විපක්‍ෂයේ බෙදීම්
( . . ) 2018-06-11 10:12:15
Comments - 0       Views - 377

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතියේ දැකගත හැකි වූ ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ විපක්‍ෂයේ කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින තීරණාත්මක බෙදීමය. මෙම බෙදීම වඩාත් ප්‍රදර්ශනාත්මක ලෙස කලඑළියට පැමිණියේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පවත්වන ලද රහස් ඡන්දයේදීය. මෙහිදී ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් විමසා සිටියේ ඔවුන් විසින් කවුරුන් හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කරන්නේද යන්නය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවේ කණ්ඩායම හා විපක්‍ෂය නියෝජනය කරන කණ්ඩායමේ පිළිතුර වී තිබුණේ ඔවුන් විසින් අපේක්‍ෂකයෙකු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉදිරිපත් නොකරන බවයි. මේ අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි මහතා යෝජනා කරනු ලැබීය. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම මගින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විපක්‍ෂයේ කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම එකතු වූ විට එම පිලට අඩුම තරමින් ඡන්ද 70ක් හෝ ලැබිය යුතුව තිබුණද, ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 53ක් පමණි. මේ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් වෙන් වූ පිලේ විශාල කණ්ඩායමක් ඡන්දය පාවිච්චි නොකර තිබිණි. එම සංඛ්‍යාව මන්ත්‍රීවරු 18ක් පමණ වේ.

ප්‍රධාන වශයෙන් රාජපක්‍ෂවරු සියලු දෙනාම පාහේ එම ඡන්දයෙන් වැලකී සිටියේය. ඒකාබද්ධ විපක්‍ෂය තීරණාත්මක ලෙස දෙකට බෙදී ඇත්තේ බැසිල් පිල හා ගෝඨාභය පිල ලෙසිනි. මෙහිදී බැසිල් පිල විසින් ගෝඨාභය පිල සිදු කරන පවතින දේශපාලනය තීරණාත්මක ලෙස විවේචනය කරනු ලබයි. ගෝඨාභය පිල විවේචන නොකරද, ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගොඩනගා ඇති ජන බලය ඔවුන් මතට යොමුකර ගැනීමේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් දියත් කර තිබේ. ගෝඨාභය පිල, සිංහල බෞද්ධ බලවේග මත විශේෂ නැඹුරුවකින් කටයුතු කරන ආකාරය දැකිය හැකි අතර, එමගින් සිංහල බෞද්ධ ඡන්දවලින් 70%කට වඩා ගනිමින් ජයග්‍රහණය කළ හැකි යැයි ඔවුන් තක්සේරු කර තිබේ. එම මතය කෙතරම් දුරට සමාජගතවී ඇත්තේද යත්, ගෝඨාභය රාජපක්‍ෂ වටා එක්තරා ආකාරයක දේශපාලන බල කේන්ද්‍රයක්ද ගොඩනැගී තිබේ. කෙසේ වුවද, සිංහල සමාජය තුළින් විශාල විරෝධයක් ගෝඨාභය කෙරෙහි එල්ල වී ඇති අතර, එයට බලපානු ලබන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ රාජපක්‍ෂ රෙජීමය පැවැති කාලයේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මෙරට සිවිල් සමාජය තුළ පවතින විශාල විරෝධය හා භීතියයි. එම නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂගේ මෙම ක්‍රියාකලාපය එළියට ඇදී එන අතර, ඒ වෙනුවෙන් විශාල සමාජ විරෝධයක් ගොඩනැගීමට ඔවුන්ට එරෙහිව ඇති බලවේග ක්‍රියාත්මක වනු ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ මෙම බෙදී යෑම විශේෂයෙන්ම පෙනී යන්නේ විමල් වීරවංශගේ ක්‍රියාකලාපය තුළිනි. විමල් වීරවංශ කල්පනා කරනුයේ රාජපක්‍ෂවරු සතු වූ මෙම ජන බලවේගය ගොඩනගන ලද්දේ ඔහු හා උදය ගම්මන්පිල විසින් බවයි. ඔවුන් මෙම බලවේග ගොඩනගන අවස්ථාවේදී දැනට මෙම බලවේග සඳහා නායකත්වය දෙන බැසිල් රාජපක්‍ෂ මෙන්ම ගෝඨාභය රාජපක්‍ෂද, මහින්ද රාජපක්‍ෂද විවෘත දේශපාලනයෙන් මිදී හු‍ෙදකලාව සිටි අතර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවත මෙම දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ වූ බවත්, එමගින් ඔවුන්ගේ පක්‍ෂය ආරම්භ වූ බවත් විමල් වීරවංශගේ තක්සේරුවයි.

