල වී ඇති තර්ජනයන් හමුවේ මෙසේ වර්ජනයේ නිරතව ඇති බව මේ පිළිබඳව කරන ලද විමසීමේ හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරී අනුර දොඩම්තැන්න මහතා පැවැසීය.
හැටන් -මහනුවර බස් රථ නාවලපිටිය බස් නැවතුමට ඇතුළු කොට එහි වැඩි කාලයක් නොනවත්වා සිට ධාවනය කිරීමට වැඩ පිළිවෙළක් සැකසීම මීට විසදුමක් බවත්, කෙසේ නමුත් අද (24) සවස මේ පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මීට සම්බන්ධ සියලුම පාර්ශවයන් එක්ව සාකච්ඡාවක් කැඳවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