කෙවින් ඔබ්‍රයන් අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයට
( සංජීව ධර්මසේන ) 2018-05-16 10:29:36
Comments - 0       Views - 498

පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 118ක් ලබාගනිමින් අයර්ලන්තය වෙනුවෙන් පළමු ටෙස්ට් ශතකය රැස්කළ පිතිකරුවා ලෙස එරට ක්‍රිකට් ඉතිහාසයට එක්වීමට කෙවින් ඔ^බ්‍රයන් පෙරේදා (14දා) සමත් විය.

අයර්ලන්තයට අන්තර් ජාතික ටෙස්ට් වරම් ලැබීමෙන් පසු ඔවුන් ක්‍රීඩාකළ  පළමු ටෙස්ට් අයර්ලන්තයේ බබ්ලින්හිදී ඊයේ (15දා) නිමාවට පත් වූ අතර, එහි සිවුවැනි දිනයේදී කෙවින් සිය ශතක ඉනිම දියත් කළේය.

මෙම තරගයේ පෙරේදා (14දා) දිනට තරග නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කර සිටි අතර, එහිදී ඉනිම ගොඩනැගීමට අනගි දායකත්වයක් කෙවින් ඔ^බ්‍රයන්ගෙන් හිමිවිය. ඔහුගේ එම ඉනිම ඉදිරියේ අයර්ලන්තය පෙරේදා දිනයේදී පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 139ක් ඉදිරියෙන් සිටියේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය තම පළමු ඉනිමට ලකුණු 310/9ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර, ඊට පිළිතුරු ලෙස අයර්ලන්තයට තම පළමු ඉනිමට රැස්කිරීමට හැකිවූයේ සියල්ලන් දැවී ලකුණු 130ක් පමණි. ඒ අනුව ලකුණු 180ක් පසුපසින් යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට අයර්ලන්තයට සිදුවිය.

අයර්ලන්තය වෙනුවෙන් 2006 වසරේදී ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් කෙවින් මේ දක්වා තරග 124කට (ඉනිම් 114) ක්‍රීඩාකර ලකුණු 3126ක් රැස්කරගෙන සිටී. ඔහුගේ දක්‍ෂතා අතර ශතක 02ක් හා අර්ධ ශතක 16ක් වේ. 2008 වසරේ සිට අයර්ලන්ත විස්සයි20 කණ්ඩායමද නියෝජනය කරන කෙවින් මේ වනවිට තරග 59කදී (ඉනිම් 46) ලකුණු 702ක් රැස්කරගෙන සිටී.

කෙවින්ගේ ශතකය වැදගත් වන අනෙක් කරුණ නම්, රටකට ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමෙන් එම රට ක්‍රීඩාකළ පළමු තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් අතර ඔහු සිවුවැනියා වීමයි.

1877 වසරේදී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැති ලොව පළමු ටෙස්ට් තරගයේදී චාල්ස් බැනර්මන් එංගලන්තයට ලබාගත් ශතකය (නොදැවී 165) ලොව පළමු ටෙස්ට් ශතකය වෙයි. ඉන් පසුව සිබ්බාබ්වේට ටෙස්ට් වරම් හිමි වූ  1992 වසරේදී ඩේව් හොෆ්ටන් ඉන්දියාවට එරෙහිවද (ලකුණු 121), බංග්ලාදේශයට ටෙස්ට් වරම් හිමි වූ 2000 වසරේදී අමිනුල් ඉස්ලාම් ඉන්දියාවට එරෙහිවද (145) මීට පෙර තම රටට ටෙස්ට් වරම් හිමි වූ පළමු තරගයේදී ටෙස්ට් ශතක රැස්කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වසරේදී (ජුනි 22) ඇෆ්ගනිස්තානයට හා අයර්ලන්තයට ටෙස්ට් වරම් ලබාදීමට පියවර ගත් අතර, කවුන්සිලයේ සියලුම සාමාජිකයන්ගේ ඒකමතික තීරණයකට අනුව මෙම රටවල් දෙකට ටෙස්ට් වරම් හිමිවිය. මේ වන විට අයි.සී.සී.යේ පූර්ණ සාමාජිකයන් ලෙස කටයුතු කරන ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය පිළිවෙළින් අයි.සී.සී. ටෙස්ට් සාමාජිකත්වය ලැබූ 11 වැනි හා 12 රටවල් වෙයි.

kevin-o-brien759

 

 

කෙවින් ඔබ්‍රයන් අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :