ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදෙන බව කියන බදු සහන අසත්‍යක් බවත් ඒ සඳහා ඔහු ආදායම් උපදවන ආකාරය හෙළිකළ යුතු බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුව වෙත සටහනක් තබමින් ඔහු මේ බව පැවැසීය.
‘දවසින් දවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් කියන්නේ කුමක්දැයි වටහා ගන්නේ නැතිව විවිධාකාරයේ පොරොන්දු ජනතාව ඉදිරියේ තබමින් සිටී. අනුරාධපුරයට ගිය ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පොහොර නොමිලේ ලබාදෙන බවයි. අද පවතින මිල ගණන් අනුව පොහොර නොමිලේ ලබාදීම සඳහා අඩුම තරමින් රුපියල් බිලියන 35 ක්වත් වැයවෙනු ඇත.
එමෙන්ම පසුගියදා තේ කර්මාන්ත හිමියන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන බවත් පේයී බද්ද සහමුලින්ම ඉවත්කරන බවත් ය. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට ගියහොත් රුපියල් බිලියන 215 ක අඩුවක් අයවැයට එන අතර පේයී බද්ද ඉවත් කළොත් රුපියල් බිලියන 41 ක් ඉවත්වනු ඇත.
ඔහු දැනමටත් ප්‍රකාශ කර ඇති එම කරුණු තුන එනම්, පොහොර සහනාධාරය ඉවත් කිරීම, පේයී බද්ද ඉවත් කිරීම, වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම යන කරුණු විසින් රුපියල් බිලියන 290 ක් හෝ ඊට වැඩි ගණනක හිඟයක් ආණ්ඩුවේ ආදායම්වලට එකතු වනු ඇත.
මෙය සරළව ගතහොත් ආණ්ඩුවේ ආදායම් දැනට පවතින තත්වයන් යටතේ ආණ්ඩුවේ ආදායම් හා අදායම්වලින් 1/4 කට ආසන්න ප්රමාණයකි. කොටින්ම කියනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 2% ක පමණ විශාල ප්රමාණයකි.
ඔහුට වෙනත් ආදායම් උපක්‍රම නොතිබුණහොත් මෙය පියවාගැනීම සඳහා රජයේ සේවකයින්ට ගෙවන පඩිනඩි වලින් 25% ක් කපා හැරිය යුතුයි. නැතහොත් රජයේ සේවකයින්ට ගෙවන විශ්‍රාම වැටුප්වලින් 85% ක් කපා දැමිය යුතුයි.”