අපේ රට දියුණු කරන්න බැරි සටන් පාඨ දේශපාලනය නිසයි
( . . ) 2018-05-15 09:36:43
Comments - 0       Views - 523

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සමගින් බලගැන්වුණු පළාත් සභා ක්‍රමය එවකට උතුරු සහ නැගෙනහිර පැවැති වර්ගවාදී සහ බෙදුම්වාදී අරගලයට විසඳුමක් ලෙස ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිව සිටි රජීව් ගාන්ධි අගමැතිවරයා එක්ව අත්සන් තැබූ ඉන්‍දු - ලංකා ගිවිසුම ප්‍රකාරව මෙරට බලය විමධ්‍යගත කිරීම සඳහා ස්ථාපිත කෙරූවකි. එහෙත් එහි මූලික අභිමතාර්ථ මේ වනතෙක් සාර්ථකව ඉටු වී නොමැති බව පෙනී යයි. එයට හේතු වී ඇත්තේ පළාත් සභා පනත අනුව එම ආයතන වෙත ලබාදිය යුතු බලය නිසි පරිදි ලබා නොදීමයි. එබැවින් පළාත් සභා ක්‍රමය මෙරට ආර්ථිකයට අනවශ්‍ය ලෙස පටවා ඇති බරක් ලෙස පෙනී යයි. කෙසේ වුවද පළාත් සභා ක්‍රමය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් පරිපාලනමය වශයෙන් එමගින් සක්‍රිය වෙනසක් ඇති කිරීමට හැකි බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් අක්‍රම් මහතා ‘පවසයි. මේ ඔහු %අද’ සමග පවත්වන ලද සංවාදයකි.


New-Image10

?පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් වෙලා නේද

එහෙම කියන්න බැහැ. බලය විමධ්‍යගත කිරීමේ අරමුණින් නීත්‍යනුකූලව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කරමින් ගෙනාපු මෙම පනත ඇත්තෙන්ම සාර්ථක ක්‍රමවේදයක්. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ පළාත් සභාවකට ව්‍යවස්ථානුකූලව පැවරිය යුතුව පවතින බලතල මධ්‍යම රජය මගින් නිසි අයුරින් ලබා නොදීමයි. ඒ නිසා හැම කෙනෙකුටම මෙම පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් විශ්වාසය නැතිව ගිහින් තිබෙනවා.

?බලය නිසි පරිදි ලබා නොදීමටත් හේතු පවතිනවා නේද

ඇත්තෙන්ම එය පිළිගත යුතු වෙනවා. මෙතැන පවතින්නේ තවමත් වාර්ගික වශයෙන් පවතින සැකය සහ අනවබෝධයයි. උතුරු - නැගෙනහිර මුල් පළාත් සභාවේ බලය පැවරුණේ වර්ධරාජා පෙරුමාල්ටයි. ඔහු ආරම්භයේදීම ඊළාම් ධජය උස්සලා මධ්‍යම රජයේ පැවැති විශ්වාසය කඩකළා. එදා පැවැති රජය පමණක් නොවේ, ඉන්පසුව බලයට පත් වුණු චන්ද්‍රිකා මහත්මිය පවා බලය බෙදාහැරීමේදී පසුබැස්සා. චන්ද්‍රිකා මහත්මියගේ නායකත්වයෙන් යුක්ත වුණු 
ශ්‍රී ලංකා මහජන පක්‍ෂය පළාත් සභා ක්‍රමයට උපරිම සහාය දැක්වූවා. ඒත් ඇය බලයට පත් වුණායින් පස්සේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් ගෙන ගියා. එවකට රට තුළ පැවැති උග්‍ර ත්‍රස්තවාදී ගැටුම එයට හේතුව ලෙසයි මම දකින්නේ.

?මෙම පනත ගෙන එද්දී හුඟදෙනෙක් අරගල කළා නේද? එවකට පැවැති රජයේ අගමැතිවරයාව සිටි ප්‍රේමදාස මහතා පවා පළාත් සභා පනතට කැමැත්තක් දැක්වූවේ නැහැ නේද

ඇත්තෙන්ම ප්‍රේමදාස මහත්තයා කියන්නේ බොහොම සංවේදී ජනතාවාදී නායකයෙක්. ඔහු බොහෝ දුරට ජනතාවට ඇහුම්කන් දුන්නා. එදා  ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව විශාල ජනතා බලවේගයක් නැගී සිටියා. එතැනදී ප්‍රේමදාස අගමැතිතුමා හිටියේ වැඩි ජනමතය සමගයි. නමුත් අගමැතිවරයා වශයෙන් සිය වගකීම රජය වෙනුවෙන් ඉටුකරන්නට ඔහුට සිදු වුණා. ඒ නිසයි පළාත් සභා පනත පාර්ලිමේතුවට ගෙන එන්න එතුමාට සිදුවුණේ. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හිටියේ මෙම ක්‍රමයට මුළුමනින්ම විරුද්ධවයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්‍රමයට විරුද්ධව සන්නද්ධ අරගල කරමින් රටේ විශාල භීෂණයක් ඇති කළා. මේ නිසා මේ රටට තරුණ ජීවිත දහස් ගණනින් අහිමි වුණා. එදා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණ අය වගේම මුලින්ම ඡන්දය දාන්න ගිය අය පවා ඝාතනයට ලක් වුණා. එහෙම කරපු ඔවුනුත් අද පළාත් සභාවල නියෝජිතයන් බවට පත්වෙලා. ශ්‍රීලනිපයටත්, ජවිපෙටත් දේශපාලනයේ අරමුණවල නිසි සමබරතාවක් නොමැති බව මේකෙන්ම පෙනී යනවා නේද?

?පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔබේ කාර්යභාරය ඉටුකරන්නේ කොහොමද 

මම දේශපාලඥයෙක් වෙන්න කලින් ඉඳලම සමාජ සත්කාර සේවාවල උපරිමයෙන් නියුතු වන අයෙක්. තවමත් ඒ වැඩපිළිවෙළ ඒ අයුරින්ම මගේ පෞද්ගලික ධනයෙන් කරගෙන යනවා. මම වැඩි උනන්දුවක් දක්වන්නේ අධ්‍යාපනයටයි. ඒකට හේතුව තමයි මම මේ කොළඹ නගරයේ ඉතාමත් පහළ මට්ටමක ඉඳලා ජීවිතය ගොඩනගාගත් කෙනෙක්. මම ඉගෙනගත්තේ අනගාරික ධර්මපාලතුමා පිහිටුවපු මහාබෝධි විද්‍යාලයේ. උසස් පෙළ දක්වා මම එහි ඉගෙනුම ලැබුවා. බෞද්ධ දර්ශනයේ හැදියාව මට ඒ නිසා පිහිටලා තියෙනවා. මට තිබුණු මුදල් අපහසුතා නිසා ඉහළට ඉගෙනගන්න බැරි වුණා. ඒත් මම අද මේ වනවිට ළමයි දහස් ගණනකට උසස් අධ්‍යාපනය ලබාගැනීමට මගේ ශක්ති ප්‍රමාණයෙන් උදව් කරල තියෙනවා. ඒ තුළින් මම අද තෘප්ත්මත් වෙනවා. ඒ වගේම  මේච්චර කාලයක් සිදු නොවුණු මේ රටේ අධ්‍යාපනයේ විශාල වෙනසක් වර්තමාන රජය යටතේ දැන් වෙමින් පවතිනවා. දේශපාලඥයෙක් විදිහට නෙවෙයි, පුද්ගලයෙක් හැටියට මම කැමතියි ඒ සඳහා උපකාර කරන්න. 

?ඔබ එයින් අදහස් කරන ක්‍රමවේදය පැහැදිලි කළොත්

පළාත් සභා යටතේ මේ රටේ වැඩිම විදුහල් ප්‍රමාණයක් පවතිනවා. එහෙත් මේවායේ පරිපාලන කටයුතු හරිම ව්‍යාකූලයි. මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කරනවා. මේවා නිසි අධ්‍යයනයකින් යුතුව පළාත් සභා මගින් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙත් වර්තමානයේ දේශපාලන න්‍යාය පත්‍ර නිසා කඹ ඇදිලි ඇති බව පෙනී යනවා. මෙය විකෘති තත්ත්වයක් අධ්‍යාපනය කියන්නේ මුළු රටටම බලපාන විෂයයකට එයට දේශපාලනය ඈඳාගත යුතුම නැහැ.

?නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔබේ දැක්ම කුමක්ද

අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමාට අධ්‍යාපනයේ නව පෙරළියක් ඇති කිරීමට හදවතින්ම අවශ්‍යතාවක් ඇති බව පෙනී යනවා. නව ලොවේ ඉදිරි ගමන සැකසෙන්නේ තාක්‍ෂණික අධ්‍යාපනය තුළිනුයි. එතුමා ඒ පිළිබඳ දක්වන උනන්දුව වගේම සෑම දරුවෙකුටම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ පැසසුම් කටයුතුයි. ඒ වගේම %ළඟම පාසල - හොඳම පාසල^ යන සංකල්පය මත පාසල් නවීකරණය කිරීම තුළින් නගරයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පවතින තරගය අවම කරගන්න පුළුවන්. එහෙත් මෙම ක්‍රමවේදයේ මන්දගාමී බවක් පෙනී යනවා. මෙයට රටේ ආර්ථිකයත් බොහෝ දුරට බලපානවා. නොදියුණු පාසල් උසස් තත්ත්වයට ගෙන ඒමට නම් ඒ සඳහා පෞද්ගලික අංශයේ සම්පත් දායකත්වයක් අවශ්‍යම වෙනවා. 

?ඔබ කියන්නේ පෞද්ගලික අංශයේ මැදිහත් වීම අවශ්‍යයි කියලද

සැබැවින් එය එසේ විය යුතුයි. බලන්න වසරකට සැරයක් පාසල් ගොඩනැගිලිවල තීන්ත ගාන්න වගේම අනෙකුත් යටිතල පහසුකම් හදන්නත් දෙමවුපියන්ගෙන් කොපමණ මුදලක් වැය වෙනවද කියල. එයට අමතරව සංවර්ධන සමිති සඳහා ඔවුන් මුදලින් දායක විය යුතුයි. එයට අමතරව විවිධ අවශ්‍යතා සඳහා නිල නොවන මට්ටමින් මුදල් එකතු කරනවා. අඩු ආදායම් ඇති දෙමවුපියන්ට මෙය දරා ගැනීම අපහසුයි. පාසලක යටිතල පහසුකම් වගේම වාර්ෂිකව ගොඩනැගිලි පිළිසකර කිරීම පෞද්ගලික ආයතනයකට බාර දෙනවා නම් ඔවුන් ඉතා කෙටි කලකින් වගේම ඉතාමත් හොඳින් එම කටයුත්ත ඉටු කරදේවි.

?කතාවට කිව්වට ක්‍රියාවට නැංවීමේදී එයට ගැටලු මතු වෙනවා නේද

මේ රටේ ගැටලු නැත්තේ කොතැනද? හැමතැනම බැලුවොත් ප්‍රශ්නයක්. මම ව්‍යාපාරිකයෙක්. මම දන්නවා අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් අධ්‍යාපනය සඳහා පිවිතුරුවම දායක වෙන්න කැමැත්තෙන් ඉන්න බව. 

?එතකොට ඒ ආයතන ඔවුන්ගේ වෙළෙඳ සන්නාමය මුළු පාසල පුරාම එල්ලන්න පටන් ගනීවි

මම දන්න තරමින් ඔවුන් එතරම් පහත් තත්ත්වයකට වැටෙන එකක් නැහැ. එහිදී ඔවුන්ගේ වෙළෙඳ සන්නාමය භාවිත කිරීම අවම පුවරුවකට පමණක් සීමා කළ යුතු වෙනවා. ඒ වගේම ඔවුන්ට බදු සහනද ලබාදීම රජය මගින් විය යුතුයි. 

?එතකොට නිදහස් අධ්‍යාපනය සමාගම්වලට විකුණන්න යනවා කියලා උද්ඝෝෂණයක් රට පුරා ඇති වේවිනේ

මේ රට දියුණු කරන්න රාජ්‍ය අංශයට තනියම බැහැ. අපි ඇත්ත කතා කරමු. හැට සහ හැත්තෑව දශකයේ අපේ රටේ රාජ්‍ය අංශය තුළ වැඩිම දායකත්වයක් පැවැති යුගයක්. ඒත් රාජ්‍ය අංශයේ ඵලදායිතාවක් පැවතුණාද? අපේ රටේ අගනා වාණිජ සම්පත් දෙක තේ සහ රබර් කර්මාන්තය මුළුමනින්ම කඩාගෙන වැටුණෙ නැද්ද? එයට හේතු කිසිම ඉවක් බවක් නැතිව වතු රජයට පවරාගැනීමයි. රටක දියුණුවට පෞද්ගලික අංශයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඒ නිසයි.

?ඒ වුණාට අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකුණන්න යනවා කියලා දැනටත් රටේ ලොකු උද්ඝෝෂණයක් පවතිනවා නේද? ඔබ ඔය කියන විදිහට පාසල්වල නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනවලට බාර දුන්නොත් නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට වක්‍රාකාරව විකිණුවයි කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද

කොහොමද එහෙම වෙන්නේ. පාසලේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ මධ්‍යම රජයෙන් සහ පළාත් සභා ආයතන මගිනුයි. අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන්නේ මධ්‍යම රජයෙන්. ඒවා ක්‍රියාත්මක කරන්නේ රජයේ නිලධාරීන් සහ ගුරුවරුන්. පෞද්ගලික අංශයට ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් කරන්න බැහැ. කොටින්ම කිව්වොත් ඔවුන්ට පාසලකට ළමයෙක් ඇතුළත් කරගන්න කියල බලපෑමක්වත් කළ නොහැකි විදිහට නීති සම්පාදනය විය යුතුයි. මෙම ක්‍රමවේදය තුළින් අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකියි. ඒ මුදල නිදහස් අධ්‍යාපනය නව ලොවට ගැළපෙන අයුරින් ශක්තිමත් කරන්න යොදවන්න පුළුවන්. ඒ වගේම නව ගුරුවරුන් බඳවාගැනීමටත්, ගුරුවරුන් සඳහා හොඳ වැටුපක් ලබාදීමටත් හැකි වෙනවා. දෙමවුපියන්ගේ බරත් අඩුවෙනවා. 

?ඔබේ අදහස සාර්ථක වන බව පැහැදිලියි. එහෙත් අපේ රටේ න්‍යායවාදී අරගලකරුවන්ට මේකත් හොඳ %බයිට්^ එකක් වේවි නේද

අද ලෝකයේ බොහෝ රටවල් ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරමින් සිටිනවා. අපි ඉන්නේ කොතැනද? සාක්‍ෂරතාව අනුව අපේ රටේ ජනතාව ඉන්දියාවටත් වඩා ඉන්නේ ඉදිරියෙන්. ඒත් අපේ ආර්ථික සංවර්ධනය පවතින්නේ පහළම මට්ටමකයි. අපේ රට මේ තත්ත්වයට පත්කරල තියෙන්නේ ඔය න්‍යායවාදී සටන් පාඨ දේශපාලනයයි. සැබැවින්ම රටේ සබෑ ප්‍රතිගාමී, අගතිගාමී, ආගම්වාදී, ජාතිවාදී බල කඳවුර මෙහෙය වන්නේ ඔවුනුයි. එය මේ රටට ආදරය කරන ජනතාව දැනගත යුතුයි. 

සාකච්ඡා සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ

අපේ රට දියුණු කරන්න බැරි සටන් පාඨ දේශපාලනය නිසයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :