දූෂණයට, වංචාවට එරෙහි වන බව පෙන්නමින් ජාතික විගණන පනත කුණු කූඩයට දැමීම සාධාරණද?
( ඉන්දික හේවාවිතාරණ ) 2018-06-11 10:17:40
Comments - 0       Views - 171

රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම, අවභාවිතය වැළැක්වීම, නාස්තිය පිටුදැකීම, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් ප්‍රධානම පොරොන්දුය. බලයට පත්වූ පසු මෙම පොරොන්දුව ඉටුකිරීම සඳහා ජාතික විගණන පනත සම්මත කර විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන බවටත් ජනතාව හමුවේ පොරොන්දු ලබා දුන්නේය.


Auditor-Generals-Dept

දේශීය හා විදේශීය විද්වතුන්ගේ මැදිහත්වීම මත ජාතික විගණන කෙටුම්පත 2003 වසරේදී සකස් කර තිබේ. මෙම පනත නීත්‍යනුකූල පනතක් බවට පත්වීමට නම් ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය සේම, පාර්ලිමේන්තු අනුමැතියද හිමිවිය යුතුය. එහෙත් 2003 වසරේ සිට අද දක්වා බලය හෙබවූ ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුවද මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නොහැකිවී තිබේ.

අවුරුදු 10කට ආසන්න කාලයක් රට පාලනය කළ රාජපක්ෂ ආණ්ඩුවට මෙම පනත සම්මත කිරීමට නොහැකිවිය. මේ නිසා 2003 වසරේ සකස් කළ ජාතික විගණන පනත සම්මත කර රට තුළ ක්‍රියාත්මක කරන බවට වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු ලබාදුන්නද තවමත් එම පොරොන්දු ජනතාව මුලාකරන ඡන්ද පොරොන්දුවක් බවට පත්වෙමින් තිබේ. මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ලොකුම බොරුව කළ ආණ්ඩුව ලෙසත් වර්තමාන ආණ්ඩුව පත්වී තිබේ.
එනම් වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු ක්‍රියාත්මක කිරීමට එළිදැක්වූ දින 100 වැඩසටහනට අනුව 2015 පෙබරවාරි 19 වැනි දින විගණන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම වසරේ මාර්තු 19 සම්මත කරදෙන බවට පොරොන්දු ලබාදී තිබුණද එම පොරොන්දුව ඉටු නොවූ අතර, 2015 වසරේ අප්‍රේල් 20 වැනිදා වර්තමාන අගමැතිවරයා විසින් විගණන කෙටුම්පත මුල්වරට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණ.

අප්‍රේල් 20 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවී තිබූ අතර කෙටුම්පත ගැසට් කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙන බවට එකල වාර්තා විය. එහෙත් මේ වසරේ මාර්තු 16 වනතෙක් අදාළ කෙටුම්පත ගැසට් කිරීමට බලධාරීන්ට නොහැකිවිය. 

කෙටුම්පත මුල්වරට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 2015 වසරේ අප්‍රේල් 20 වැනිදා සිට මේ වසරේ මාර්තු 16 වැනිදා දක්වා කාලය තුළදී වගන්ති 57කින් යුත් ජාතික විගණන පනත 24 වතාවක් සංශෝධනයට ලක්කර තිබේ.
24 වතාවක් සංශෝධනය කිරීමෙන් පසු වගන්ති 57කින් යුත් ජාතික විගණන පනතේ වගන්ති දෙකක් ඉවත් කිරීමටත් කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ. මෙම සංශෝධන සිදුකිරීමේදී රටට වැදගත් රටේ මුදල් ආරක්ෂා කිරීම තිබූ ප්‍රධාන වගන්තියක තටු කපා දැමීමටත් කටයුතු කර තිබේ.

එනම් 2003 වසරේ සකස් කළ ජාතික විගණන කෙටුම්පතට අනුව යම් රාජ්‍ය ආයතනයක මූල්‍ය වංචාවක් සිදුවුවහොත් එම මුදල් රජයට නැවත අයකර දීම සඳහා අධිභාර පැනවීමට විගණකාධිපතිවරයාට බලය පැවරෙන වගන්තියක් ඇතුළත් කර තිබුණි. මෙම වගන්තිය තවත් ශක්තිමත් කර රාජ්‍ය මුදල් සුරක්ෂිත කිරීම ඉවත දමා වර්තමාන ආණ්ඩුව විසින් අධිභාර පැනවීම විගණන සේවා කොමිසමට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරා තිබේ.

එහෙත් මීට පෙර තිබූ වගන්තියට අනුව රාජ්‍ය සේවයේ ස්වාධීන පුද්ගලයෙකු වන විගණකාධිපතිට අදාළ පරීක්ෂණ සිදුකර අධිභාර පැනවීමේ බලය හිමිවූ අතර, ඒ පිළිබඳව අභියාචනා විගණන සේවා කොමිසමට සිදුකිරීමට අවශ්‍ය නීති සකස් කර තිබුණි. ජාතික විගණන පනත සකස්කිරීමට පෙර අධිභාර පැනවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන් සතුවූ අතර, රාජ්‍ය අමාත්‍යාංශවල මුදල් වියදම් කිරීමේ නිලධාරියාත් බොහෝ විට අමාත්‍යාංශ ලේකම්ය. 

මේ අනුව මුදල් භාවිත කිරීමේදී X නමැති අමාත්‍යාංශ ලේකම් අතින් වරදක් සිදුවුවහොත් ඒ පිළිබඳව පරීක්ෂා කර අධිභාර පැනවීම නොහොත් අලාභය අය කරගැනීමේ කටයුත්තත් X නමැත්තාට පැවරීම හොරාගේ අම්මාගෙන් පේන අහනවා නොව, හොරාගෙන්ම පේන ඇසීමක්^ වැන්නය. පොදුවේ සමස්ත අමාත්‍යාංශ ලේකම්වරුන් %හොරුන්^ යැයි අප කිසි විටෙකත් පවසන්නේ නැත. එහෙත් පසුගිය ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපති ලේකම්වරයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙකුටම මූල්‍ය චෝදනා එල්ල විය.
විගණන සේවා කොමිසම ගැන කතා කරන විට, වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දුවකට අනුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යටතේ පිහිටුවූ ආයතනයකි. මේ අනුව 2015 වසරේ දෙසැම්බර් 11 වැනිදා සිට විගණන සේවා කොමිසම ක්‍රියාත්මක වේ. විගණන සේවා කොමිසම බලාත්මක ආයතනයක් බවට පත්කිරීමට නම් ජාතික විගණන පනත රට තුළ ක්‍රියාත්මක විය යුතුය.

එහෙත් අද දක්වා ජාතික විගණන පනත සම්මත කරගැනීමට නොහැකිවී තිබෙන අතර, මේ අනුව විගණන සේවා කොමිසම ආරම්භ වූ දා සිටම කිසිදු වැඩක් නොකරන ආයතනයක් බවට පත්වී ඇත. විගණන සේවා කොමිසම සක්‍රීය ආයතනයක් නොවුනද කොමිසම පවත්වාගෙන යන ගොඩනැගිල්ලට ආණ්ඩුව මාසිකව රුපියල් 562,000ක මුදලක් ගෙවන අතර, සේවක වැටුප් හා දීමනා ලබාදීම සඳහා මාසිකව රුපියල් 821,000ක් වැයකිරීමට සිදුව තිබේ. 

කොමිසමේ සාමාජිකයන්ට දීමනා ගෙවීමට මාසිකව රුපියල් 482,000ක් වැයවන අතර,  වාහනවලට ඉන්ධන සඳහා රුපියල් 7000ක්, විදුලිය සඳහා රුපියල් 27,000ක් දුරකථන සඳහා රුපියල් 17,000ක් ආරක්ෂක සේවා සඳහා රුපියල් 64,000ක් පිරිසුදු කිරීමේ කටයුතු සඳහා රුපියල් 93,000ක් මාසිකව රජය විසින් දැරිය යුතු වේ. මේ අනුව කොමිසම නඩත්තු කිරීම සහා මාසිකව රුපියල් 2,073,000ක් වැයකරනු ලබයි.

2015 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වාම මෙම මුදල වියදම් වුවද අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් විගණනය කිරීමට කිසිදු අධිකාරි බලයක් නොමැත. යම් ලෙසකින් මෙම ආයතනයේ කටයුතු විගණකාධිපතිවරයා විසින් පරීක්ෂා කිරීමකට ලක් කළහොත් ඔහුගේ නිර්දේශවල ලිවීමට සිදුවන්නේ විගණන සේවා කොමිසම රාජ්‍ය මුදල් විනාශ කර දමන ආයතනයක් ලෙසටය. එහෙත් මේ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න විගණකාධිපතිවරයාට සටහන් දැමීමටද නොහැකිවනු ඇත.
මන්දයත් විගණන කොමිසම නිෂ්ක්‍රීය ආයතනක් බවට පත්ව තිබීමේ හා මුදල් විනාශ කරන ආයතනයක් බවට පත්කිරීමේ කණ්ඩායම් තුළ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් හා කැබිනට් මණ්ඩලයත් සිටින බැවිනි. රටේ දේශපාලඥයන්ගේ වරදින් මෙවන් තත්ත්වයක් උදාවී තිබුණත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැක්ම වී ඇත්තේ රාජ්‍ය ගණන්දීමේ වගකීම සහ යහපාලනය පෙරදැරි කරගත් රාජ්‍ය අංශයේ මග පෙන්වන්නා වීමය. 

ආයතනයේ මෙහෙවරවී තිබෙන්නේ තිරසාර සංවර්ධනයක් උදෙසා මනා මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම තහවුරු කරනු වස් විගණනය මෙහෙයවීම මගින් යහපාලනය සහ රාජ්‍ය ගණන්දීමේ වගකීම ප්‍රවර්ධනය කිරීමය. එහෙත් දේශපාලඥයන් සිදුකරන වගකීම් විරහිත ක්‍රියා නිසා රාජ්‍ය මුදල් අවභාවිත වූ ආයතනයක් ලෙසටත් නුදුරු දිනයකදී විගණන කොමිෂම නම් වුවහොත් ඒ ගැන කනගාටුවට පත්විය යුතුද නැත.
මන්දයත් හොරකම, දූෂණය, වංචාව පිටුදකින බවට බොහෝ දේශපාලඥයන් පම්පෝරි ගැසුවත් බොහෝ දේශපාලඥයන්ගේ කැමැත්තවී තිබෙනුයේ, ජාතික විගණන පනත කඩාකප්පල් කර දැමීමටය. ජාතික විගණන පනත සම්මත වී විගණන සේවා කොමිසම සක්‍රිය වුවහොත් මෙරටේ වංචා, දූෂණ සිදුකරන දේශපාලඥයන්ට, දූෂණ, වංචා ක්‍රියාවල නිරත වීමට හැකියාව නොලැබේ. මීට අමතරව වංචා, දූෂණ සිදුකරන රාජ්‍ය නිලධාරීන්ට වංචා, දූෂණ මගින් මහජන මුදල් අවභාවිත කිරීමටත් අවස්ථාවක් නැත. එනිසා ජාවාරම්කාර දේශපාලඥයන් කිහිපදෙනෙකු හා රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් මෙම පනත සම්මත වීම වැළැක්වීම සඳහා විශාල උත්සාහයක් නිරත වන බව නොරහසකි.

එසේ නොමැති වුවානම් අඩුම තරමින් මේ වසරේ මාර්තු මාසයේදී ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 03 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටද ඇතුළත් කළ කෙටුම්පත අද වනවිට පාර්ලිමේන්තුවේ සම්මත වී හමාරය.
පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව විවාදයක් ඇති කර සම්මත කිරීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ගැසට් කර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ තිබෙන ජාතික විගණන පනතට තවත් සංශෝධන දෙකක් ගෙන ඒමට සැලසුම් කර තිබීමය.
අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් හරහා මෙම සංශෝධන සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, මීට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදුකර තිබෙන බවද වාර්තාවේ. 

මෑතකාලීනව කැබිනට් මණ්ඩල පත්‍රිකා සම්මත කිරීමේ ක්‍රමවේදය තුළ එකම කැබිනට් පත්‍රිකාවට අවස්ථා දෙකකදී කැබිනට් අනුමැතිය හිමි වී නැත. එහෙත් ජාතික විගණන පනතට 2015 අප්‍රේල් 20 වැනිදාත් 2018 වසරේ මාර්තු 06 වැනි දිනත් කැබිනට් අනුමැතිය හිමිවී ඇත. මීට අමතරව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ වනවිට සංශෝධනයවී තිබෙන්නේ 19 වතාවක් පමණි. එහෙත් ජාතික විගණන පනත මේ වනවිට 24 වතාවක් සංශෝධනය වී තිබෙන අතර, ඉදිරියේදී සිදුකිරීමට නියමිත සංශෝධන දෙකත් සමග ජාතික විගණන පනත 26 වතාවක් සංශෝධනය වූ පනතක් ලෙස ඉතිහාසයගත වනු ඇත.

ජාතික විගණන පනතට මේ වසරේ මාර්තු 06 වැනිදා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මහජන විරෝධතා ලබාගැනීමට සති දෙකක කාලයක් වෙන්කර තිබුණද එම සතිදෙක තුළ හෝ අද වනතෙක් පනතට එරෙහිව ජනතා විරෝධයක් එල්ලවී නොමැත. පනතට විරෝධය එල්ලවී තිබෙන්නේ වංචාව, දූෂණය, පිටුදැකීමට පොරොන්දුවූ දේශපාඥයන්ගෙනි.

ලංකාවේ මානව හිමිකම් කොමිසම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්වූ අතර තොරතුරු දැනගැනීමේ ලෝකයේ තුන්වැනියට හොඳම පනත ලෙසට ලංකාවේ  තොරතුරු දැනගැනීමේ පනත නම්වී ඇත.
මීට අමතරව උසස් විගණනයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනය විසින් ලෝකයාට විගණන මූලධර්ම  10ක් හඳුන්වාදී තිබෙන අතර, ලෝකයේ රටවල් 192ක් සකස් කර ඇති විගණන කෙටුම්පත් සලකා බැලීමේදී කරුණු 10 සම්පූර්ණ කරන එකම පනත ලෙසට ශ්‍රී ලංකාවේ ජාතික විගණන පනත හඳුන්වාදී තිබේ.

මේ පිළිබඳව ලෝක බැංකුව විසින් මෙරටට ලිපියක් මගින් දන්වා තිබෙන අතර, එම පිළිගැනීමවත් නොසලකා හැර තවමත් දේශපාලඥයන් කිහිපදෙනෙකු උත්සාහ කරමින් සිටින්නේ විගණන පනත කුණු කූඩයට දැමීමටය.
වංචාව, දූෂණය දුරලීමට කටයුතු නොකිරීම නිසා රාජ්‍ය මුදල්, රාජ්‍ය සම්පත් අවභාවිතය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන අතර, මේ නිසා රට ආර්ථික වශයෙන්ද අර්බුදයකට යමි‘න් තිබේ.මෙම අර්බුදයෙනන් ගොඩ එම සඳහා පාලකයන් විදේශ ණය දේශීය ණය අතිවිශාල ලෙස ලබාගනිමින් තිබේ. 

2005 වසර ගතහොත් ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන දෙදහස් දෙසිය හතළිස් දෙකකි. මේ අනුව ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් එක් ලක්ෂ අටදහසකට ආසන්නය. 2017 වසර වනවිට ණය ප්‍රමාණය රුපියල් බිලියන දස දහසකට ආසන්නය. 
මේ අනුව ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 05 ඉක්මවා ඇත. රටේ වංචාවේ දූෂණයේ තරම කොතරම්ද යන්න 2012 වසරේදී පමණක් රුපියල් බිලියන දෙදහස් හයසිය විසි දෙකක් ණය වශයෙන් ලබාගෙන තිබෙන අතර, එම වසරේදී ණය සහ පොලී වාරික ලෙස රුපියල් බිලියන 2,637ක මුදලක් ගෙවූවද එම වාරික ගෙවීම සඳහා රුපියල් බිලියන 15ක යළිත් වතාවක් ණයවී තිබේ. 

2017 වසරේදී දේශීය හා විදේශීය ණය ලෙස රුපියල් බිලියන තුන් දහස් එකසිය පනහක මුදලක් ලබාගෙන තිබෙන අතර, ණය වාරිකය හා පොලී මුදල් ලෙස රුපියල් බිලියන තුන්දහස් දෙසිය අනූහතරක් ගෙවා තිබෙන බවට වාර්තා වේ. මේ අනුව තවත් රුපියල් බිලියන 144ක හිඟයක් ඇතිවී ඇත. මෙහි සියලුම පව් මේ රටේ ජනතාවට ගෙවීමට සිදුව තිබෙන අතර, රට ගන්නා ණයවලින් ඊට පෙර ලබාගත් ණයවල වාරිකය හා පොලී වාරිකයවත් ගෙවීමට නොහැකි වීම ජාතියේ අවාසනාවකි.

මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට තිබෙනා ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් රට තුළ සිදුවන වංචා, දූෂණ නවතා දැමීමය. වංචාවෙන්, දූෂණයෙන් තොර රටක් ඇති කිරීමට නම් ජාතියේ මුරබල්ලා ලෙස හඳුන්වන විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතු වුවත්, අද දවස වනවිට මෙරටේ ජාවාරම්කාර දේශපාලඥයන් එක්ව ජාතියේ මුරබල්ලාගේ දත් එකින් එක ගලවමින් තිබේ. ජාතියේ මුරබල්ලාගේ දත් ගලවා දමන වාරයක් පාසා සිදුවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකාව තවත් සෝමාලියානු රාජ්‍යක් බවට ක්‍රමක් ක්‍රමයෙන් ගමන් කිරීමය.
මේ නිසා වගකිවයුතු දේශපාලඥයන් සැබෑ ලෙසම වංචාව, දූෂණයට විරුද්ධතම අමාත්‍යාංශ 51ක් දෙපාර්තමේන්තු 95ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් සංස්ථා 211ක්, රාජ්‍ය සමාගම් 128ක්, විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන පුහුණු කිරීම පර්යේෂණ ආයතන 75ක්, රාජ්‍ය බැංකු 08ක්, ව්‍යවස්ථාපිත අරමුදල් 69ක් විදේශ අරමුදල් ව්‍යාපෘති 127ක් (වෙනස් විය හැකිය) පළාත් සභා 09ක්, පළාත් පාලන ආයතන 341ක්, ගොවිජන සේවා මධ්‍යස්ථාන 559ක්, ක්‍රීඩා සංගම් 59ක් විගණනය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය.

බ්‍රිතාන්‍යයන් විසින් රාජ්‍ය මුදල් පාලනය පිළිබඳව සොයා බැලීමට 1779 වසරේදී විගණකාධිපතිවරයෙක් හා ගණකාධිකාරවරයෙකු පත්කිරීමෙන් ආරම්භ වූ විගණකාධිපති සේවයට මේ වනවිට වසර 217ක් ගතවී තිබේ. 
රටට ජාතික විගණන පනතක් අවශ්‍ය නොවන තැනට කටයුතු කරන්නේ වංචාව, දූෂණය සිදුකරන පුද්ගලයන්ය. එහෙත් රටට ආදරය කරන මිනිසුන් ජාතික විගණන පනත සම්මත කරගැනීම වෙනුවෙන් පෙනී සිට තිබේ. පනත 2003 වසරේදී සකස් කර තිබෙන්නෙත් මේ රටට ආදරය කරන පිරිසක් විසිනි. 

වර්තමාන පාලකයන්ට කිරීමට තිබෙන්නේ 2003 වසරේදී සකස් කළ පනතට නීත්‍යනුකූලභාවය ලබාදී යහපාලන ආණ්ඩුව විසින්ම ස්ථාපිත කළ විගණන සේවා කොමිසම ශක්තිමත් කිරීම පමණි. රට තුළ යහපාලනය ඇති කරන බවට පොරොන්දු ලබාදෙමින් වර්තමාන බලයට පත්වූ ආණ්ඩුව වැඩි වශයෙන්ම සිදුකර තිබෙනුයේ, රට අරාජිකත්වයට පත්කරන ක්‍රියාවන්ය. 
මේ නිසා පොදු අපේක්ෂකයා ලෙස රටට ලබාදුන් පොරොන්දුව ඉටුකිරීමට ජනාධිපතිවරයා පෙරමුණ ගත යුතුය. එසේ නොමැති වුවහොත් ජාතික විගණන පනත විනාශකර දමා විගණන සේවා කොමිසම සුදු අලියෙකු බවට පත්කළ පිරිස අතරට ජනාධිපතිවරයා එක්වීම වළක්වා ගත නොහැකිය. මේ නිසා ජනාධිපතිවරයාට කඩිනමින් සිදුකිරීමට තිබෙන්නේ, පවතින බලය භාවිත කර විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කිරීම හා විගණකාධිපතිවරයාට ස්වාධීනව කටයුතු කිරීමේ පරිසරය සකස් කර දීමය.

දූෂණයට, වංචාවට එරෙහි වන බව පෙන්නමින් ජාතික විගණන පනත කුණු කූඩයට දැමීම සාධාරණද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :