වවුනියාව ඉරට්ටපෙරියකුලම වැවේ දිය නෑම වෙනුවෙන් පැමිණි දෙමළ තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අද (15දා) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසීය.
වවුනියාව, වෙප්පම්කුලම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 20ත් අතර වයසේ පසුවන තරුණයන් හය දෙනෙකු මෙසේ දිය නෑමට පැමිණ ඇති අතර, එයින් තරුණයන් දෙදෙනෙකු මෙසේ දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි .
තෛපොන්ගල් දිනය නිමිත්තෙන් අදාළ තරුණයන් මෙම ස්ථානයේ දිය නෑමට පැමිණි ඇති අතර, ගල් තලාවක් ආසන්නයේ දිය නෑමට ගොස් ඇති අවස්ථාවක එක් තරුණයෙකු හදිසියේ ගලෙන් ලිස්සා දියට වැටී ඇති බවත්, පසුව එම තරුණයා බේරා ගැනීමට තවත් තරුණයින් සිවුදෙනෙකු දියට පැන ඇති බවත් පොලීසිය පවසයි.
එහිදී ඔවුන්ගෙන් තරුණයෙකුද දියේ ගිලී ඇති බවට මේ පිළිබඳව සිදුකළ මූලික පරික්ෂණවලදී හෙළි වූයේ යැයි පොලීසිය සඳහන් කළේය.දියේ ගිලුණ තරුණයින්ගේ මළ සිරුරු ප්රදේශයේ තරුණයින් විසින් ගොඩගත් අතර, දිය නෑමට පැමිණි සෙසු තරුණයන්ගෙන් ඊරට්ටපෙරියකුලම් පොලීසිය විසින් වැඩිදුර ප්රශ්න කිරීම් සිදු කරයි.