ගුරු, විදුහල්පති සේවාවේ දිගු කලක් තිස්සේ විසඳුම් ලබා නොදී පැවති ගැටලු රැසකට විසඳුම් ලබා දෙන්නට තම නායකත්වය යටතේ හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
රටේ අධ්‍යාපන ක්ෂේත්රය වඩාත් සක්‍රීය ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවන බවත්, සියලු වෘත්තිකයින් බිහිකළ හැකි එකම වෘත්තිය ගුරු වෘත්තිය වන හෙයින් රැකියාවකට එහා විහිදුණු ගෞරවණීය වෘත්තියක නිරත වන සියලු ගුරු, විදුහල්පතිවරුන් වෙත කෘතවේදීත්වය පළ කරන බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් පුහුණු මානව සම්පත් ආයෝජනය කළ යුතු බවත් සේවා තෘප්තියක් සහිතව තම වෘත්තීය මෙහෙවරෙහි යෙදෙන්නට සියලු ගුරු, විදුහල්පතිවරුන්ට අවකාශ සැලසිය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.
2015 වසරේ දී අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු ආරම්භ කරන්නටත් පෙර විපක්ෂයේ වසර 10 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක් වශයෙන් ගුරු, විදුහල්පති සේවාව තුළ පැවති විවිධ ගැටලු හඳුනාගත් බැවින් ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් හඞ නැගු බවත්, පසුගිය රජය සමයේ මෙරට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධව නිසි අවධානය යොමු නොකිරීම සහ දේශපාලන න්යායපත්ර අනුව වාසිදායක තීන්දු තීරණ පමණක් ක්‍රියාවට නංවමින් කටයුතු කිරීම හේතුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පැහැදිලිවම වෘත්තීය පසුබැමකට හා කළකිරීමට ලක්ව සිටි බව ඔහු අවධාරණය කළේය.
මේ නිසා අන් කවර රජයකටත් වඩා එම ගැටලු කෙරෙහි සංවේදීවෙමින් දිගුකාලීන ස්ථාවර විසඳුම් ක්‍රියාවට නැංවුයේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
වැටුප් සම්බන්ධව සලකා බැලීමේ දී 2015 වසරේ පැවති තත්ත්වය සහ 2020 වසර වනවිට එක් එක් ශ්‍රේණිවල ගුරු, විදුහල්පතිවරුන්ට උපයාගත හැකි වැටුප වැඩිවී ඇති ආකාරය අනුව මේ බව මැනවින් තහවුරු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි