කර්මාන්ත හා සේවක සුරක්ෂිතතාව තහවුරු කළ යුතු කාලය එළඹ ඇත
( නඳුන් ශ්‍යාමාල් ) 2018-05-16 09:00:54
Comments - 0       Views - 212

හොරණ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවල සේවක ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් දැඩි කතාබහක් ඇති විය. අප රට තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදු වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නොවේ. එදාමෙදා තුර මෙවැනි සිදුවීම් බොහෝමයක් වාර්තා වී ඇතත් අනාගතයේදීත් මෙවැනිම ඛේදවාචක සිදුවීමට ඕනෑ තරම් ඉඩප්‍රස්ථා පවතින්නේ හුදෙක් ලාභය පමණක් අරමුණු කොටගෙන සේවක ආරක්ෂාව තුට්ටුවකට හෝ මායිම් නොකරමින් සියලු නීතිරීති මුදලින් යටත් කරගෙන සිටින දැවැන්ත ව්‍යාපාරිකයන් තවමත් මෙරට සිටින නිසාවෙන් හා රටේ සැබෑ අර්බුද නොදකින අමන දේශපාලන සංස්කෘතියක් තවමත් පවතින නිසාවෙනි. ජීවිත මෙන්ම පරිසරයත් සුරක්ෂිත කෙරෙන කර්මාන්ත ක්ෂේත්‍රයක් අප රට තුළ ඇති කරලීම පිළිබඳ මෙම විග්‍රහය අප ගෙන එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු අධ්‍යයනාංශයේ ආචාර්ය අසේල කුලතුංග මහතා සමගිනි.


DSC04837

සමස්ත අර්බුදය නියෝජනය කළ හොරණ ඇමෝනියා ටැංකිය

රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කාර්යයන් සඳහා විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය, අම්ල වර්ග භාවිත කිරීම සාමාන්‍ය දෙයක්. මේ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට, ගබඩා කර තබා ගැනීමට සහ මේ රසායනික ද්‍රව්‍ය මුසු වූ අපජලය කළමනාකරණයට නිසි ක්‍රමවේද භාවිත කළ යුතුමයි. හොරණ සිදුවීම ගැන සලකා බැලුවොත් මෙවැනි සිදුවීමකට මූලික හේතු සාධකය බවට පත්වී තිබෙන්නේ අපජලය කළමනාකරණයට නිසි ක්‍රමවේද භාවිත නොකිරීමයි. ඒ අනතුර ඛේදවාචකයක් පවට පරිවර්තනය වෙන්න නොදැනුවත්භාවය, ආරක්ෂිත ක්‍රමෝපායන්ගේ අඩුපාඩු ආදී තවත් හේතු සාධක කිහිපයක්ම බලපා ඇති බව සිද්ධිය අධ්‍යයනය කිරීමේදී පෙනී යනවා. 

මේ සිදුවීම සිදුවෙන්නේ සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුවයි. ඒ නිවාඩු කාලසීමාව තුළ අපේ රටේ බොහෝ කර්මාන්ත ශාලා දින කිහිපයකට වසා දැමෙනවා. මේ කාලසීමාව ඇතුළතදී අපජල වහනයට වන එවැනි ටැංකි නිසි ක්‍රමවේද මත පවත්වාගෙන නොයනවා නම් එහි අපජලය සමග ඇමෝනියා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි තවත් බොහෝ විෂ වායු වර්ග විශාල වශයෙන් එක්රැස් වෙනවා. උදාහරණයක් විදිහට වැසිකිළි ටැංකියකත් මීතේන් වැනි විෂ වායු වර්ග එක්රැස් වන නිසයි වැසිකිළි අපද්‍රව්‍ය එක්රැස් වන ටැංකිවල වායු පිටතට නිකුත්වීමට ඉහළට බටයක් සවිකර තිබෙන්නේ. කර්මාන්ත ශාලාවල තිබෙන අපජලය එක් රැස්වන ටැංකි සඳහාත් එවැනි ක්‍රමවේදයක් තිබිය යුතු වුණත් අදාළ කර්මාන්ත ශාලාවේ එවැනි ක්‍රමවේදයක් තිබුණාද යන්න පැහැදිලි නැහැ. එවැනි වාතාවරණයක් තුළ මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් ඇතිවීමට තිබෙන සම්භාවිතාව ඉතාමත් වැඩියි.

හානිය දෙගුණ තෙගුණ කරන නොදැනුවත් භාවය

මාධ්‍ය මගින් මේ සිදුවීම පිළිබඳ විමසීමේදී අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ගම්වාසීන් පැවසූ දෙයකට මෙතැනදී මාගේ අවධානය යොමු කරන්න කැමැතියි. ඒ තමයි පැහැදිලිවම මෙතැනදි කියැවුණා කොළ පැහැයට හුරු දුමක් ටැංකිය තුළින් අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී නිකුත් වෙමින් තිබූ බව. අනතුරට පත්වූ සියලු දෙනාත් මෙය දැක තිබෙනවා.  මෙය අපේ රට තුළ වැඩි වශයෙන් දකින්න ලැබෙන පොදු ගැටලුවක්. ළිං ඉසීමට යාමේදී, පතල් කර්මාන්තයේදී මේ ආකාරයේ අනතුරු සිදුව තිබෙනවා. ඒ සෑම දෙයකටම හේතුව තමයි මෙවැනි අනතුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව අතර ඇති නොදැනුවත්භාවය. 

ඒ ආකාරයෙන් අනතුරක සේයාවක් පෙන්නුම් කරද්දීත් දුරදිග නොබලා හදිසියේ ක්‍රියාත්මක වීමට යෑම සියදිවි නසා ගැනීමක් හා සමානයි. නමුත් අපි නොසලකා නොහැරිය යුතුයි මියගිය බොහෝ දෙනා සිය උතුම් මනුෂ්‍යත්වය නිසයි අනතුර පිළිබඳ නොසලකා ඊට ක්‍රියා කළේ. 
ගම්වාසීන්ටම අවසානයේ මීට මැදිහත්වීමට සිදුවීමත් ආයතනයේ පරිපාලනයේ පවතින විශාල දුර්වලතාවක් පෙන්නුම් කරනවා. ඒ තමයි මෙවැනි සුලභ අනතුරු අවස්ථාවකට ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් අදාළ අයතනයේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව නොපැවතී ඇති බව ඉතාමත් පැහැදිලියි. පරිපාලනය ඒ පිළිබඳව තම අවධානය නිසි ආකාරයෙන් යොමු කර සේවකයන් ඒ සඳහා දැනුවත් කිරීම, පුහුණු කිරීම හෝ අවශ්‍ය ආරක්ෂක උපකරණ භාවිත කිරීමක් මෙහිදී සිදුවී නැහැ. 
මෙය මේ කර්මාන්තයට පමණක් නොවෙයි පොදුවේ බහුතරයක් කර්මාන්ත ක්ෂේත්‍රවල දකින්න ලැබෙන විශාල ගැටලුවක්. බොහෝමයක් කර්මාන්ත ක්ෂේත්‍රවල සේවක ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදී තිබෙන අවධානය ඉතාමත් අඩුයි. අපි සමහර අධ්‍යයන සඳහා කර්මාන්ත ශාලාවල සංචාරය කරද්දී එහි පාලකයන් කියන දෙයක් තමයි තමන් විසින් ආරක්ෂිත උපාංග සහ පැලඳුම් සපයා තිබියදීත් ඇතැම් සේවකයන් ඒවා භාවිත නොකරන බව. බදාම ඇනීම වැනි දේ කරන්න සාමාන්‍ය රබර් සෙරෙප්පු පලඳිනවා, විෂ රසායන භාවිත කරන ස්ථානවලදී කිසිදු තැකීමක් නැතිව ඊට නිරාවරණය වෙනවා, අත් ආවරණ හෝ ආරක්ෂක ඇඳුම් පලඳින්නේ නැහැ. එය කිසිසේත්ම සිදුවිය යුතු දෙයක් නොවෙයි. ආරක්ෂිත උපකරණ ඇඳුම් ආදිය පැලඳීම ආයතනය තුළ අනිවාර්යය නීතියක් බවට පත් කළ යුතුයි වගේම කොපමණ අත්දැකීම් සහිත වුණත් සහ දක්ෂ වුණත් ඊට අවනත නොවන පුද්ගලයන් අදාළ වෘත්තියට නුසුදුසු වන බව සැලකිය යුතුමයි.

