වෙනසක් කිරීමට පැමිණ ජනතාවගේ බඩට පහර ගැසීම සාධාරණද?
( . . ) 2018-05-14 09:24:52
Comments - 0       Views - 313

මෙරට බොහෝ භාණ්ඩ හා සේවාවල මිල තීරණය වී ඇත්තේ ඉන්ධන මිල හෝ ගෑස් මිල සැලකිල්ලට ගෙනය. මේ නිසා මෑත කාලයේදී ඉන්ධන හෝ ගෑස් මිල ඉහළ ගිය සෑම අවස්ථාවකදීම මෙරට පාරිභෝගික ජනතාව භාවිත කරන භාණ්ඩවල මිල පවා වැඩි විය. ගෑස් හා ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල ඉහළ දමන්නේ කුමන සූත්‍රයකටද යන්න ජනතාවට දැන ගැනීමට ලැබෙන එකම අවස්ථාව වන්නේ බස් ගාස්තු සංශෝධනයකදී පමණි. මන්දයත් අනෙකුත් සෑම භාණ්ඩයක හා සේවාවක මිල වැඩි කරනු ලබනුයේ ව්‍යාපාරිකයන් හෝ සමාගම් පරිපාලකයන් විසිනි.


යම් ලෙසකින් ඉන්ධන හෝ ගෑස් මිල පහළ ගියහොත් භාණ්ඩ හා සේවාවල මිල පහළ යන ආකාරය මෑත කාලයේදී දැකගන්නට නොලැබිණි. සිදු කරනු ලබන ජාවාරම් ක්‍රියා නවතා දැමීමට බලධාරීන් උත්සාහ ගන්නා ආකාරයක්ද දක්නට නොලැබිණි. මේ නිසා ඉන්ධන හා ගෑස් මිල වැඩි වූ සෑම අවස්ථාවකදීම %ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ^ ක්‍රියාවකට මුහුණදීමට  සිදුවිය.

රට තුළ ඉහළ ජාවාරම් ක්‍රියා හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිල පහළ දැමීමේදී පවතින ආණ්ඩුව එක්වරක් නොව කිහිපවරක් සිතා බැලීම සිදු කරයි. එහෙත් රටේ ජනතාවගේ අවාසනාවකට හෝ මේ වන විට යොදය සහිත කිරිපිටි, පරිප්පු, ගෑස්, ඉන්ධන මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ දමා තිබේ. පසුගිය අප්‍රේල් 29 වැනිදා කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළේය. මේ නිසා ගෑස් උපයෝගී කරගෙන ආහාරපාන සකස් කරන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්විය. පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් 245ක මුදලක් අමතරව දැරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව ආපන ශාලා හා හෝටල්වල ආහාරපාන ඉහළ දැමීමට බොහෝ හෝටල් හා ආපන ශාලා හිමියන් කටයුතු කර තිබේ. ඇතැම් හෝටල් හා ආපන ශාලාවල බත් පැකැට්ටුවක මිල රුපියල් 10කට වැඩි මුදලකින් ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

එහෙත් මීට පෙර ගෑස් මිල අඩු වූ අවස්ථාවේදී ආහාරපාන අඩු කිරීමට හෝටල් හිමියන් හෝ ආපන ශාලා හිමියන් කටයුතු නොකළේය. ගෑස් මිල ඉහළ දමන විට බත් පැකැට්ටුවේ සිට අාහාරපාන ඉහළ දැමූ බවට ප්‍රකාශ කළ ආපන ශාලා හිමියන්ගේ සංගමය ගෑස් මිල පහළ දැමූ අවස්ථාවේදී ආහාරපානවල මිල අඩු කරන බව ප්‍රකාශ නොකළේය. මේ අනුව බලන කල යම් විෂමතාවක් ඇතිව තිබෙන බවට පැහැදිලිය.

