2011 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාඳීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා හිටපු අමාත්‍යවරයාගෙන් කරුණු විමාසා තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා තමාගෙන් මේ පිළිබඳ දුරකථනයෙන් කරුණු විමසා සිටි බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බවත්ය.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත අනුව ස්ථාපනය කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අලුත්ගමගේ මහතාගෙන් මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්හ. ඒ පසුගිය 24 වැනිදා නාවලපිටියේ පිහිටි මහින්දානන්ද මහතාට අයත් කාර්යාලයේදීය.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් විශේෂ විමර්ශන අංශය වෙත තමාගේ පැමිණිල්ල කරුණු විසිහතරකින් යුත් පිටු හයකින් සමන්විතව ලබාදී ඇති අතර, ඊට අදාළ ලියකියවිලි අටක්ද ලබාදීමට පියවර ගෙන තිබිණි.
මීට අමතරව මෙම තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.