නියාම සහ අධීක්ෂණ යාන්ත්‍රණයේ විශාල හිදැසක්

අපේ රටේ නිෂ්පාදන කර්මාන්ත ශාලා අධීක්ෂණයට සහ නියාමන කටයුතු සඳහා රාජ්‍ය ආයතන කිහිපයක්ම සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපේ රට තුළ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට හැකියාව පවතින්නේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබෙනවා නම් පමණයි. ඒ පරිසර ආරක්ෂණ බලපත්‍රය මහා පරිමාණ කර්මාන්ත සඳහා නිකුත් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසිනුයි. මධ්‍යම පරිමාණ සහ කුඩා පරිමාණ කර්මාන්ත සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එය ලබාගැනීමට හැකියි. නිකුත් කරන ආකාරය එක සමාන වුණත් එහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් අපේ රට තුළ පවතිනවා. ඒ වගේම අපි දැනුවත්ව සෑම කර්මාන්තයකටම පාහේ තිබෙන්නේ පොදු රාමුවක් යටතේ සකස් කළ උපදේශන සහ නීති රාමුවක්. නමුත් එය කර්මාන්තය අනුව යාවත්කාලීන වීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම අධීක්ෂණයට සිටින නිලධාරීන්ගේ ඒ සම්බන්ධයෙන් වන දැනුම, අත්දැකීම් සහ ඔවුන්ට සපයනු ලබන පහසුකම් මීටත් වඩා පුළුල් විය යුතුයි වගේම අදාළ යාන්ත්‍රණයේ ඇති අක්‍රමිකතා සම්බන්ධයෙනුත් පියවර ගැනීමට වගකිවයුතු බලධාරීන් කටයුතු කිරීම අවශ්‍යයි.

අපේ රටේ පවතින කම්කරු ආඥා පනත ඉතාමත්ම ශක්තිමත් සහ හොඳ තත්ත්වයක පවතිනවා. මේ කටයුතු නිවැරදි ලෙස පවත්වාගෙන යමින් සේවක ආරක්ෂාව උපරිමයෙන් සැපයීමට එහි අවශ්‍ය ප්‍රතිපාදන පවතිනවා. නමුත් ඒ නිලධාරීන්ට ලබාදී තිබෙන පහසුකම්, උපකරණ හිඟයක් වගේම සහ අවශ්‍ය දැනුම සහිත නිලධාරීන්ගේ හිඟයක් දක්නට ලැබෙනවා. අපේ රටේ ආර්ථිකය ගැන සහ කර්මාන්ත ගැන දේශපාලඥයන් කොච්චර කයිවාරු ගැහුවත් මේ කාරණාව සම්බන්ධයෙන් සාධනීය වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක නොවීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම බොහෝ කර්මාන්ත ශාලාවල වෘත්තීය සමිති තිබෙනවා එහෙමත් නැත්නම් යම් ගැටලුවකදී ඔවුන්ට එක්ව කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ඔවුන් වැටුප් ප්‍රශ්නයකදී හෝ දීමනා ලබානොදීමකදී කටයුතු කරනවා හැර සේවක සුරක්ෂිතතාව සහ සුභසිද්ධිය ගැන නිසි අවධානයක් යොමු කරන්නේ නැහැ. 

DSC04894

පරිසරයටද වින නොවිය යුතුය 

කර්මාන්ත ශාලා නිසා පරිසරයට හානි වීමට වැඩිම ඉඩකඩක් පවතින්නේ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පැනනගින ගැටලු ඔස්සේයි. ඝන, ද්‍රව, වායු වශයෙන් අවධිමත් ආකාරයෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසා පරිසර පද්ධතීන්ට හානි සිදුවිය හැකියි, කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන අධික ශබ්ද නිසා ශබ්ද දූෂණය වනවා වගේම වටපිටාවේ සිටින අයටත් එය හිරිහැරයක් වනවා. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේදී මේ සෑම අංශයක් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. එය නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම පවතින්නේ මධ්‍යම පරිසර අධිකාරිය සතුවයි. බොහෝ විට මේ පිළිබඳව පරීක්ෂා කෙරෙන්නේ පැමිණිල්ලක් ලැබුණොත් පමණයි. එහෙමත් නැත්නම් නියම කරගත් කාලයක පමණයි. නමුත් එසේ නැතිව හදිසියේ කර්මාන්ත ශාලා පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදයක් සකස් වෙනවා නම් එය වඩාත් සාර්ථක වෙයි.

කළමනාකාරීත්වයේ වගකීම

විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත වන තීන්ත, රබර්, ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රය වගේම සියලුම කර්මාන්ත පාහේ සේවක සුරක්ෂිතතාව පිළිබඳ නිසි අවධානයක් යොමු කළ යුතුයි. ආරක්ෂාවට භාවිත කරන උපකරණ සහ පැලඳුම් ආදිය තරමක් මිල අධික වුණත් අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒවා ප්‍රමාණවත් ආකාරයෙන් ලබාදීමට ආයතනය බැඳී සිටිනවා. මොකද සමහර කර්මාන්ත දීර්ඝකාලීනව විවිධ රසායනිකයන්ට සහ දූවිල්ලට නිරාවරණය වීම නිසා පසුකාලීනව රෝගාබාධ මතු කිරීමේ ප්‍රවණතාවක් තිබෙනවා. සේවකයන් මේවා පලඳින්නේ නැහැ කියලා හෝ ඔවුන්ට විශාල වැටුපක් ගෙවනවා කියලා අතපිහදාගන්න ඔවුන්ට හැකියාවක් නැහැ.

 ඒ වගේම අද දකින්න ලැබෙන බොහෝමයක් කර්මාන්ත ශාලා ගත්තොත් අඩුම තරමින් ඒවාට රක්ෂණාවරණයක් හෝ ලබාගෙන නැහැ. තමන්ගේ කර්මාන්ත ශාලාවෙන් පරිසරයට වන බලපෑම සම්බන්ධයෙනුත් කර්මාන්තය අතරතුර සිදුවිය හැකි අවදානම් තත්ත්ව සම්බන්ධයෙනුත් ඔවුන්ට අවදානම් තක්සේරුවක් තිබිය යුතුයි. එවැනි අවදානම් තත්ත්වයක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව සේවකයන්ට නිසි පුහුණුවක් ලබාදීම වැදගත්. ඒවගේම ඊට අදාළ උපදෙස් පුවරු ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් කර තිබිය යුතු වෙනවා. කර්මාන්තකරුවන් විශේෂයෙන්ම තම අවධානයට ගත යුතු දෙයක් තමයි නිෂ්පාදන අවශ්‍යතාව කොතෙක් පැවතියද ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ තමා වැනිම මනුෂ්‍යයෙකු  බව.
සේවක ආරක්ෂාවට වන පිරිවැය ආයෝජනයක් ලෙස සලකන්න

කර්මාන්ත ශාලා හිමිකරුවන් සහ පරිපාලනයේ නියැළෙන අංශ බොහෝ විට මුල් කරගන්නේ ලාභය පමණයි. සේවක සුභසාධනය කියන්නේ වැටුප් සහ දීමනා පමණක් නොවෙයි. ඒ වගේම බොහෝ කර්මාන්ත ආයතනවල වෘත්තීය සමිති තිබෙනවා එහෙමත් නැත්නම් යම් ගැටලුවකදී ඔවුන්ට එක්ව කටයුතු කරන්න හැකියාව තිබෙනවා. නමුත් ඔවුනුත් වැටුප් ප්‍රශ්නයකදී හෝ දීමනා ලබා නොදීමකදී කටයුතු කරනවා හැර සේවක සුරක්ෂිතතාව සහ සුභසිද්ධිය ගැන නිසි අවධානයක් යොමු කරන්නේ නැහැ. යම් අනතුරක් සිදු වුණොත් පවතින කම්කරු නීතිය යටතේ විශාල දඩ මුදලක් සහ විශාල වන්දි මුදල් ගෙවීමට නියෝග කිරීමට විතරක් නොවෙයි ඇතැම් විට කර්මාන්ත ශාලාව වසා දැමීමට පවා නියෝග කිරීමට ගරු අධිකරණයට හැකියාව පවතිනවා. ඒ නිසා කර්මාන්තකරුවන් ආරක්ෂාවට වන පිරිවැය කිසිදු විටෙක නොසලකා නොහැරිය යුතුයි. එය පිරිවැයක් නොවෙයි පැහැදිලිවම ආයෝජනයක් වෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවල කර්මාන්තකරුවන් මේ ආරක්ෂිත උපරකණ ලබාදීමට මැළිකමක් දක්වන්නේ ඒවා අධික මිලකින් යුක්ත වීම නිසයි. මේ උපකරණ බොහෝමයක් මිල අධික වීමට හේතු වෙලා තිබෙන්නේ ආනයනයේදී ඒ සඳහා විශාල බද්දක් අය කෙරෙන නිසා. මේ පිළිබඳව සලකා බලා වගකිව යුතු බලධාරීන් ආරක්ෂක උපකරණ සඳහා වන බදු සම්බන්ධයෙන් යම් සහනදායී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා නම් එය වඩාත් හොඳයි. කෙසේ නමුත් කර්මාන්තකරුවන් විශේෂයෙන්ම තම අවධානයට ගත යුතු දෙයක් තමයි නිෂ්පාදන අවශ්‍යතාව කොතෙකුත් පැවතියද ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ තමා වැනිම මනුෂ්‍යයෙකු බව.

 

කර්මාන්ත හා සේවක සුරක්ෂිතතාව තහවුරු කළ යුතු කාලය එළඹ ඇත සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :