ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික වැටුමට අමතරව ගෙවනු ලබන සලාක දීමනාව 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි. ඒ අනුව නිලධාරීන් සඳහා ගෙවන සලාක දීමනාව රුපියල් 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රුපියල් 19,350 දක්වාද වැඩි කර තිබේ.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් වෙත ගෙවනු ලබන බවට 2019 අයවැය යටතේ ඉදිරිපත් කෙරුණු යෝජනාව අනුව මෙම ඉහළ නැංවිම සිදුකර තිබේ. විශේෂයෙන්ම මෙම දීමනා බොහෝමයක් පසුගිය වසර 20ක කාලයකින් වැඩිකිරීමක් සිදු කර නොමැති බවද අමාත්‍යාංශය සදහන් කරයි.
අදාළ සලාකයට ඇතුළත් ආහාර ද්‍රව්‍ය ලේඛනය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් පසුව කරන ලද ගණනය කිරීමෙන් අනතුරුව මෙම දීමනා වැඩි කිරිම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය පසුගිය සතියේදී ලබා දී තිබේ.
මීට අමතරව 2019 ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කිරීමටත්, ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළුව කොමාන්ඩෝ දීමනාව රු. 1,000/- සිට රු. 5,000/- දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.