මුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්රදේශයේ මෙවර යල කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු යායකට මෙතෙක් ලබා දුන් ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 120ක් පමණ විනාශ වී යාමේ දැඩි අවධානමක් පවතින බවට එම ගොවීහු කියා සිටිති.
මුලතිව් හා කිලිනොච්චිය අතර පිහිටි කල්මඩුකුලම් වැවේ ජලය වසර ගණනාවක් පුරාවට මෙතෙක් මහකන්නයේ ගොවිතැන් කටයුතු සිදු කොට අවසන් වූ පසු වැඩි ජලය වැවේ බටහිරින් පිහිටි විෂ්වමඩු හා නෙත්තලිආරු ප්රදේශයන්හි කුඹුරු වෙතට ලබා දුන්නද පසුගිය සතියේ සිට එම ජලය ලබා දීම වහාම නැවැත්වීමට කල්මඩු කුලම් වැවේ ගොවි සංගමය විසින් පියවර ගෙන ඇත.
මේ හේතුව නිසාවෙන් විෂ්වමඩු හා නෙත්තලිආරු කුඹුරුවල ගොවිතැන් කල ගොයමට ජලය නොමැති වීමෙන් සියලු ගොයම් පැළ විනාශ වීමේ අවධානමක් පවතින බැවින් කල්මඩුකුලම් වැවේ ජලය ලබා දෙන ලෙසට එම ගොවීහු ඉල්ලා සිටිති.
මේ අතර ගොවිතැන් කළ ගොවීහු පිරිසක් කල්මඩුකුලම් වැවේ ගොවි සංගමය සමඟ සාකච්ඡාවක් සිදු කොට ඇති අතර එහිදී ගොවි සංගමය විසින් පවසා ඇත්තේ මේ දිනවල දිවයින පුරා පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් කල්මඩු කුලම් වැවේ ජලය ගොවිතැන් වෙතට ලබා දුනහොත් කල්මඩු කුලම්හි ජනතාව විශාල ප්රමාණයක් විපතට පත්වන බවටත් මේ සම්බන්ධයෙන් සියලු ගොවි සංගම් සමඟ සාකච්ඡා කොට තීරණයක් ලබා දෙන බවටත්ය.