වසර ගණනාවක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ පදිංචි තමන්හට, පුරාවිද්‍යා නිලධාරින් විසින් පානීය ජලය ලබාදීම අත්හිටුවා ඇතැයි පවසමින් පූජා නගරයේ ඇතුල්නුවර පදිංචිවැසියන් අද (09 දා) උද්ඝෝෂණයක නිරත වූ අතර, පසුව ඔවුහු අනුරාධපුර පුරාවිද්‍යා නිලධාරි කාර්යාලය වැටලූහ.
මෙම උද්ඝෝෂණයට මල්වතු පටුමග, අනුලා මාවත, සංඝමිත්තා මාවත, ගෙඩිගේවත්ත, භයාගිරිය පාර යන ගම්මානවල පදිංචිකරුවන් 200 කට ආසන්න ප්‍රමාණයක් හා භික්ෂු භික්ෂුන් පිරිසක් එක්ව සිටියහ.
ඔවුහු සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ පෙළපාලියේ පැමිණ මෙසේ පුරාවිද්‍යා කාර්යාලය වැටලූහ.
අනුරාධපුර සිංහ කණුව ආසන්නයේදී ආරම්භ කළ උද්ඝෝෂණයෙන් පසු එම උද්ඝෝෂකයින් අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය දෙසට කඩා වැදී ජලය ලබානොදෙන්නේ ඇයිදැයි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළහ.
මෙම උද්ඝෝෂණයට ඇතුල්නුවර සමස්ත බෞද්ධ උරුමයන් සුරැකීමේ සංවිධානයේ සංවිධායකවරයා වන එම්.කේ. මානවඩු මහතා පැවසුවේ ඇතුල්නුවර ප්‍රදේශයේ පදිංචි ඇතැම් පිරිසට පානීය ජලය ලබා ගැනීමට යාමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විවිධ අවස්ථා වලදී විරෝධතාවයන් දක්වා ඇති බවයි. මිනිසාගේ ජිවත්වීමේ අයිතිය නැති කරන නිලධාරීන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය පවත්වන බව ඔහු සඳහන් කළේය.
මේ සිද්ධිය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ඞී.එම්. පියතිලක බණ්ඩා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියාසිටියේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය පී.බී. මණ්ඩාවල මහතාට මෙම ගැටලූව යොමු කළ බවත්, ලැබුණ උපදෙස් අනුව කොන්දේසි සහිතව එම පිරිසට ජලය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවය.