එජාපයේ සමාජ වෙළෙඳ පොළ වෙස් මාරුව
( . . ) 2018-06-12 09:04:43
Comments - 0       Views - 313

ආර්ථිකය සම්බන්ධයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන මත දරණ පුද්ගලයන් දරන්නේ එකිනෙකට වෙනස් මතයන්ය. ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථික ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව අතීතයේ සිටම සාකච්ඡාවක් තිබුණද තවමත් රට නිවැරදි මාවතකට යොමු කරන ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමට අපට නොහැකි වී තිබේ. මේ අතර පසුගියදා වියත් මග සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආර්ථික සංවර්ධන සැලැස්ම ගැනද විවිධ මත ඉදිරිපත් වේ.


‘වියත් මග’ සමුළුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික සංවර්ධන දැක්ම අද වන විට සමාජයේ සෑම කෙනෙකු අතරම බෙහෙවින් කතාබහට ලක්ව තිබේ. එම වියත් සංවාදය ඉතා වැදගත් බව මගේ විශ්වාසයයි.

එ.ජා.ප.ය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් පසුගියදා සිදු කළේය. උගත් ආර්ථික විශේෂඥයෙකු වන ඔහුගේ එම ප්‍රකාශය මෙරට දේශපාලන කඳවුරු දෙකේ ආර්ථික ප්‍රතිපත්ති වෙන් කර හඳුනා ගැනීමට ඉතා හොඳ අවස්ථාවකි.

වර්ධනයේ එන්ජිම

ඔහු ප්‍රකාශ කළේ ‘77න් පසු පෞද්ගලික අංශය රටේ වර්ධනයේ එන්ජිම (engine of growth) ලෙස හඳුන්වනවා’ කියාය. එම ආර්ථික ක්‍රමයට බොහෝ විට සරලව භාවිත කරන වචනය ‘විවෘත ආර්ථිකය’ (open economy) වුවත් ඊට වඩාත්ම ගැළපෙන වචනය ‘ලිබරල් හෝ නූතන - ලිබරල්’ (neo-liberalism) හෙවත් ‘ලිහිල් ආර්ථික’ ක්‍රමයයි.

එනම් රටේ ආර්ථිකය මුළුමනින්ම පෞද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කළ යුතු වන අතර, ඒ සඳහා රජයේ මැදිහත්වීම සිදු නොවිය යුතුය යන්නය. පෞද්ගලීකරණය (privatization), නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, සහනාධාර වැනි රාජ්‍ය වියදම් අවම කිරීම (austerity), බදු වැඩි කිරීම (taxation), සීමා, මායිම්, අණපනත් සහ වෘත්තීය සමිති ඉවත් කිරීම (deregulation), තරගකාරීත්වය (competition), පරිභෝජනවාදය (consumerism), ඍජු විදේශ ආයෝජන (Foreign Direct Investments) සහ නිදහස් වෙළෙඳාම (free trade) වැඩි කිරීම ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියේ අනිවාර්යය ලක්‍ෂණයි.

එය තනිකරම වෙළෙඳ පොළ මත පදනම් වූ (market-based economy) ආර්ථික ක්‍රමයකි. එනම් ඉල්ලුම සහ සැපයුම (supply-and-demand) මත පමණක් සියල්ල තීරණය වන ක්‍රමයකි. ඒ නිසා ‘වෙළෙඳ පොළ ආර්ථිකය’ යනු නූතන ලිබරල් ආර්ථිකයටම කියන තවත් නමකි.

ඔබ දන්නා පරිදි එක්සත් ජාතික පක්‍ෂය බලයට පැමිණි සෑම විටම ක්‍රියාත්මක කරන්නේ මෙම ක්‍රමයයි. ඔවුන්ට අනුව රට සංවර්ධනය කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය එයයි. ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල (සියල්ලක්ම නොවේ) භාවිත කළ ආර්ථික ක්‍රමය එයයි.

