කැන්ගරු දේශයේ සුන්දරම නගරය සිඩ්නි
( . . ) 2018-06-08 09:43:54
Comments - 0       Views - 655

සුන්දර ඔස්ට්‍රේලියාවේ සංචාරයක් කිරීමට ඔබට අවස්ථාවක් ලැබුණොත් සිඩ්නි නගරයේ ඇති සුන්දරත්වය විඳ ගැනීමට අමතක නොකරන්න. සංචාරකයන් සඳහාම වෙන් වූ සුන්දර ස්ථාන බොහෝමයක් සිඩ්නි නගරයේ පිහිටා තිබේ. සිඩ්නි නිල් කඳු පෙළ, සිඩ්නි ඔපෙරා කලාගාරය, සිඩ්නි පාලම සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන ස්ථාන අතරින් ප්‍රධාන තැනක් ගනී. මේ එම ස්ථාන ත්‍රිත්වය පිළිබඳ තැබෙන සටහනකි.


IMG20171214162007

බ්ලූ මවුන්ටන් කඳු පන්තිය (Blue Mountain)

සිඩ්නි නගරයේ සිට පැය දෙකක පමණ ගමනකින් අනතුරුව නිල් කඳු පෙළ පිහිටි නිව් සවුත් වෙල්ස්හි Katoomba නගරයට පිවිසිය හැකිය. බොහෝ විට සංචාරකයන් මෙම ගමනට පිටත් වනුයේ දුම්රියෙනි. %Blue Mountain^ යන්නෙන් මෙයට නම ලැබී ඇත්තේ එහි ඇති ස්වාභාවික නීල වර්ණයට හුරු පරිසරය හේතුවෙන් විය හැකිය. මධ්‍යහ්න කාලය වන විට හිරු එළිය මෙම කඳු පෙළට වැටුණු පසු එම පරිසරයේ ඇති සුන්දරත්වය දෙගුණ, තෙගුණ වේ.
හෝක්ස්බරි, ලිතගොව් සහ ඌර්බන් නගර යා කෙරෙන මෙම භූමිය 1959 දී හෙක්ටයාර 6,300ක් වටා විහිදී තිබිණි. දියඇලි, නිම්න, ස්වාභාවික උද්‍යාන ආදියෙන් මෙම වනාන්තරය සමන්විතය. වික්ටෝරියා ඇල්ල, Katoomba ඇල්ල, ලීරා ඇල්ල ඇතුළු දිය දහරා රැසක් Blue Mountain භූමිය හරහා ගමන් කරයි.

VI3A2047
මෙය විශාල වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ මෙහි ස්වාභාවිකව පිහිටා ඇති අසාමාන්‍ය පාෂාණයකින් සෑදුණු කඳු ත්‍රිත්වයක් හේතුවෙනි. මෙම අසාමාන්‍ය කඳු ත්‍රිත්වයට නම් ලබාදී ඇත්තේ සංචාරකයන් විසිනි. මිනී, විම්ලා සහ ගුනේනෝ යන නමින් මෙම කඳු ත්‍රිත්වය හඳුන්වනු ලබන අතර, මීනි කඳුවැටිය මීටර් 922ක්, විම්ලා මීටර් 918ක් සහ ගුනේනෝ මීටර් 908ක් විශාලය. 
පරිසර සංරක්‍ෂකයෙකු වන Myles Dunphy විසින් 1932 දී වනෝද්‍යානයක් ලෙස මෙම භූමිය පවත්වාගෙන යෑමට යෝජනා කර ඇති අතර, 2000 වර්ෂයේදී මෙය ලෝක උරුම භූමියක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලදී.  

සිඩ්නි වරාය පාලම (Sydney Harbour Bridge)

සිඩ්නි පාලම සිඩ්නි නගරයේ සුන්දරත්වය කියාපාන තවත් එක් ස්ථානයකි. සිඩ්නි නගරයේ සලකුණක් ලෙස සංචාරකයන් %Sydney Bridge^ හඳුන්වයි. Sydney Bridgeහි අලංකාරය වඩාත් දැකගත හැකි වනුයේ රාත්‍රී කාලයේදීය. 
1914 දී නිව් සවුත් වේල්ස්හි පොදු සේවා දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරුවෙකු වන ජෝන් බ්‍රැඩ්ෆීල්ඩ් සිඩ්නි වරාය හරහා පාලමක් ඉදිකිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට සැලසුම් ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව මේ සඳහා අනුමැතිය හිමි වූ නමුත්, පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් එහි වැඩකටයුතු මඳක් ප්‍රමාද වී ඇත. 1922 වසර වන විට සිඩ්නි වරාය පාලම වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාගත හැකිව තිබේ. මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු Dorman Long & Co Ltd^ ​සමාගමට හිමි වූ අතර, 1932 මාර්තු 19 වැනිදා පාලමේ වැඩකටයුකු  නිමවීමෙන් පසු විවෘත කර ඇත.

VI3A2001 

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංචාරකයෝ Sydney Bridge නැරඹීමට අමතක නොකරති. මෙම පාලමේ ප්‍රධාන මංතීරු හයක් ඇත. තවද මෙම පාලමෙහි ඇති විශේෂත්වය වනුයේ රථවාහන මංතීරුවලට අමතරව දුම්රිය මංතීරු දෙකක්ද පැවතීමය. මෙම පාලම් මාර්ගයේ ඇති බ්‍රැඩ්ෆීල්ඩ් නම් මාර්ගය ඔස්ට්‍රේලියාවේ ඇති කෙටිම අධිවේගී මාර්ගය ලෙස හඳුන්වයි. 1982 දී Sydney Bridge විවෘත කර 50 වැනි සැමරුම සැමරීමේදී ප්‍රථම වතාවට පදිකයන් සඳහා දිනක්ම මෙය විවෘත කර තිබිණි.

%Sydney Bridge^ සැලැස්ම නිර්මාණය කිරීමේදී නිව් යොර්ක්හි පිහිටි %හෙල් ගේට්^ පාලමේ ආකෘතිය බලපා ඇති බව පැහැදිලිය. Sydney Bridgeහි සම්පූර්ණ දිග මීටර් 1,149කි. 
පළල මීටර් 48.8ක් වන අතර, උස මීටර් 134ක් වෙයි. පාලමේ ආරුක්කු අලංකරණය දිග අඩි 59ක් වන අතර, එහි විශ්කම්භය අඩි 187ක් පමණ වේ. 
2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් උළෙල වෙනුවෙන් Sydney Bridge ඔලිම්පික් වළල්ලෙන් අලංකාර විය. ඔලිම්පික් උළෙලේ පැවැති මැරතන් ධාවන තරගයේ ගමන් මාර්ගයේ කොටසක් Sydney Bridge මතින් වැටී තිබිණි. ඔලිම්පික් උළෙලේ සමාප්ති උළෙලේදී ගිනිකෙළි සන්දර්ශනයකින්ද පාලම අලංකාර විය. 

VI3A2002

සිඩ්නි ඔපෙරා රඟහල (Sydney Opera House)

සිඩ්නි නගරයේ සංචාරයක යෙදෙන සංචාරකයන් නැරඹීමට අමතක නොකරන ස්ථානයක් ලෙස Sydney Opera House හැඳින්විය හැකිය. Sydney Opera House පිහිටා ඇත්තේ සිඩ්නි පාලමට නුදුරිනි. අද වන විට ලෝකයේ කාර්යබහුලම කලාගාරවලින් එකක් වන මෙය නැරඹීමට පැමිණෙන සංචාරකයන් වසරකට මිලියන 8.2ක් පමණ වේ
Sydney Opera House නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වනුයේ ඩෙන්මාර්ක් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී ජෝර්න් උට්සොන් වෙතය. මෙම ගොඩනැගිල්ල 1973 ඔක්තෝබර් 20 වැනිදා නිල වශයෙන් විවෘත කර ඇති අතර, 2007 වසරේදී යුනෙස්කෝ කමිටුව විසින් ජාතික උරුමයක් ලෙස නම් කෙරිණි. මෙම කලාගාරය විවෘත කිරීම සඳහා එවකට ඔස්ට්‍රේලියාවේ දෙවැනි එලිසබෙත් රැජිනද සහභාගි වී තිබේ. 

VI3A1986

මෙම කලාගාරය නිර්මාණය කරන අවධියෙහි මෙහි ප්‍රථම ඉදිරිපත් කිරීම සිදු කර ඇත්තේ Paul Robeson විසිනි. ඔහු 1960 වසරේදී මෙහි ඉදිකිරීම් සිදු කළ සේවකයන් සඳහා Ol Men River ගීතය ගායනා කර තිබේ. 1973 දී Sergei Prokofiev විසින් %War   Peace^ හා 1974 දී Joan Sutherland විසින් ඔපෙරා නාට්‍යයක් මෙහි ඉදිරිපත් කර ඇති අතර, එම නිර්මාණ සිඩ්නි ඔපෙරා හවුස් තුළ බිහි කළ විශිෂ්ට නිර්මාණ ලෙස සලකයි. 
1974 දී RAIA කුසලතා සම්මානය, 1974 ඔස්ට්‍රේලියාවේ Illuminating Engineering Societyහි Civic Design Award, 1980 RAIA Civic Design Award, 1992 RAIA අනුස්මරණ සම්මානය ජෝර්න් උට්සොන් වෙනුවෙන් සිඩ්නි ඔපෙරා හවුස් දිනාගෙන ඇත. 
සිඩ්නි ඔපෙරා කලාගාරයේ ජෝඈන් ස්ටර්ලන්ඩ් රඟහල, උට්සොන් අනුස්මරණ ශාලාව ඇතුළුව නාට්‍ය රංග ශාලා දෙකක්, චිත්‍රාගාර දෙකක් සහ අතිනවීන පහසුකම් සහිත ශබ්දාගාරයක් පවතියි. මෙහි ඇති ප්‍රසංග ශාලව සඳහා ආසන 2679ක්, ජෝ ඈන් සටර්ලන්ඩ් රඟහල සඳහා ආසන 1507ක්, නාට්‍ය සඳහා වෙන් වූ එක් රඟහලක ආසන 544ක්, අනෙක් රඟහල සඳහා ආසන 398ක්, චිත්‍රාගාරයෙහි ආසන 400ක් සහ උට්සොන් කලාගාරයෙහි ආසන 210ක් පිහිටුවා ඇත. 

VI3A2031

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

කැන්ගරු දේශයේ සුන්දරම නගරය සිඩ්නි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :