පසුගිය ඇසළ පොහොය දිනයේ (16) සවස උණවටුන රූමස්සල කන්ද ප්රදේශයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මුහුදට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ දේහය අද (18) උදෑසන සොයාගැනීමට හැකිවූ බව හබරාදුව පොලීසිය පවසයි.
මෙලෙස හමුවී ඇත්තේ කාරියවසම් පතිරණගේ නිලංගන මලිත් (20) යන අයගේ සිරුරයි.
මොහු ගිණිමැල්ලගහ, පිටවැල්ලගොඩ පදිංචිකරුවකු වන අතර මීට දින දෙකකට පෙර තවත් තරුණයින් පිරිසක් සමග දියනෑම සඳහා රූමස්සල ප්රදේශයට පැමිණ සිටියදී මෙලෙස අනතුරට ලක්විය.
සිරුර සොයාගැනීමේ මෙහෙයුම් කටයුතු නාවුක හමුදා කිමිදුම්කරුවන් විසින් සිදුකරනු ලැබීය.
මෘතදේහය මේ වනවිට කරාපිටිය රෝහල වෙත ගෙනගොස් ඇති අතර ඒ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය මැටරැඹ හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව ඇත.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට