විධායක ජනාධිපතික්‍රමය පමණක් ඉවත් කිරීමට යෝජනා කිරීම නිසැකවම වංචනික ක්‍රියාවක්
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2018-06-11 10:10:15
Comments - 0       Views - 523

රටේ මෙතරම් ප්‍රශ්න, ගැටලුකාරී අවස්ථා රැසක් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එනු ලබන සංශෝධනය පිළිබඳ පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ, රටේ මහජනතාව, බුද්ධිමත් පිරිස් හා දේශපාලඥයෝ විවිධ මත ප්‍රකාශ කරති. එසේ ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධය සැබැවින්ම මෙම කාලය තුළ ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණක් තිබේද, එවැනි සංශෝධනයක් ඔවුන්ට ඉදිරිපත් කළ හැකිද, එසේත් නැතහොත් මෙය එක්තරා ආකාරයට දේශපාලන කුමන්ත්‍රණයක්ද යන්න වීමසීම සඳහා ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා අදට සම්බන්ධ කර ගතිමු. ඔහු මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි. 


mohan-samaranayake

අපේ රටේ විශාල පිරිසක් දන්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. මේ සංශෝධනය දැන් ප්‍රකට වී තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස. එහි මුඛ්‍ය පරමාර්ථය ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට බාර දීමට නියමිතයි. නමුත් මම මෙහිදී විවරණය කිරීමට අපේක්‍ෂා කරන්නේ එහි අන්තර්ගතය පිළිබඳ නොවේ. මම එමගින් ඇති වන දේශපාලන, ආර්ථික සාධක පිළිබඳ පමණයි විමර්ශනයට ලක් කරන්නේ. මෙහිදී විධායක ජනාධිපති ක්‍රමය යන අදහස පිළිබඳ මා ප්‍රථමයෙන් කිව යුතුයි. 

දේශපාලන මූලධර්මවලට අනුව නම් විධායක ජනාධිපති ක්‍රමය කියා ක්‍රමයක් නැහැ. එහි තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම, මිලිටරි ආණ්ඩුක්‍රම හා රාජාණ්ඩු ක්‍රම යානාදියයි. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ අදහස් දක්වන්නට යෑමේදී, අපි දන්නවා නූතන ජාතික රාජ්‍ය තුළ ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. ඒ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන නමින්. ජනතාව සතු පරමාධිපත්‍ය බලය ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය ලෙස හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම 1978 දී අපේ රටේ පාලනය බාරගෙන තිබුණේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා. එතුමා හඳුන්වා දුන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ සංශෝධනය විය යුතු ලක්‍ෂණ තිබෙනවා. මූලික වශයෙන් ගත් කළ මේ ක්‍රමය යටතේ ජනාධිපතිවරයාට (එයින් අදහස් කරන්නේ තනි පුද්ගලයෙකු) ප්‍රමාණවත් සංවරණ හා තුලනවලට යටත් නැති විශාල බලතල ප්‍රමාණයක් පැවරෙනවා. ජනාධිපතිවරයා නායකත්වය දෙන දේශපාලන පක්‍ෂය පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගෙන තිබෙනවා නම් ජනාධිපතිවරයාට හැකි වෙනවා රටේ ජනමතය පමණක් නොව සාධාරණත්වය යුක්තිය පවා නොතකා තමන්ගේ දේශපාලන අභිලාෂය සපුරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව මෙහෙයවන්න. 

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට වත්මන් අවධිය දක්වාම ක්‍රියාත්මක වී තිබෙන්නේ එයයි. ජේ.ආර්. ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබුණා 1977 ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ විට එක්සත් ජාතික පක්‍ෂයට බහුතරයක් හිමි වූ පාර්ලිමේන්තුවේ නිල කාලය මැතිවරණයක් නොතබා තවත් වසර හයකින් දීර්ඝ කරන්න. ඒ අනුව මේ මත පදනම් වූ ජනමත විචාරණයකට අවස්ථාව සලසා ගන්න. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තා. ඉතා බරපතළ ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කළ එක් අවස්ථාවක්. නමුත් පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී එදා හිටපු අග්‍රවිනිශ්චකාරිනිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ අග්‍රවිනිශ්චකාර ධුරය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාදාමයට මුලපිරෙන්නේත් ජනාධිපතිවරයාගේ තීරණය අනුව. මේ ආකාරයට මෙම ජනාධිපති ක්‍රමය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, සමාජ සාධාරණත්වයට, යුක්ති ධර්මයට පටහැණි, අහිතකර, අනර්ථකාරී බවට ලක්‍ෂණයක්. 

නඩු පැවරීමට ඇති නොහැකියාව, ප්‍රශ්න කිරීමට නොහැකි වීම ආදී කරුණු කාරණා මත ඔහුව සර්ව බලධාරියෙකු බවට පත් කරනවා. ඒවා සංශෝධනය විය යුතුයි. නමුත් එසේ සංශෝධනය කිරීම වුවත් කෙරෙන්න ඕන රටේ ස්ථාවරභාවයක් තිබෙන විට පාර්ලිමේන්තුමය හා ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියකින් පමණයි. අතනින්, මෙතැනින් කෑලිකෑලි ඇලවිලි, ගැලවිලි නෙමෙයි. අද අපේ රට තුළ පරාජිත අස්ථාවරභාවයක් තිබෙනවා. ආණ්ඩු අභ්‍යන්තරයේ බරපතළ වශයෙන් බෙදීම් තිබෙනවා. එකම පැත්තකින් ජනාධිපති හා අගමැති ධුරයට පත්වූ නායකයන් බෙදී ප්‍රසිද්ධියේ අද එකිනෙකා විවේචනය කර ගන්නවා. එවැනි අණ්ඩුවක් යටතේ නොව ස්ථාවර, සන්සුන්, සමාජ තත්ත්වයක් යටතේ ඒ සඳහා අනුමත ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුයි. 

නමුත් මේ  පැමිණ ඇති සංශෝධනයේ සැබෑ අරමුණ සත්‍යය වශයෙන්ම එය නොවේ. මේ සංශෝධනයේ තිබෙන අහිතකර ලක්‍ෂණවලින් එකක් තමයි මේ යෝජනාව ගෙන එන ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සමාජය ලෙස හඳුන්වා ගන්නා සංවිධාන මුලා කරන්න හදනවා. අප රටේ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ව්‍යාධිවලට ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය කියා ඒත්තු ගන්වනවා. එහෙම පිළිගන්න සාක්‍ෂි අපට පොළොවේ දකින්නට නැහැ. එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 193ක් තිබෙනවා. මේ රටවල් 193න් 95කම පමණ යම්යම් ප්‍රභේද සහිත වුවත් ජනාධිපති ආණ්ඩු ක්‍රම තිබෙනවා. ජනාධිපති ආණ්ඩුක්‍රම නිසර්ගයෙන්ම මහා ශාපයක් නම් ඇයි එපමණ රටවල් ගණනක් එය අනුගමනය කරන්නේ. අපේ රටේ 1978ට කලින්  පැවැති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තිබෙන්නේ ලෝකයේ රටවල් 45ක් වැනි සංඛ්‍යාවක පමණයි. එසේ නම් ඒ රටවල් 45 ස්වර්ග රාජ්‍ය බවට පත් වෙන්න ඕන. අනෙත් රටවල් ප්‍රමාණය අපායන් බවට පත් වෙන්න ඕන. නමුත් එසේ වෙන්නේ නැහැ.

දැන් අපේ රටේ ඉතිහාසය ගතහොත් අපේ රටේ ව්‍යාධි, ව්‍යසන ඇති වෙන්නේ මේ ක්‍රමය හඳුන්වා දුන්නට පස්සේ කියා මතයක් තිබෙනවා. නමුත් අපි දන්නවා නිදහස ලැබුණු දා සිටම අපේ රටේ දේශපාලන, ආර්ථික ප්‍රශ්න උද්දමනය වුණා මිසක් සමනය වීමක් සිදු වුණේ නැහැ කියලා. විධායක බලතල සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තිබියදී තමයි 1970 - 1978 කාලයේදී බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලය තුළ පාර්ලිමේන්තු කාලසීමාව ජනතාවගේ අනුමැතියකින් තොරව වසර දෙකකින් දීර්ඝ කර ගත්තේ. එම සිදුවීමයි ජේ.ආර්. මහතාගේ ජනමත විචාරණයයි එක අතකින් සමානයි. 

අපි අසල්වැසි ඉන්දියාව පිළිබඳ සලකා බැලුවොත් ඉන්දියාවේ තිබෙන්නේ ඔය කියන්නා වූ ලෙස පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම රටාවක්. ඉන්දියාව බලවත් ධනවත් රාජ්‍යයක් වූ නමුත් බරපතළ ආර්ථික, සමාජ ව්‍යාධි තිබෙනවා. ඉන්දියාවේ සංඛ්‍යාත්මකව ගත් විට වැඩි පිරිසක් අන්ත දුගී මිනිසුන්. එරට නිෂ්පාදනය කරන ආදායමෙන් 89෴ක් හිමිකර ගන්නේ ඉතා සුළු පිරිසක්. එනිසා ජනාධිපති ක්‍රමය තමයි අපේ රටේ සිවිල් ගැටලුවලට මූලික හේතුව කියන එක සාවද්‍ය අදහසක්. 

අපේ රට පෙළෙන ඇත්ත ප්‍රශ්න ලෙස ශක්තිමත් ආර්ථිකයක් නොමැති වීම, ජනතාවගේ ජීවන මට්ටම ඉතා පහළ මට්ටමකට පත් වීම මම නම් දකින්නෙ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් වාර්ෂිකව කරන ලද ආදායම් වියදම් සමීක්‍ෂණයේ 2016 වාර්තාවේ කියන ලෙස අපේ රටේ ජනගහනයෙන් 80෴ක් අඩු ආදායම් ලාභීන් බව අනාවරණය කර තිබෙනවා. ඒ අයගේ ජීවිතය සුඛිතමුදිත කරන්න ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යනවා. අපි දකිනවා දිනපතා පුවත්පත්වල ගොවියන්ට වී විකුණා ගන්න බැරිව, වට්ටක්කා ගොවීන්ට වට්ටක්කා විකුණා ගන්න බැරිව සිටිනවා. කිරිගොවියන් කිරි රැස් කරන මධ්‍යස්ථානවලට ඇවිත් ඒවා ලබා දෙන්න බැරිව පාරේ හලා යෑම වැනි සිදුවීම් රැසක් වාර්තා කිරීම දකිනවා. අපේ රටේ තෘතීක අධ්‍යාපනයම එකම අවුලක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වැඩියෙන්ම සිටිනුයේ දේශනාගාරවල නොවේ පාරවල්වල. නමුත් මේ ප්‍රශ්න කිසිවකට මෙම සංශෝධනය මගින් කිසිම විසඳුමක් ලැබෙන්නෙ නැහැ. 

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ එතිහාසික වකවානුවේ ප්‍රමුඛතාවක්ද? සෑම විටම තම ප්‍රමුඛතා හඳුනාගත යුතුයි. මේ මොහොතේ මා පෙර සඳහන් කළ ආකාරයේ බරපතළ ප්‍රශ්න තිබියදී, ඒවාට විසඳුමක් පෙනෙන තෙක් මානයක දක්නට නොතිබෙද්දි, ජන ජීවිතයට ඍජු බලපෑමක්, සම්බන්ධයක් නැති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉදිරියට රැගෙන එන්නේ ඔවුන්ට වෙනත් අරමුණක් ඇතිව බවයි මගේ මතය. එය මේ මොහෙතේ ප්‍රමුඛතාවක් නොවේ. මේ මොහොත වන විට ප්‍රමුඛතාවන් රාශියක් තිබෙනවා. ශක්තිමත් ආර්ථිකයක්, ඒ ආර්ථිකය සමානව බෙදී යන සමාජ රටාවක්, ජනතාවට ප්‍රමාණවත් පරිදි ඇඳුම් පැලඳුම්, නිවාස ආදිය සම්පාදනය කිරීම වැනි ඒවා ඒ අතරින් ප්‍රධාන වෙනවා. ලෙඩට, දුකට පහසු එමෙන්ම ගුණාත්මක මට්ටමේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ආදී මේ කිසිවකට ජනාධිපති ක්‍රමය තිබීමෙන් හෝ අහෝසි කිරීමෙන් විසඳුමක් ලැබෙන්නෙ නැහැ. අපි ගොවියෙකුගෙන් ඔහුගේ ප්‍රශ්න පිළිබඳ විමසුවොත් මම සිතන්නේ නැහැ කවදාවත් මේ විධායක ජනාධිපති ක්‍රමය නිසා එවැනි ප්‍රශ්නවලින් සිටිනවා යැයි ඔහු පවසාවි කියා. අපේ රට ආසියාව තුළ මන්දපෝෂණය අතින් දෙවැනි ස්ථානයේ සිටින බව වාර්තාවල සඳහන් වෙනවා. නමුත් එයට මූලික හේතුවක් තිබුණා. 

ඊළඟට අපි මුහුණදෙන බරපතළ ප්‍රශ්නයක් තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් මේ රටට අවේ කොහොමද කියන එක. ඉතාම කෙටියෙන් සඳහන් කළොත් එය හඳුන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා. ඔහුට ඒ සඳහා අරමුණක් තිබුණා. ඔහු කල්පනා කළා පූර්ණ ධනවාදී සමාජයක් මේ රටේ ස්ථාපනය වුවහොත් ඉහළ ආර්ථික වර්ධනයක් සහිත සුඛිත මුදිත සමාජයක් බිහි කරන්න හැකියි කියලා. ඔහුගේ කල්පනාවට මුල් වෙනවා 1970 දශකයේදී පමණ ලෝකයේ බලවත් රටවල් අපේ වගේ රටවලට දේශනා කර, අපි මත බලෙන් පටවනු ලැබූ ආර්ථික මාදිලිය. එය අධ්‍යයනය ක්‍ෂේත්‍ර රැසක හඳුන්වන්නේ නව ලිබරල් ආර්ථික සංවර්ධන මාදිලිය ලෙස. ජේ.ආර්. ජනාධිපතිවරයා අපේ රටේ මේ ක්‍රමය හඳුන්වා දෙන විට ආසියාව තුළත්, තවත් ලෝකයේ රටවල් කිහිපයකත් මෙම නව ලිබරල් මාදිලිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබුණා. නව ලිබරල් මාදිලියේ ස්වභාවය අනුව එය ක්‍රියාත්මක කරන විට එනම්, එයින් කියැවෙන්නෙ ආර්ථිකය රාජ්‍ය අංශයෙන් මුදා හැරලා පෞද්ගලික අංශයට, විදේශ ප්‍රාග්ධනයට අනුව හැසිරෙන්න ඉඩ දෙන එක. එසේ හැසිරීමට ඉඩදෙන විට අඩු ආදායම් ලබන බහුතර ජනතාව පීඩාවට පත්වෙනවා. ජාතික ආර්ථිකය කඩා වැටෙනවා. දේශීය කෘෂිකර්මය විනාශ වෙනවා. සංස්කෘතිය සෝදාපාළුවට යනවා. එවැනි තත්ත්වයකට ජනතාවගෙන් විරෝධය නිසැකයෙන් පැමිණෙනවා. ජනතා විරෝධය මඬින්න නම් දේශපාලන ස්ථායීතාව පවත්වාගෙන යෑම හා ඍජු පාලනයක් අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි ඔහු විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන්නෙ. 

ඊට ප්‍රථම අප රටේ අනුගමනය කළේ වෙනස් මාදිලියක ආර්ථික ක්‍රමයක්. ජේ.ආර්. ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය සමග මේ රටේ පැළ කරපු නව ලිබරල් මාදිලිය එසේ තිබියදී, එයින් සිදු වූ බරපතළ ආර්ථික, සමාජීය විනාශය එසේම තිබියදී, ඒ සමග හඳුන්වා දුන් විධායක ක්‍රමය පමණක් ඉවත් කරන්න කියන එක වංචනික ක්‍රියාවක් නොවේද? සත්‍යය නම් අප පෙළෙන ප්‍රශ්නවලට පිළිතුර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොවේ. මෙම ක්‍රමය ගෙන එන්නට ප්‍රථම පැවැති ආණ්ඩු රාජ්‍ය පාලනය සිදු කළ කාලය තුළ වැරදි තිබූ නමුත් 77 වන විට මේ රටේ යම්තාක් හෝ වර්ධිත ආර්ථිකයක් තිබුණා. ටයර්, සිමෙන්ති, සීනි, කඩදාසි වැනි බොහෝ නිෂ්පාදන තිබුණා. නමුත් අද වන විට ඒ සියල්ල නැති කරලා තිබෙනවා. ඒ වගේම සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි සුභසාධක වියදම් අඩු කර කඩකප්පල් කර තිබෙනවා. ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පිළිබඳ පනතක් ගෙන එනවා. ඒ පනත ක්‍රියාත්මක වුවහොත් මේ රටේ ප්‍රථම වරට තෘතීක අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකිණෙනවා. එවැනි වූ ක්‍රියාදාමයක් සිදුවෙමින් තිබියදී, ඒ කිසිවක් පිළිබඳ කතා නොකර, ඒ විනාශයට මූලික වන ආර්ථික මාදිලිය වෙනස් කිරීමට යෝජනා නොකර, ඒ මාදිලියේ රැකවරණය සඳහා පැමිණි ජනාධිපතික්‍රමය පමණක් ඉවත් කිරීමට යෝජනා කිරීම නිසැකවම දේශපාලනික වශයෙන්  වංචනික ක්‍රියාවක්. 

අනෙක් කාරණය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය බලයේ සිටින ආණ්ඩුව. පෞද්ගලික යෝජනාජවක් ලෙස මෙය ගෙන ආවත්, එය පාර්ලිමේන්තුවට ගෙන එන්න නම් ආණ්ඩුව එය අතට ගන්න ඕන. එය පනතක් ලෙස ගැසට් කරන්න අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණාට මේ රටේ ජනතාව ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න තියා වෙන මොකකටවත් බලයක් දීලා නැහැ. ඔවුන්ට සිටින්නේ මන්ත්‍රීවරුන් හය දෙනයි. ඒ නිසා මෙය හරියට බල්ලගේ වැඩේ බුරුවා කරන්න යනවා වගේ වැඩක්. කළ යුතු බොහෝ දේ තිබියදී තමන්ට අයිති නැති කාර්යයක් අතට අරගෙන ඉන්නවා. ඇත්තෙන්ම මොකක්ද ඔවුන් කරන්න යන්නේ? මෙහි සත්‍යය අරමුණ එය නොවේ. 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ආණ්ඩු පෙරළිය පිටුපස තිබුණු න්‍යාය පත්‍රය හකුළා ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන පරිසරය ආණ්ඩුවට නිර්මාණය කර දීම තමයි ජවිපෙ සත්‍යය අරමුණ. 

ජනවාරි 08 වැනිදා වෙනස පිටුපස බලවේග රාශියක් සිටියා. එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ඊනියා අන්තර්ජාතික ප්‍රජාව (ඇමෙරිකාව, යුරෝපය සංගමය හා ඉන්දියාව වගේ බලවත් රටවල්), ඒ රටවල අරමුදල්වලින් යැපෙන සිවිල් සමාජ හා සංවිධාන ආදියත් එසේම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයන්ද සිටියා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් හැදූ ජාතික විධායක සභාව නමැති කිසිදු නීතියකට අයිති නැති ආයතනයේ සමාජිකයන් වුණේ. 

පැහැදිලිවම එදා සිට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව අමාරුවකට වැටෙන විට වෙනම බෝඩ් උස්සගෙන ආණ්ඩුව සම්මත කළ රටට අහිතකර අණපනත්වලට අත උසස්ගෙන පාරට එනවා. පසුගිය පෙබරවාරි 10 පැවැති පළාත් පාලන ඡන්ද වීමසීමෙන් පසුව හැමෝටම පැහැදිලි වූ දෙයක් තමයි ඡන්ද වීමසීමට පාදක වූ පාර්ලිමේන්තු පනත කොයිතරම් අවුලක්ද කියලා. එය කොයිතරම් රට අස්ථාවරභාවයට පත් කළාද? ඒ ඡන්දයේදී පොහොට්ටුව දිනපු තැන්වල සභාපති වී තිබෙන්නෙ එ.ජාපෙ. සමාජිකයෙක්. ඒ වගේම එ.ජා.ප.ය ජයග්‍රහණය කළ තැන්වල සභාපති පොහොට්ටුවෙන් පත්කර තිබෙනවා. ඒ අවුල නිර්මාණය කරන්නේ ජ.වි.පෙ. අපේක්‍ෂකයන්. සභා ඡන්ද කල් දැම්මේ ජ.වි.පෙ. ක්‍රියාකාරී සමාජිකයන්. ඔවුන් එළියේ ඉඳන් තමයි ඒ සහයෝගය ලබා දෙන්නෙ. එය හාවුන් සමග සිටිමින් බල්ලන් සමග දඩයම් කරනවා කියා කීම නිවැරදියි. ජනවාරි 08 පසුව ජ.විපෙ.ට කොන්ත්‍රාත්තුවක් පැවරිලා තිබෙනවා ආණ්ඩුව අමාරුවේ වැටෙන විට, ආණ්ඩුවේ ඉලක්ක සපුරාගත නොහැකි පරිසරයක් නිර්මාණය වූ විට ආණ්ඩුව බේරා ගැනීමට.  ජනවාරි 08 ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියට ලෝකයේ බලවත් රටවලත්, දෙමළ ජාතික සන්ධානයේත් කොන්දේසියක් වූයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි. ඒ උතුරු නැගෙනහිර ෆෙඩරල් පාලන ව්‍යූහයක් නිර්මාණය කිරීම සඳහා. එවැනි ෆෙඩරල් පාලන ව්‍යූහයක් නිර්මාණය වුණාම එය වෙනම රාජ්‍යයක් බවට පත්කර ගන්නා විට ඔවුන්ගේ අභිප්‍රාය කෙසේ හෝ ඉටුකර ගනීවි. එවිට අපට ඒ පිළිබඳ කරදර වෙන්න අවශ්‍ය නැහැ. 

අන්න ඒ කියන අරමුණු සපුරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම අද ආණ්ඩුවට ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ නිසා දැන් වෙනත් කෙටි මාර්ගයකින් ඒ අරමුණ කරා ළඟා වීමට හැකි පරිසරය සකස් කර දීම එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතා කෝපය වෙනතකට හැරවීම සඳහා න්‍යාය පත්‍රය අවුල් කිරීම තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන සංශෝධනයේ අරමුණ ලෙස මම දකින්නෙ. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට හාස්‍යජනක විහිළු කතා කියන්න සිදු වෙලා තිබෙන්නෙ රටට. ජනතා විමුක්ති පෙරමුණ ඉතා මාක්ස්වාදීයි කියා ගන්නා පක්‍ෂයක්. නමුත් ඔවුන් මෙලෙස ක්‍රියා කරන තත්ත්වයට, ව්‍යාජ කතා කියන තත්ත්වයට පත්ව තිබෙන්නේ අර ව්‍යාජ අරමුණ වසන් කිරීමට දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ තමන් මාක්ස්වාදී පක්‍ෂයක් ලෙසින්. ඒ නිසා කාල් මාක්ස් කියූ වදනකින්ම මා මෙය අවසන් කිරීමට කැමැතියි. %ඉතිහාසය නැවත සිදු වෙනවා. ප්‍රථමයෙන් විගඩමක් ලෙස, දෙවැනුව ඛේදවාචකයක් ලෙස.^ මේ සංශෝධනය සාර්ථක වෙන්නෙ නැති විගඩමක්. එය දැන් හොඳටම පැහැදිලියි. එසේ වූ විට එය ජනතාවට ඛේදවාචකයක් වන එක වළක්වන්න බැහැ. 

 

විධායක ජනාධිපතික්‍රමය පමණක් ඉවත් කිරීමට යෝජනා කිරීම නිසැකවම වංචනික ක්‍රියාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :