ජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
අද (12) කොළඹදි පැවති රැස්විමකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.
මේ තුන්පාර්ශ්වයට එකිනෙකාට දොස් පවරා ගන්නවා මිස රටේ පාලන බලය ගැන බලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යෝජනා කරන නම් වෙනුවට අමාත්‍යංශවල නියෝජ්‍ය අමාත්යවරුන්වම වැඩ බලන ඇමැතිවරුන් ලෙස පත්කරන්න ජනාධිපතිවරයා තිරණ කළා. මේකෙන් අර්බුදය උග්‍ර වුනා.
අද වනවිට රටේ බලය පාලක පන්තියෙන් ගිලිහිලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වහාබ් අන්තවාදය ගැන පරික්ෂණ පැවැත්වෙනවාද අපි කිසිවෙක් දන්නේ නැහැ. රජයේ අවධානය ඊට යොමු නොවිම නිසා අපි ඉන්නේ වෙනදාටත් වඩා අනාරක්ෂිත තත්ත්වයක. ලංකාවේ නිදහසින් පස්සේ මෙවැනි තත්ත්වයක් ඇති වුණු පළමු අවස්ථාව.
ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය අපිට තේරුම් ගන්න වෙනවා. ව්‍යවස්ථාවේ හත්වෙනි පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ විධායකයේ සන්නද්ධ සේවාවල ප්රධානියායි. කැබිනට් මණ්ඩලය පත් කිරිම නීති විරෝධීයි කියලා සභානායක කිරිඇල්ල කියනවා. කැබිනට් මණ්ඩලය රැස් නෙවෙන්නේ ඇයි කියලා සොයා බලා තත්ත්වය නිවැරදි කිරීමයි ඔවුන් කළ යුතු වන්නේ. අගමැති කියනවා පාර්ලිමේන්තුවේ 225ම රටට එපා වෙලාලු. ඒක ඔවුන්ගේ අලුත් කතාව. 225 කියන්නේ ආණ්ඩුව නෙවෙයි. ජනාධිපති අගමැති හා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුයි ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුව තමන්ගේ අකාර්යක්ෂමතාවය හංගලා 225ටම ඒ අකාර්යක්ෂමතාවය ගාවලා තමන්ට බැරි දේ අනිත් අයටත් බැහැ කියන්නයි හදන්නේ.
විපක්ෂයේ හොඳට වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ අය වැඩ කරලා තියෙනවා. වැඩ පෙන්වලා තියෙනවා. එයාලාගේ වැඩ බැරිකම හැමෝටම ආරෝපණය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයකයි අගමැතිවරයා ඉන්නේ. පක්ෂයේ ජනාධීපතිවරයා සමඟ හෝ සමගියක් ඇති කරගන්න අගමැතිට බැරිවෙලා. රටේ ප්‍රධාන ප්රශ්නය දැන් ආණ්ඩුවෙන් ගිලිහිලා. පාස්කු ප්‍රහාරයෙන් 300ට වඩා මැරිලා 500ට වඩා තුවාල ලැබුවා. ඒ තුවාල වුණු අයට බෙහෙත් නැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා ඒ අය බලන්නවත් ගිහින් නැහැ. මේක ඛේදවාචකයක්. වැරදිකාරයෝ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ආගම අදහන්න ගිය අය විතරයි.
කෂිනි හපුආරච්චි