මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ඇමරිකානු ඩොලර් මිලියන 91.26ක පමණ ඉන්දියානු සහනදායි ණය ආධාරයක් යටතේ සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමක් අද (18) දින කොළඹදී අත්සන් තැබිණ.
මහව සිට ඕමන්තේ දක්වා ඉන්දියානු සහනදායී ණය ආධාර යටතේ සංවර්ධනය කෙරෙන දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි. මී. 130ක් වේ. මෙය හරස් මාරු දුම්රිය ස්ථාන 12ක්, දුම්රිය ස්ථාන 7ක් සහ හරස් මාරු 78කින් සමන්විත වේ. මෙම දුම්රිය මාර්ගය නවීකරණය කෙරෙන්නේ වසර සියයකට පසු ප්‍රථම වරට ය.
මෙම ව්‍යාපෘතිය මගින් දැනට පැයට කි. මී. 60ක් වන මෙම දුම්රිය මාර්ගයේ වේගය පැයට කි. මී.120ක් දක්වා දෙගුණ කරනු ඇති අතර නඩත්තු පිරිවැයද අවම කරනු ඇත.
ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක පමණ ණය ආධාර මේ වනවිට ඉන්දියාව විසින් ලබා දී ඇත.
ප්‍රධාන දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම, උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, සුනාමියෙන් හානියට පත් දක්ෂිණ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආදිය සිදුකරන ලද්දේ ඉන්දියානු සහනදායී ණය ආධාර යටතේය.
ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකා දුම්රිය ක්ෂේත්රය තුළ කි. මී. 300ක පමණ දුම්රිය මාර්ග සංවර්ධනය කර ඇති අතර කි. මී. 330ක පමණ දුර ප්‍රමාණයක් සඳහා නවීන සංඥා සහ විදුලි සංදේශ පද්ධතීන් ලබා දී ඇත.
2017 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 318 ක නව ණය ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ණය ගිවිසුම යටතේ දුම්රිය මැදිරි 160 ක් ලබා ගැනීම, මහව සිට අනුරාධපුරය දක්වා සංඥා සහ විදුලි සංදේශ පද්ධතිය නවීකරණය කිරීම සහ රත්මලානේ දුම්රිය වැඩපළක් පිහිටුවීම ඇතුළු විවිධ ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඞීසල් බහු ඒකක 6ක්, දුම්රිය 10ක්, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 20ක්, ඉන්ධන ප්‍රවාහන දුම්රිය 30ක්, මගී ප්‍රවාහන මැදිරි 160ක් සහ බස්රථ 500ක් ද ඉන්දියාවෙන් ලබා ගැනීමට නියමිතය. එසේම ඉන්දියාව ශ්‍රී ලංකා දුම්රිය සේවකයන්ගේ හැකියා හා කුසලතා වර්ධනය කිරීමටද සැලකිය යුතු ලෙස දායක වී ද ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
IRCON හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ සුනිල් කුමාර් චෞද්රි මහතා සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා මෙම ගිවිසුම සඳහා අත්සන් තැබූ අතර ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී. ප්‍රනාන්දු මහතා, IRCON Intercontinental Limited හි විධායක අධ්යක්ෂ එස්. එල්. ගුප්තා මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික සහ වණිජ්‍ය අංශයේ ප්‍රධානී සුජා කේ. මෙනන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්විය.