ලිංගිකත්වය කියන දේ පුදුම මැජික් එකක් හා බරපතළ අපරාධයක් විදිහට තමයි ලංකාවේ සමාජය හිතාගෙන ඉන්නේ
( නිඳුක් මධුෂීක ) 2018-06-13 10:32:41
Comments - 0       Views - 854

තිර පිටපත් රචකයෙක්, ග්‍රන්ථ රචකයෙක්, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් ලෙස නිර්මාණ කාර්යයෙහි නියැළෙන ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය නිර්මාණය වන මං කෙලින් මිනිහෙක් ‍මේ මස 15 හා 16 යන දිනවලදී ප.ව 3.30ට හා 7.00ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වීමට නියමිතය. ඔහු නමින් අසංක සායක්කාරයි. මේ කතාබහ ඔහු සමගිනි.


unnamed

? මං කෙලින් මිනිහෙක් වේදිකා නාට්‍යය හරහා සමාජගත කරන්න උත්සාහ කරන්නේ මොකක්ද

පවතින සමාජයේ මම දකින දෙය, මට දැනෙන දෙය, මේ සමාජයේ මගේ  විග්‍රහය තමයි හැමවිටම මම නාට්‍ය පෙළක් ලෙස ගෙන එන්නේ. මේ මොහොතේ මම අත්දකිමින් සිටින යම් දේශපාලනික යථාර්ථයක් තිබෙනවා. ඒ යථාර්ථය වෙන විදිහකට කරළියට ගේන්න කළ උත්සාහයක් තමයි මං කෙළින් මිනිහෙක් කියන්නේ. අපි දකින දේශපාලනය හා ලිංගිකත්වය අතර තිබෙන තදාත්මක බැඳීම ලංකාවේ දේශපාලනයට සහ සමාජයට බලපෑම් ඇති කළේ කොහොමද කියන දේ නාට්‍ය ප්‍රවේශයක් ලෙස මෙවර වේදිකාවට ගෙන එනවා.

?ඔබට මේ ප්‍රවේශය ගන්න සිදුව තිබෙන්නේ වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ

නාට්‍යයේ පිටපත රචනා කරමින් සිටින විට අපි දැනගෙන හිටියා මෙය වැඩිහිටියන්ට පමණයි කියන සීමාව තුළ වේදිකාගත කළයුතු නාට්‍යයක් කියලා. මෙය ඍජුවම ලිංගිකත්වය ගැන කතා කරන නාට්‍යයක්. මීට පෙර අපි ලිංගිකත්වය ගැන කතා කරන නාට්‍ය නිර්මාණ කර තිබෙනවා. එහිදී ඍජුවම අපි ලිංගිකත්වය ගැන කතා කළේ නැහැ. වක්‍රෝක්තියෙන් තමයි අපි ඒ නාට්‍යය තුළ ලිංගිකත්වය කියන කාරණය කතා කළේ. නාට්‍යයේ පිටපත රචනා කරද්දිම අපි මෙය වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනය කළයුතු නාට්‍යයක් කියන තැන හිටියා. මොකද මේ සාකච්ඡාව අපිට පොඩි ළමයි එක්ක කරන්න බැහැ. ඒ වගේම වැඩිහිටි බබාලා එක්ක මේ සාකච්ඡාව කරන්නත් බැහැ. ඇත්ත වැඩිහිටියෝ එක්ක තමයි අපිට මේ සාකච්ඡාව කරන්න වෙන්නේ. මේ පිටපත රැඟුම්පාලක මණ්ඩලයට යොමු කළාම ඔවුන්ගෙන් ලැබුණු නිර්දේශය වුණෙත් වැඩිහිටියන්ට පමණයි කියන එක. ඒ නිසා මේ නාට්‍යය වැඩිහිටියන්ට පමණයි කියන සීමාව තුළ තමයි වේදිකාගත වෙන්නේ.

 33141845_954797844697969_5440238407290716160_n

?මේ මොහොතේ ලිංගිකත්වය කියන කාරණය මෙතරම් විවෘතව වේදිකා නිර්මාණයක් තුළින් කතා කළ යුතුයි කියන තැනට එන්නේ ඇයි

ලිංගිකත්වය කියන දේ පුදුම මැජික් එකක් හා බරපතළ අපරාධයක් විදිහට තමයි ලංකාවේ සමාජය හිතාගෙන ඉන්නේ. එය නිර්මාණයක් තුළින් හෝ පුපුරවා හැරිය යුතුයි. මේ සමාජය වෙන මාවතකට තල්ලු කළ යුතුයි. මෙය පුපුරවා නොහරින තාක් කල් අපි ලිංගික කුහකයෝ විදිහට මිය යනවා. මේ සමාජයත් පසුපසට යනවා මිසක් නැවත පෙරගමනක් ඇතිවෙන්නේ නැහැ. ලිංගිකත්වය මැජික් එකක් කියන තැනින් ගලවලා එය සාමාන්‍ය දෙයක් බවට ගෙන එන්න ඕන. එහි එක කෑල්ලක් විදිහට මේ නාට්‍යය ගන්න පුළුවන් වෙයි.

?ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මේ නාට්‍යය කොයි විදිහට කියවයිද

මේ නාට්‍යය භාරගැනීම සම්බන්ධව අපිට පූර්ව නිශ්චයන් නැහැ. පූර්ව නිශ්චයන් අපිට කරන්න බැහැ. ලංකාවේ සමාජය හා ලංකාවේ ප්‍රේක්ෂකාගාරය කියන්නේ නීර්ණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආවෘත්ත වූ සමාජයක් තියෙන්නේ. ආවෘත්ත වූ සංස්කෘතියක් ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි මුහුණදීපු සිදුවීම එක් උදාහරණයක්. මේ නාට්‍යයට අවශ්‍ය උපකරණ ගැනීමේදී සමහර මිනිසුන් දැක්වූ ප්‍රතිචාර එක්ක අපිට මේ සමාජය ගැන හිතාගන්න පුළුවන්. මේ නාට්‍යය කොළඹ සීමාවෙන් පිටතට අරගෙන යන්න අමාරු වෙයි කියන තැනක තමයි අපි ඉන්නේ. නාට්‍ය බලන්න හුරු වූ ප්‍රේක්ෂකයන් මේ නාට්‍යය නාට්‍යමය ආකාරයෙන් භාරගනියි. නමුත් නාට්‍ය හුරුවක් නැති ප්‍රේක්ෂකාගාරයකට මෙය ගෙනයද්දී අපිට යම් දුෂ්කරතාවකට මුහුණදෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවා මේ නාට්‍යය පෙන්වන්න පුළුවන් වෙයිද කියන සැකය අපිට තියෙනවා. ඒ නිසා මේ ආරම්භයේ සිටම අපේ කවය තුළ තිබූ තීරණය තමයි මේ නාට්‍යයේ දර්ශන වාර පවත්වන්න සූදානම් වෙන්නේ නැහැ කියන එක. කොළඹ නිශ්චිත රඟහලවල් කිහිපයක මේ නාට්‍යය මසකට වරක් පමණ පවත්වන්න හිතනවා. ඒ හැරුණුකොට කවුරුන් හෝ මේ නාට්‍යය කොළඹින් පිට පෙන්වන්න උත්සාහ කරනවා නම් ඔහු මුලින් පැමිණ නාට්‍යය බලන්න කියලා අපි කියනවා. එය නරඹා ඔහුගේ ප්‍රේක්ෂකාගාරයට මේ නාට්‍යය ගෙනයන්න පුළුවන්ද කියලා ඔබම තීරණය කරන්න කියලා කියනවා. මොකද නාට්‍යය ගෙනිහින් ඇතිවන ප්‍රශ්නවලට වඩා පෙර තීරණය කරලා තියෙනවා නම් හොඳයි. ඒ නිශ්චය පමණයි අපිට තිබෙන්නේ. කොළඹ ප්‍රේක්ෂකාගාරය පවා මොන විදිහට මෙය භාරගනීද කියලා අපි දන්නෙ නැහැ.

?එතරම් දර්ශනවාර පවත්වන්න උත්සාහ කරන්නේ නැහැ කියන කාරණාවත් එක්ක වේදිකා නාට්‍යයක් කරන එක  ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මකයි නේද

අනිවාර්යයෙන්ම. මේක අතිශය අභියෝගයක්. වැඩිහිටියන්ට පමණයි කියන සීමාව වැටෙනවාත් එක්කම ලංකාවේ වේදිකා නාට්‍යයක් වේදිකාගත කරන්න පුළුවන් සීමාව පටු වෙනවා. කොළඹින් පිටට මේ නාට්‍යය ගෙනයන්න බැරි වෙනවා. ඒ නිසා මූල්‍යමය වශයෙන් මේ නාට්‍යය පාඩු වෙයි. නමුත් අපි එය නෙමෙයි සැලකිල්ලට ගත්තේ. මේ මොහොතේ යමක් කියන්න තියෙනවා. ඒ දේ වෙනුවෙන් අපි මේ නාට්‍යය කරනවා. නාට්‍යයක් කියන්නේ විශාල පිරිසකගේ ශ්‍රම මැදිහත් වීමක්. ඒ ශ්‍රමයට අපි ගෞරව කරන්න ඕන. ඒ නිසා අපිට හැකි ප්‍රමාණයෙන් මසකට වතාවක් කොළඹ දිස්ත්‍රික්කය තුළ පෙන්වමින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.

33148003_232931487474141_4064478713578782720_n

?මේ නාට්‍ය නිර්මාණයට දායක වන ශිල්පීන් ගැන කතා කළොත්

පැය එකයි විනාඩි දහයක් වැනි කාලයක් තුළ හෝටල් කාමරයක දෙදෙනෙකු අතර ඇති වන සිදුවීමක් ගෙන එනවා. එය අපි උත්සාහ කරන්නේ ස්වාභාවික රංග රීතිය තුළ හසුරවන්න. මූලිකවම නළුවා හා නිළිය ගැන කතා කළ යුතුමයි. කෙල්මන් ආරියසිංහ කියන මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සමිත සුදීෂ්වර කියන රංගන ශිල්පියා. ඔහු වසර හතරක පමණ කාලයක් සිටියේ එංගලන්තේ. ඔහු පැමිණෙනතුරු මම මේ නාට්‍යය කරන්න බලන් හිටියා. ඔහු සමග මේ නාට්‍යය කරන්න ඕන කියන කාරණයට හේතුවක් තියෙනවා. සමිත සහ මම අවුරුදු විස්සකට ආසන්න කාලයක් එකට නිර්මාණ කර තිබෙනවා. ඒ නිසා මම කියන්න උත්සාහ කරන දේශපාලනය හා මට ඔහුව හසුරුවන්න පහසුව තමයි මූලික වුණේ. මෙහි රංගන ශිල්පිනිය ගැන කතා කළොත්, මේ චරිතය ඉතාම අභියෝගාත්මක චරිතයක්. එයට රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සමග වැඩ කරන්න සිද්ධ වුණා. නිළියන් කිහිපදෙනෙක් මේ නාට්‍යය දාල ගියා. සමහර අයට මේ නාට්‍යය තුළ අපි කතා කරන දේශපාලනය සම්බන්ධ ගැටලු තිබුණා. සමහරුන්ට මේ චරිතය වේදිකාව තුළ කිරීමේදී යම් යම් අපහසුතා පිළිබඳ ප්‍රශ්න තිබුණා. එවැනි ප්‍රශ්න තිබියදී තමයි කැලුම් ගම්ලත් කියන රංගන ශිල්පිනිය මෙයට සම්බන්ධ වෙන්නේ. ඇය මේ නාට්‍ය රංගනයෙන් පසු ලංකාවේ වේදිකාව තුළ වෙනත් විදිහක ස්ත්‍රී නිරූපණයක් ගෙන එයි. සංගීත නිර්මාණය පූර්ණිමා විජේසුරිය සිදුකරනවා. ආලෝකකරණය ශිරාන් ලක්ෂිත, ශබ්ද පරිපාලනය සුමිත් ප්‍රේමචන්ද්‍ර, වේදිකා පරිපාලනය නාමල් ගමගේ හා අජිත් සංජීව, පසුතල නිර්මාණය උපුල් චමිල, ඇඳුම් නිර්මාණය ලංකා බණ්ඩාරනායක, අංගරචනය ප්‍රේම්ජයන්ත් කපුගේ හා මෙහි ප්‍රචාරක කටයුතුවලදී ලෝගෝ සහ ග්‍රැෆික් නිර්මාණ සංජය ඈපා සෙනවිරත්න විසින් සිදුකරනවා. වීඩියෝ සංස්කරණය කටයුතු ලයාල් නිශාන්ත, නිශ්චල ඡායාරූපකරණය විරාජ් ලියනආරච්චි, සමාජ මාධ්‍ය මෙහෙයවන අයත් මතක් කළ යුතුයි

?මේ ප්‍රකාශනය සමාජගත කරන්න උත්සාහ කරද්දී මීට විරුද්ධව ගොඩනැගෙන කතිකාවතකට සූදානම්ද

සංස්කෘතික පොලීසිවලින් එල්ල වූ ප්‍රහාර අපිට හැමදාම තිබුණා. ඒ සම්බන්ධයෙන් බයක් නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්. ඒක ප්‍රශ්නයක් නැහැ. සාධාරණ විවේචන භාරගැනීමට සූදානම්. අපිට ඔවුන් සමග සංවාදයක් තියෙනවා. මං හිතන්නේ ඒ සංවාදය විවෘත වෙනවා නම් ඒක හොඳ දෙයක්. අතින් පයින් ගහගෙන මේ වැඩේ කරන්න බැහැ. සංවාදය ඉදිරියට එනවා නම් ඒ සංවාදය සඳහා පෙනී සිටින්න ඕනෑම මොහොතක අපි සූදානම්.

ලිංගිකත්වය කියන දේ පුදුම මැජික් එකක් හා බරපතළ අපරාධයක් විදිහට තමයි ලංකාවේ සමාජය හිතාගෙන ඉන්නේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :