එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ එහි මහලේකම්වරයා ලෙස තමන් සහභාගි නොවීමට හේතුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැහැදිලි කර තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්විය හැක්කේ එම පක්ෂයේ නිලධාරීන්ට බව අමාත්‍යවරයා සඳහන් කරයි.
“නාමයෝජනා භාර දීම සඳහා සහභාගී වීමට අවසර ඇත්තේ අදාළ පක්ෂයේ ලේකම්වරයා,නීතිඥවරයා සහ අපේක්ෂකයාට පමණක් බව මැතිවරණ නීතිය දන්නා ඕනෑම පුද්ගලයෙකු හොඳින් දන්නා කරුණකි.
ඒ අනුව ඊයේ දිනයේ පැවති නාම යෝජනා භාර දීමේ අවස්ථාව සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරිය, නීතිඥවරයා සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පමණක් සහභාගි වූ බව සඳහන් කළ යුතුය.
තත්ත්වය එසේ පැහැදිලි ව තිබියදී එය නොදන්නවා සේ ඊට වෙනත් අර්ථකථන ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා, මහලේකම්වරයා සහ උප නායකයා ඊට සම්බන්ධ නොවූ බව ප්‍රකාශ කරමින් තම දේශපාලන අඳබාලභාවය ප්‍රදර්ශනය කරමින් සිදුකරන අර්ථ විරහිත ප්‍රකාශ රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන බංකොලොත්භාවය සමාජය හමුවේ නිරාවරණය කර ඇත.” යනුවෙන් ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.