ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට වන පුද්ගලයන් ගෙන් ලබා ගන්නා ඇප මුදල, මැතිවරණය සඳහා වන සමස්ත වියදමින් 10%ක් හෝ රුපියල් මිලියන 05 දක්වා වැඩි කළ යුතු බවට මැතිවරණ ක්ෂේත්රයේ සාකච්ඡාවක් සිදුව තිබේ.
අනපේක්ෂිත ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂ්කයන් ප්රමාණය ඉහළ යාමෙන් මහ ජනතාවට දැරිය යුතු වියදම අධික වී ඇති හෙයින් මේ පිළිබඳ සාකච්ඡාව ඇති වී ඇතැයි 'අද' ට වාර්තා වේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඊයේ (06දා) වනවිට අපේක්ෂකයන් 41ක් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
අපේක්ෂකයන් ප්රමාණය වැඩි වීමෙන් මැතිවරණය සඳහා සහභාගීත්වය වැඩි වීම යහපත් ලක්ෂණයක් වුවද, කිසිදු දේශපාලන මතයක් නොදරන පුද්ගලයන්ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන් මැතිවරණය සඳහා වන වියදම ඉහළ ගොස් ඇත.
ජනාධිපතිවරණය සඳහා ඉතිහාසය වැඩිම අපේක්ෂකයන් ප්රමාණය ඇප තැන්පත් කළ ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය බවත්, ඒ හේතුවෙන් අමතර මිලියන සියයකට වඩා වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේදී දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා රුපියල් 50,000ක ඇප මුදලක්ද, ස්වාධීන කණ්ඩායම් සඳහා රුපියල් 75,000ක ඇප මුදලක්ද ලබා ගනියි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා නොමිලේ ගුවන් කාලය ලබාදීම, තැපැල් පහසුකම් ලබාදීම, ආරක්ෂාව ලබාදීම, ඡන්දපොළ නියෝජිතයන් පත්කිරීමට අවස්ථාව ලැබීම මෙන්ම තව තවත් වරප්රසාද රැසක් හිමිවේ.
එමෙන්ම දේශපාලන වාසි ලබාගැනීම, විදේශයන්හිදී දේශපාලන රැකවරණය ඉල්ලා සිටීම, විවිධ දේශපාලන ගනුදෙනු සඳහා යොමු වීමට ඇතැම් පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බවටද තොරතුරු වාර්තා වී ඇත.