නව කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දක්වන අනියත බිය හේතුවෙන් චීන ආහාර සපයන අවන්හල්වලට ශ්‍රී ලාංකිකයන් පැමිණීම ප්‍රතික්ෂේප කිරීම සහ චීන සංචාරකයන්ගේ පැමිණීම අවම වීම සමග කොළඹ නගරයේ බොහෝ චීන අවන්හල් මේ වන විට සිය මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජනතාවද වෙනදා මෙන් චීන අවන්හල් වෙත නොයෑම නිසා අවන්හල් පවත්වාගෙන යෑම තවදුරටත් අසීරු වී තිබේ.
අද (03දා) කොළඹ නගරයේ සංචාරය කිරීමේදී මෙසේ තම මෙහෙයුම් නවතා දැමූ ස්ථාන කිහිපයක්ම දැක ගැනීමට අවස්ථාව ලැබුණි. ඇතැම් අවන්හල්වල කටයුතු වෙනදා පැවති මට්ටමින් 80 ක පමණ ප්‍රමාණයකින් අඩු වී තිබේ.
චීන ජාතිකයන් මෙම ව්‍යාපාර පවත්වාගෙන ගියත් එහි සේවය කිරීම සඳහා කොන්ත්‍රාත් හා අනියම් පදනමින් ශ්‍රී ලාංකිකයන් යොදවා තිබුණ අතර එම ව්‍යාපාර ස්ථාන තම මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීම හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිසටද රැකියා අහිමි වී තිබේ.
මේ අතර නව කොරෝනා වෛරසය කිසිම අහාරයකින් බෝ නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතාද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. කොරෝනා වෛසරය ආසාදනය වූ අයෙකුගේ සෙම තවත් අයෙකුගේ ශරීර ගත වුවහොත් පමණක් ඔහුට හෝ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වන බව ඔහු සඳහන් කරයි.
“කිසිම ආහාරයකින් මේ කොරෝනා රෝගය බෝ වෙන්නේ නැහැ. මේ රෝගය බෝවෙන්නේ රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්. කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන් තවත් කෙනෙකුගේ ශරීරය මත පතිතවීමෙන් හෝ ශාරීරයට පතිතවීමෙන් පමණයි. ඒ නිසා කිසිම ආහාර වර්ගයකින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැහැ."
එසේම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති වී ඇති බිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් සමග ගැටීම ඇතැම් ශ්‍රී ලාංකිකයන් අකැමැත්ත පළ කරන්නට පටන් ගෙන තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් මේ වන විට ස්වයංව හුදෙකලා වී තිබේ. මේ හේතුවෙන් වෙනදා මෙන් කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ දක්නට ලැබෙන චීන ජාතිකයන්ද ද දක්නට නොලැබුණි.
ඡායාරූප ශමීර රාජපක්ෂ