එම වැඩසටහන ආරම්භ කරමින් විමල් විරවංශ අපේක්‍ෂා කරන ලද්දේ ඔහුට මහින්ද රාජපක්‍ෂ සතුව පැවැති ජන ප්‍රසාදය නංවාගෙන ඔහුගේ පක්‍ෂයත්, ඔහු සතු බලවේගයත් ඉහළට ඔසවා ගැනීමය. නමුත් සූක්‍ෂම දේශපාලඥයන් වන රාජපක්‍ෂවරු විසින් ඉතා දක්‍ෂ ආකාරයෙන් ඔවුන් සතු ජන බලය ඔවුන්ගේ පවුල කේන්ද්‍ර කරගත් දේශපාලන වැඩසටහනකට ගොනුකර ගැනීමට සමත් විය. මෙම තත්ත්වය විමල් වීරවංශ ප්‍රමුඛ අවශේෂ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට ගෝචර නොවන අතර, මොවුන් තුළින් බැසිල් විරෝධයක් උපදින්නේ එබැවිනි. එම විරෝධය කෙතරම්ද යත්, අඛණ්ඩව බැසිල් රාජපක්‍ෂ පිල ඒකාබද්ධ විපක්‍ෂයේම ගෝඨාභය පිලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් තිබේ. බැසිල් රාජපක්‍ෂගෙන් හා ගෝඨාභය රාජපක්‍ෂගෙන් වියුක්ත වෙනම දේශපාලන වැඩසටහනක් විමල් වීරවංශ විසින් විපක්‍ෂ කණ්ඩායම් අතර ක්‍රියාත්මක කරමින් තිබේ. එම වැඩසටහන සඳහා වාසුදේව නානායක්කාරගේ හා දිනේෂ් ගුණවර්ධනගේ සහයෝගයද විමල් වීරවංශට ලැබී තිබේ. අනෙක් අතින් බැසිල් රාජපක්‍ෂ විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන වැඩසටහනේදී විමල් වීරවංශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ එම නායකයන් හා මුළු මන්ත්‍රී කණ්ඩායම අවසානයේ නොතකා හරින තත්ත්වයකට පත්ව තිබේ. මෙය විපක්‍ෂ කණ්ඩායම්වල තිබෙන විශාලතම චෝදනාව හා අසහනයයි. විශේෂයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විසින් ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමේදී බැසිල් රාජපක්‍ෂ ක්‍රියාත්මක වන ලද්දේය. කිසිදු දේශපාලන නායකයෙකු පිළිබඳ අවධානයක් යොමු නොකර තමන් කැමැති කණ්ඩායම් හා පුද්ගලයන් පමණක් පළාත් පාලන ආයතනවල නායකත්වයට පත්කිරීමට බැසිල් රාජපක්‍ෂ වගබලා ගත්තේය. එමගින් ඔහු විපක්‍ෂ දේශපාලන බලවේගය ග්‍රාමීය මට්ටමෙන් සම්පූර්ණයෙන්ම පාහේ අත්පත් කර ගැනීමට සමත් විය.


එසේම ග්‍රාමීය මට්ටමේද පළාත් පාලන ආයතනවල බලය පවත්වාගෙන යෑමේ විශාල බෙදීමක් විපක්‍ෂයේ කණ්ඩායම් අතර දැකිය හැකිය. පෙබරවාරි 10 වැනිදා මැතිවරණයට පෙර නොතිබූ විශාල අවාසිසහගත තත්ත්වයක මෙම බෙදීම් හා කණ්ඩායම් කල්ලි ගැසීම් ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන වැඩපිළිවෙළ තුළ දැන් ඇතිවී තිබේ. මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ උත්සාහයක් දැරුවද ඔහුගේ පාලනයෙන් මිදී මෙම දේශපාලන ව්‍යාපාරය බොහෝ දුර ගොස් තිබේ. මෙම තත්ත්වය හොඳින් තේරුම්ගත හැකිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බෙදී ආ දහසය දෙනාගේ කණ්ඩායමට ඉඩ සකසා දීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද, මහින්ද රාජපක්‍ෂටද ඉඩ නොලැබෙන තත්ත්වයක් උදාවී තිබීමෙනි. එම දහසය දෙනාගේ කණ්ඩායම පිළිබඳ බැසිල් රාජපක්‍ෂගේ මතය එතරම් සුබවාදී නොවන අතර, බැසිල් රාජපක්‍ෂ පෞද්ගලිකව විශ්වාස කරනුයේ විශාල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තුළින් දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසලකා හැර තම දේශපාලන ව්‍යාපාරය ගොඩනගා ගත හැකි බවයි. මෙවැනි බිඳුණු, කුඩුවුණු, විසිවුණු තත්ත්වයක තිබෙන විපක්‍ෂයේ වැඩසටහනකට ඉදිරි ජාතික මැතිවරණයකදී ආණ්ඩුව පරාජය කිරීමට හැකියාවක් තිබේද යනුවෙන් කීමට තවමත් කල් වැඩිය. 

 

විපක්‍ෂයේ බෙදීම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :