ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වෛද්‍යවරුන් 2,300ක් හා හෙද හෙදියන් 8,000ක් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,000ක හිඟයක් ඇතැයි අද (11දා) පැවැති පළාත් ආණ්ඩුකාරවරුන්ගේ රැස්වීමේදී අනාවරණය වී තිබේ.
බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ උදෑසන පැවැති මෙම රැස්වීමේදී පළාත් ආණ්ඩුකාරවරුන් විසින් අදාළ පළාත් සභා රෝහල්වල පවතින අඩුපාඩු පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුවත් කර ඇති අතර, එහිදී මේ බව අනාවරණය වී ඇත.
ඒ අනුව රට තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,000ක හිඟයක් පවතින බවත්, මේ වනවිට පුහුණුව අවසන් කර ඇති එම නිලධාරිනියන්ගේ සංඛ්‍යාව 552ක් බවත් අනාවරණය වී ඇති අතර, තවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 400 දෙනෙකු පුහුණුව ලබමින් සිටින බවද සඳහන්ව තිබේ.
එසේම මේ වනවිට හෙද හෙදියන් 8000ක පමණ හිඟයක් පවතින බවත්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ ඉදිකෙරෙන හෙද පීඨය මගින් තවත් හෙද උපාධිධාරීන් 2000ක් පමණ බිහිකිරීමට නියමිත වන බවත් සඳහන් කර ඇති අමාත්‍යවරයා, ඖෂධවේදීන්, සමසෞඛ්‍ය සේවා නිලධාරීන්, අතුරු වෛද්‍ය සේවා සඳහා වැඩි වශයෙන් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවද පවසා තිබේ.