බලාපොරොත්තු සුන්වීම

නමුත් එම ක්‍රමය හරහා අප බලාපොරොත්තු වන සමාජ සංවර්ධනය සිදු නොවන බව දැන් දැන් එම රටවලටත් අවබෝධ වෙමින් පවතී. එමගින් සමාජයේ ඇති නැති පරතරය දරුණු ලෙස වැඩි වී, මහා සමාජ අසාධාරණයක් සහ පාරිසරික ඛේදවාචකයක් සිදු වෙමින් පවතින බව අපි දනිමු. 2008න් ඇරඹි ලෝක ආර්ථික අර්බුදය නිසා බොහෝ රටවල ආර්ථික ලිහිල්භාවය ‘අඩු වීමට’ පටන් ගෙන තිබේ.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ විවෘත වෙළෙඳ පොළෙන් ඉවත් වීමට ඡන්දය දීම (Brexit), ඇමෙරිකානු ජාතිය සහ එක්සත් ජනපදය මූලික කරගත් (America-first) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැඩිකල් ආර්ථික සහ අන්තර්ජාතික ප්‍රතිපත්තියත් එම වෙනස් වීම ඔප්පු කරන මහා පරිමාණ පිපිරීම් ලෙස හැඳින්විය හැකිය.

එම නිසා නූතන ලිබරල්වාදීන් ඔවුන්ගේ ආර්ථික ක්‍රමය යම් ප්‍රමාණයකට වෙනස් කරගන්නට පෙළඹී තිබේ. ‘සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය’ (social market economy) ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හඳුන්වන්නේ එයයි. එනම් වෙළෙඳ පොළ අනුව සියල්ල සිදු වීමට ඉඩ නොදී, රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය හෙවත් ‘සමාජ සාධාරණත්වය’ උදෙසා රජය නැවත වරක් ආර්ථික ක්‍රියාවලියට මැදිහත් වීමය. එය සැබැවින්ම නූතන ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකභාවය පිළිගැනීමකි.

සමාජවාදයේ විකාශනය

ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ පැරණි සමාජවාදී සහ නූතන ජාතිකවාදී පක්‍ෂ සියල්ලම (ජ.වි.පෙ. හැර) පොදුවේ හැඳින්වීමට හැකි වඩාත් සුදුසුම යෙදුම ‘එ.ජා.ප.යේ ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධ දේශපාලන පිල’ යන්නය. එම පක්‍ෂවල ප්‍රතිපත්ති සහ පුද්ගලයන් වෙනස් වන එකම තැන එයයි. පැරණි සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති (socialist economy)වලින් ආරම්භ කරන ඔවුන්ගේ දේශීය සහ ජාතික ආර්ථික ක්‍රමය 77න් පරාජයට පත් විය. ඇතැම් මහා පරිමාණ රාජ්‍ය ව්‍යාපාර (සංස්ථා සහ සමාගම්) පෞද්ගලීකරණය වූ අතර, අනෙක් ඒවා බංකොළොත් කෙරිණි. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත වරක් ඉදිරියට එනුයේ 2005දී මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් රජයෙනි.

නමුත් එය ඔවුන්ගේ මුල් සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් බොහෝ වෙනස් ස්වරූපයක්. ඔවුන් නූතන ලිබරල් ආර්ථික ක්‍රමය පිළිගන්නා ගමන්, රාජ්‍ය මැදිහත් වීමද සිදු කරනු දැකගත හැකි විය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමෙන් නැවත පවරා ගැනීම, රුපියලේ අගය පාලනය කිරීම ඊට උදාහරණ වේ. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුහු ‘සමාජවාදී ලිබරල්’ ආර්ථික ක්‍රමයක් (socialist liberal economy) අනුගමනය කළහ. එය ‘මිශ්‍ර ආර්ථිකය’ (mixed economy) ලෙසද හැඳින්වේ.

මධ්‍ය ලක්‍ෂ්‍යය

නූතන ලිබරල් ආර්ථිකය දකුණු කොනටත්, සමාජවාදී දේශීය ආර්ථිකය වම් කොනටත් දමා රේඛාවක් ඇන්දොත්, එහි හරි මැද තිබෙන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයයි. එ.ජා.ප.ය පසුගිය කාලය පුරාවට සිටියේ එම රේඛාවේ දකුණු කෙළවරේය. ආචාර්ය හර්ෂ ද සිල්වා කියන ‘සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය’ මහින්ද රාජපක්‍ෂ රජයේ මිශ්‍ර ආර්ථික ක්‍රමයට ආසන්නය.

නමුත් ඔවුන් අද කියන පරිදි ඔවුන්ගේ අලුත් ආර්ථික ප්‍රතිපත්තිය මිශ්‍ර ආර්ථිකයට ආසන්න නමුත් දකුණට බර ක්‍රමයකි. පෞද්ගලික අංශයේ ‘කාර්යක්‍ෂමතාව වැඩි කිරීමෙන් සමාජ සාධාරණය සිදු කරනවා’ යැයි ඔහු කියන්න ප්‍රවේසම් වන්නේ ඒ නිසා විය යුතුය. එය ‘සත්‍යය’ නම්, ඔවුන්ගේ එම දරුණු ප්‍රතිපත්තිමය වෙනස් වීම ගැන මම පුදුම සහ සතුටු වෙමි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා යෝජනා කරන ‘සමාජවාදී වෙළෙඳ පොළ’ ආර්ථිකය අර මැද ලක්‍ෂයෙන් තරමක් වමට බර බව මගේ අදහසයි. ‘සමාජවාදී වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමය හරහා ආර්ථිකය වර්ධනය කරන අතර, රටේ ස්වෛරීභාවය සහ සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතු’ යැයි ඔහු කියන්නේ ඒ නිසාය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ මෙම නව ආර්ථික දැක්ම තව තවත් විග්‍රහ කරමින් ජනතා අදහස් විමසිය යුතුය.

බැලූ බැල්මට එ.ජා.ප.යේ 2025 ආර්ථික ප්‍රතිපත්ති සහ ‘වියත් මග’ 2030 ආර්ථික ප්‍රතිපත්ති යෝජනා එක හා සමාන ලෙස පෙනීමට හේතුව එයයි. දෙපිරිසම සිටින්නේ මැද ලක්‍ෂයට ආසන්නයේ නමුත් දෙපැත්තට බරවය. එම සූක්‍ෂම නමුත් වැදගත් වෙනස ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු වේ. (පැහැදිලි කිරීමේ පහසුව සඳහා රේඛීය විග්‍රහයක් කළත්, මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ පහත දැක්වෙන ප්‍රස්ථාරයයි.)

නමුත් ප්‍රතිපත්ති තරම්ම වැදගත් වන අනෙක් දේ නම් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාවය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කතාව පමණක් තනිව නොගෙන ‘වියත් මගේ’ අනෙක් කථිකයන්ගේ අදහස් සමග එකට ගත යුත්තේ එබැවිනි. උදාහරණයක් ලෙස මාගේ කතාවේදී පැහැදිලි කළ අනාගත අභියෝග සඳහා ඉදිකළ යුතු සමාජ ව්‍යවසාය ක්‍ෂේත්‍රය ඉහත ආර්ථික ක්‍රම සමග පෑහෙන ආකාරය ප්‍රායෝගිකව සාකච්ඡා කළ යුතුය. එවැනි පළල් වියත් විවාදයක් සඳහා සුදුසු ජනමාධ්‍ය වේදිකාවක අවශ්‍යතාව දැන් තදින්ම දැනේ.

වැරදි අර්ථකථන

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔහුගේ පැහැදිලි කිරීම අවසානයේ පටු දේශපාලන කතාවකට මෙම සන්දර්භය ලඝු කිරීම අවාසනාවකි. චීනයේ රාජ්‍ය සංස්ථා සහ කොමියුනිස්ට් පක්‍ෂය ඈඳා ගනිමින් ඔහු අභූත බියක් ඇති කිරීමට උත්සාහ දරයි. එයින් ඔහුගේ වියත් බව හෑල්ලුවට ලක් වීම ගැන මම කනගාටු වෙමි. චීනයේ රාජ්‍ය ව්‍යවසාය ක්‍ෂේත්‍රයේ සිදු කළ මහා සංශෝධන ගැන ඔහු දත යුතුය. ඔහු විසින් නිතර හුවා දක්වන සිංගප්පූරුවේ පවා මහා පරිමාණ ව්‍යාපාරවල අඩු හෝ වැඩි අයිතිය ඇත්තේ සිංගප්පූරු රජයට බව ඔහු දත යුතුය.

යුරෝපයේ බොහෝ සංවර්ධිත රටවලත්, මැද පෙරදිග පොහොසත් රටවලත් විශාලතම සමාගම්වල අයිතිය එම රටවල රජයයන් සතුය. ඒවා කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑමෙන් රජය විශාල ලාභයක් උපයන අතර, එම ලාභය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන සහ අනෙකුත් පොදු ක්‍ෂේත්‍රවල උන්නතිය සඳහා ආයෝජනය කෙරේ.

ඒ වගේම ඒ සෑම රටකම සංවර්ධනය සඳහා දායක වන පෞද්ගලික ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමටද එම රාජ්‍යයන් කටයුතු කරනු ලැබේ. එම රටවල ජීවත් වන ජනතාවගේ සුභසිද්ධිය මූලික කර ගනිමින් ඔවුන් එම ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරගෙන තිබේ. එක්සත් රාජධානියේ දරුණුතම ආර්ථික අර්බුදය පවතින විට පවා ඔවුන්ගේ පෞද්ගලික සමාජ ව්‍යවසාය ක්‍ෂේත්‍රයේ මහා පරිමාණ රාජ්‍ය ආයෝජනයන් සිදු කළේ එබැවිනි. වෙනත් වචනවලින් කිවහොත් ඔවුන් සැබැවින්ම අනුගමනය කරන්නේ ‘සමාජවාදී වෙළෙඳ පොළ’ ආර්ථික ක්‍රමයකි. එය ක්‍රියාත්මක කරන උපායමාර්ග (strategy)වල යම් යම් වෙනස්කම් තිබේ.

සත්‍යය සහ අසත්‍යය

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආර්ථික යෝජනා මහින්ද රාජපක්‍ෂ රජයේ මිශ්‍ර ආර්ථික ක්‍රමයටත් වඩා සුභදායක ප්‍රායෝගික දැක්මකි. අප සැබැවින්ම බිය විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා කරන ලද කතාවටය. එනම් ඔහු සහ ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීවරුන් නොසිටින්නට අද වන විට ලංකා බැංකුවක්, මහජන බැංකුවක්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවක්, උකස් සහ ආයෝජන බැංකුවක් පවා නොතිබෙනු ඇතැයි ඔහු කීවේ එ.ජා.ප.යේ නූතන ලිබරල් ආර්ථික ක්‍රමයේ පෞද්ගලිකරණයේ හස්තය නැවතත් ක්‍රියාත්මක වීම ඔහු විසින් වැළැක්වූ නිසාද?

එ.ජා.ප.යේ මේ සමාජ වෙළෙඳ පොළ ආර්ථික වෙස් මාරුව සත්‍යයක්ද? නැතිනම් ඔවුන් නැටවෙන විදේශ බලවේග ඔවුන්ට උගන්වන ‘යහපාලනය’ වැනි තවත් රැවටිලිකාර ප්‍රෝඩාවක්ද? එය ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුය. ඒ සඳහා ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් තිබේද යන්න නම් ගැටලුවකි.

  එරන්ද ගිනිගේ  (Democracy Earth සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති) 

එජාපයේ සමාජ වෙළෙඳ පොළ වෙස් මාරුව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :