තලංගම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට කඩාවැදී එහි දේපළ වලට හානි කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතීපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට තිබු අභියාචනය නිශ්ප්‍රභ කොට ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට අද (30) දැනුම් දුන්නේය.
මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට තිබු අභියාචනය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් එම අභියාචනය නිශ්ප්‍රභ කොට ඇති බවද අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට විනිසුරුවරයා අභියාචන තීන්දුව පිළිබඳව දැනුම් දුන්නේය.
2008 වසරේ දිනයක තලංගම අරලිය උයන ප්‍රදේශයේ ‘කල්වාරී’ ආගමික මධ්‍යස්ථානයට කඩාවැදී එහි දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා තිබු නඩුවක් විභාග කළ කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය එම චෝදනාවෙන් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළාය.
එම මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර පසු අවස්ථාවක එම ඇපෑල නීතිපතිවරයා විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතූවෙන් එම අභියාචනය නිශ්ප්‍රභ කෙරිණි.
ඒ බව දැනුම් දීම සඳහා මෙම නඩුව අධිකරණයේ කැඳවනු ලැබු අතර අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසි වලට අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
ඒ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණය මෙම අභියාචනය නිශ්ප්‍රභ කොට ඇති බව දැනුම් දුන්නේය.