ලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේදී අද (19) පැවති උත්සවයකදී මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ඇතැම් භාණ්ඩවල මිල වැඩි වී ඇති අතරම ඇතැම් භාණ්ඩවල මිල අඩුවී ඇති බවයි.
ලෝකය මේ වන විට ගෝලීය ආර්ථික ආර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඩොලරයේ වටිනාකම වැඩිවන විට අනෙක් සියලු මුදල්වල වටිනාකම අඩුවෙමින් පවතිනවා. සෑම රටකටම එය බලපානවා. එය ලංකාවට පමණක් සීමා වී නැහැ. එවිට අපේ බඩු මිල, තෙල් මිල ආදිය වැඩිවෙනවා.
ඇමෙරිකාවට එම ගැටලුව බලපා නැතත් අනෙක් සෑම රටකටම එය බලපා තිබෙනවා. ලෝකයේ විවිධ රටවල් අතර තීරු බදු ඝට්ටනයක් ඇතිව තිබෙනවා. ඒ හරහා ජාත්‍යන්තර වෙළෙඳාමට විශාල හානියක් සිදු වෙනවා. මේ තත්ත්වය සියලු රටවල්වලට බලපානවා. එහි බලපෑම වැඩිපුරම ඇතිවන්නේ දුප්පත් රටවල් වලටයි. අපටත් වඩා ඉන්දියාවට මේ තත්ත්වය බලපා තිබෙනවා. මෙම ගැටලුවට මුහුණදීම පිළිබඳ ලෝකයේ සෙසු රටවල් සාකච්ඡා කරමින් සිටිනවා.
රටේ ගැටලුවලට මුහුණදීමට අපේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඇතැම් භාණ්ඩවල මිල වැඩිවී තිබෙන අතර ඇතැම් භාණ්ඩවල මිල අඩුවී තිබෙනවා. ඇතැම් ජනකොටස් ඉතා අපහසුවෙන් ජීවත් වෙනවා. අප ඒ සියල්ල පිළිබඳ ඉතා හොඳින් දැනුවත්.
මෙම තත්ත්වයට මුහුණදීමට ඇතැම් රටවල් අධ්‍යාපන, සෞඛ්‍ය යන ක්ෂේත්රයන්ට යොදවන මුදල් ප්‍රමාණය අඩු කළත් අපි එම මුදල් අඩු නොකර ඉදිරියට යෑමට කටයුතු කරනවා. අපි අධ්‍යාපනයේ වටිනාකමට ගරු කරනවා. ගෝලීය ආර්ථික අර්බුදය නිසා ජනතාවට සහන සලසන්නේ කෙසේදැයි අප කල්පනා කරනවා."