රුවන්වැලි සෑ රඳුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍ය සෑ රඳුන් මත පැළඳවීම හා ස්වර්ණාලේපිත කොත් වහන්සේ නිරාවරණය ලබන නොවැම්බර් 26 වැනිදා මහ සඟරුවනේ මූලිකත්වයෙන් සිදුකරන බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාමිහියෝ අද පස්වරුවේ මාධ්‍යයට ප්‍රකාශ කළහ.
මෙම අස්ථාව ඉතිහාසයේ අවුරුදු 80කට පමණ පසු සිදු කෙරෙන ඉතා දුර්ලභ පුණ්‍ය කටයුත්තක් බවත් මීට පෙර පැවැති කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය පැළඳ වූ අවස්ථාව සියැසින් දැක විස්තර කිරීමට තරම් මනා සිහිය ඇති කිසිවෙකු ජීවතුන් අතර නොමැති බවත් නාහිමියෝ එහිදී පෙන්වා දුන්හ.
එමෙන්ම මහනාහිමිවරුන් සමග තායිලන්තයේ සංඝනායක හිමිනමක හා ධූත පිරිසක් හැර වෙනත් කිසිදු ප්රභූවරයෙකු ආරාධිත අමුත්තන් ලෙස සහභාගී නොවන බවදඋන් වහන්සේ එහි දී අවධාරණය කළහ.
ඉකුත් 18 වැනිදා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ මහජන ප්‍රදර්ශනයට තබා ඇති චූඩා මාණික්‍ය හෙට (21) උදේ එහි සිට අනුරාධපුරයට වැඩම කරවිම ආරම්භ කර නිට්ටඹුව,වරකාපොළ,අඹේපුස්ස අලව්ව,පොල්ගහවෙල,පොතුහැර හා කුරුණෑගල නගරවලදී විනාඩි දහය බැගින් මහජනතාවට වන්දනාමාන කිරිමට ඉඩ ලබාදී එහිදි සවස 6 සිට කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයෙ දී ප්‍රදර්ශනයට තැබෙනු ඇත.
පසුදින අලුයම 6ට ඇත්කඳ විහාරයෙන් පිටත්වී පස්වරු 2ට කලාඔය පාලම අසලින් අනුරාධපුර සැදැහැවතුන් විසින් පිළිගෙන චූඩාමාණික්‍ය රථ පෙරහරින් අනුරාධපුරයට පැමිණ පස්වරුවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ප්‍රදර්ශනයට තැන්පත් කෙරේ. අනතුරුව මහසෑ මලුවේ නා ඇති විශේෂ ප්‍රදර්ශන කුටියන තැන්පත් කරන එය 24 වැනිදා දක්වා මහජනයාගේ වන්දනාමානයට ප්‍රදර්ශනය කර තැබේ. නොවැම්බර් 25වන දින සවස චූඩා මාණික්‍ය සෑ රදුන් මත පළඳවා 26 වන දින රන් ආලේපිත කොත් වහන්සේ හා චූඩාමාණික්‍ය නිරාවරණය උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ නාහිමියෝ
‘‘මහනායක හාමුදුරුවන් වහන්සේ තමා මෙහි ප්‍රධානත්වය දරන්නේ. සියලු කටයුතු වලට අනුග්‍රහය දැක්වූයේ විශ්ව පාරමී පදනම. මේ ගැන දුර්මත පැතිරුණේ එම පදනමට හෝ අපි කටවත් මේ ගැන අනවශ්‍ය ප්‍රචාරයක් නොකළ නිසා. මෙය සැබෑම පුණ්‍ය කටයුත්තක් ලෙස සලකා ඒ අරමුණින් තමා සියලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ. හැමෝටම ඇත්තේ විවෘත ආරාධනාවක්. විශේෂ ප්‍රභූන් නම් කළහොත් මෙහි අරමුණ හා මහජනයාට ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කිරීමට ඇති ඉඩකඩ අවහිර වෙනවා. නමුත් ඕනෑම කෙනෙකුට සැදැහවතුන් හැටියට සහභාගී වෙන්න පුළුවන්.
මෙම ප්‍රදර්ශනය නැරඹීමට ලක්ෂ පහකට අධික සැදැහැවතුන් පිරිසක් සහභාගී වෙතැයි අපේක්ෂා කරනවා. මෙම පිංකම සඳහා දායකවීමට කැමති නම් අනුරාධපුර මහනගරසභාව,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ අප විහාරස්ථානය අමතා දන්සැල් ආදිය භාරගත හැකියි.‘‘ යනුවෙන් නාහිමියෝ පැවසූහ.
මේ දක්වා කෝටි සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනයට පාත්රව තිබූ මෙතෙක් පැවැති චූඩා මාණික්‍ය රුවන්මැලි සෑ මලුවේ ගෞරවාන්විතව අඛණ්ඩව තැන්පත් කිරීමට ද කටයුතු යොදා ඇති බවද හේමරතන නාහිමියෝ පැවසූහ. එම කොත් වහන්සේ දාගැබෙහි තැන්පත් කර ඇත්තේ 1937 ජූනි 17වැනිදා යි. බුරුම රජයේ අනුග්‍රහයෙන් ලැබුණු එම චූඩා මාණික්‍ය පොකුණුවිට විනයාලංකාර නාහිමියන්ගේ මූලිකත්වයෙන් තැන්පත් කර ඇත.
එම මාධ්‍ය හමුවට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා ද එක්විය. උත්සව කටයුතු සංවිධානය කරනු ලබන්නේ අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා මත අනුරාධපුර රාජ්‍ය ආයතන ප්‍රධානීන් සැදැහැවතුන් ලෙස එක්වීමෙනි.