ඓතිහාසික කූරගල පුදබිමට විදුලිය ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග පවත්වන සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් අත්නොවුණ හොත් පොලීසිය දැනුවත් කර, එම ස්ථානයට විදුලිය ලබාදෙන ලෙස තමන් විදුලිබල මණ්ඩලයට දන්වා ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා අද (11දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කූරගල පුදබිමට යන මාර්ගයේ කිලෝමීටර් 04ක් දුරට විදුලිය ලබාදී තිබෙන බවත්, තවත් විදුලි කණු 26ක් පමණක් සිටුවීමට තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
පුදබිමට විදුලිය ලබාදීම සඳහා කටයුතු කරගෙන යනවිට ඉහළින් පැමිණි නියෝගයක් අනුව එය නතර තිබූ බවත්, ආගමික ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් මෙම විදුලිය ලබාදීම සිදුකළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
"මේ සම්න්ධයෙන් එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සහ මන්ත්‍රීවරුන් ගණනාවක් අපෙන් ඉල්ලීමක් කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණොත් දැනට අවශ්‍ය විදුලි කණු 26, දින 04කදී ලබාදෙන්න අපි සූදානම්. ඒක අපි එක දවසක් පටන්ගෙන කටයුතු කරගෙන යද්දී දෙවැනි දවසේදී ඒක නවත්වන්න කියලා ඉහළ නියෝග ඇවිත් තිබුණා. ලක්ෂ 10කට දවස් 04කදී ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒක වෙන්නැත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය නැති නිසයි. අපි ඒ සම්බන්ධයෙන් පොලීසිය සමග කතා කරලා විසඳන්න දැන් කටයුතු කරගෙන යනවා. මේක දැවෙන ප්‍රශ්නයක් ලෙස සලකා ආගමික ප්‍රශ්නයක් ඇතිනොවන විදියට මේ ප්රශ්නය විසඳන්න අවශ්‍යයි.
මේක නතර කරන්න කාටද අවශ්‍ය වෙලා තියෙන්නේ කියන ප්රශ්නය අපට තිබෙනවා. අපි අවසර අර ගෙන, බඩුත් අර ගෙන ගිහින් එම ස්ථානයේ විදුලිය ලබාදීමේ කටයුතු කරන්න සූදනමින් ඉන්නවා. වැඩ පටන් ගත්තට පස්සේ එක පාරට ඒක නවත්වලා තිබෙනවා. එහෙම නතර කළේ ඇයි කියලා අපි ඇහුවාම කිව්වේ ඉහළ නියෝගයක් අනුව නැවැත්තුවා කියලා. අපි මේක කැබිනට් එකෙත් කතා කළා. ඒකට සමථයතකට පත්විය යුතු උත්තරයක් ලබාගත යුතුයි.
ඇයි දෙන්නේ නැත්තේ කියන ප්රශ්නය තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට ඒ සඳහා ලක්ෂ 11ක වැය වෙනවා. අපි විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපත්තිය අනුව තාවකාලික නිවාස හැර ඕනෑම තැනකට අපි විදුලිය ලබාදෙනවා. කූරගලට කිලෝමීටර් 04ක් දැනට විදුලිය ලබාදී තිබෙනවා. ඉතිරි කණු 26 දාන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ" යැයිද පවසා සිටියේය.