කෙසේ නමුත් ආපන ශාලා හිමියන්ට හා හෝටල් හිමියන්ට ගෑස් මිල දරාගත නොහැකි ආකාරයට ඉහළ යන්නේ නම්, ඊට සාපේක්‍ෂව ආහාර මිල ඉහළ යෑම අනුමත කළ හැකිය. එහෙත් සාධාරණ ආකාරයට භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම මෑත කාලයේදී සිදු නොවූ කාරණයකි. ගෑස් මිල ඉහළ දැමීමෙන් පසු ආණ්ඩුව යොදය සහිත කිරිපිටි මිල ඉහළ දැමීමට කටයුතු කළේය. මීට දශක දෙකකට, තුනකට පෙර කිරිපිටි මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය පානයක් ලෙස සලකනු නොලැබිණි.
එහෙත් ග්‍රාමීයව කිරි ගවයන් සිටින ප්‍ර‘දේශවලදී ජනතාව දියර කිරි භාවිත කිරීම සිදුවිය. පසුකාලීනව කිරිපිටි හඳුන්වා දීමත් සමග රටේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයකගේ උදේ ආහාරය කිරිපිටි වීදුරුව බවට පත් විය. පොදුවේ මෑතක් වනතුරු රටේ අතිබහුතරයක් වූ ජනතාව උදෑසන භාවිත කළ තේ කෝප්පයට, දියර කිරි වීදුරුවට පයින් ගසා කිරිපිටි වීදුරුවකට හුරු විය. මීට අමතරව දෙතනට කිරි එරුණද, මවුවරුන් විලාසිතාවක් ලෙස දරුවන්ට කිරිපිටි ලබාදීමේ කලාවක් නිර්මාණය කෙරිණි.
අවසන යොදය සහිත කිරිපිටි සහ ළදරු කිරිපිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් විය. මේ නිසා කිරිපිටි මිල ඉහළ යන සෑම අවස්ථාවකදීම එය ජනතාවගේ ආර්ථිකයට සැලකිය යුතු ආකාරයට දැනෙන්නට විය. මේ අනුව මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් ඉහළ දැමූ අතර, එය ක්‍රියාත්මක වීමේ දිනය මේ මස 05 වැනිදා බවට රජය ප්‍රකාශ කළේය.

මෙම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ ගිය අතර, මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කිරිපිටි පැකැට්ටුව වනුයේ ග්‍රෑම් 400 පැකැට්ටුවයි.
ඇතැම් කිරිපිටි සමාගම්වලින් පළකරන දැන්වීම්වලට අනුව කිරිපිටි ග්‍රෑම් 400ක පැකැට්ටුවෙන් කිරි කෝප්ප 40ක් සකසා ගත හැකිය. මේ අනුව කිරිපිටි කිලෝවකින් සකස් කරගත හැකි කෝප්ප ගණන ආසන්න වශයෙන් කෝප්ප 100කි. මෙලෙස තිබියදී කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව ඇතැම් වෙළෙඳ සැල් විසින් කිරිපිටි කෝප්පයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙන බව වාර්තා වේ. මේ අනුව ආණ්ඩුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් ඉහළ දමන විට කිරිපිටි කිලෝවකින් ඇතැම් කූට වෙළෙඳුන් රුපියල් 450කට අධික මුදලක් උපයා ගනිමින් තිබේ.

එහෙත් ඒ පිළිබඳ සොයා බැලීමට හෝ එම කූට ජාවාරම් නවතා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට පාලකයන්ට උනන්දුවක් නැත. මීට අමතරව %කොරේ පිටට මරේ^ සේ ආණ්ඩුව විසින් අානයනික පරිප්පු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමනු ලැබීය. මෙසේ සිදු කරමින් ආණ්ඩුව සඳහන් කළේ වෙළෙඳ පොළේ පරිප්පු මිල ඉහළ යානොහැකි බවයි.

බදු වැඩි කිරීම යටතේ මෙතෙක් පියලි නොකළ පරිප්පු කිලොවක් සඳහා යොදා තිබූ රුපියලක බදු මුදල රුපියල් 07 දක්වා ඉහළ දමා තිබෙන අතර, පියලි කළ පරිප්පු කිලෝවකට යොදා තිබූ රුපියල් 03ක බදු මුදල රුපියල් 12 දක්වා ඉහළ දමා ඇත. මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් වුවද, තුන්වේලටම බත් නොකන පිරිසක් වර්තමානයේදී බිහි වෙමින් තිබේ. එහෙත් කුමන් හෝ ක්‍රමයකින් තුන් වේලටම පරිප්පු ආහාරයක් වශයෙන් ලබා ගන්නා පිරිසද ඕනෑතරම් සිටිති.

එයට හේතු වී ඇත්තේ බත් සමග පරිප්පු ආහාරයට ගැනීමට අමතරව පාන්, ඉඳිආප්ප, පිට්ටු, තෝසේ හා රොටී සමගද පරිප්පු අනිවාර්යයෙන්ම ආහාරයට ගැනීමය. මෙම තත්ත්වය මත ලංකාව තුළ පරිප්පු නොමැති හෝටලයක්, ආපන ශාලාවක් නොමැති තරම්ය. මේ අනුව ආණ්ඩුව සිදුකළ මෙම ක්‍රියාව හේතුවෙන් පාන්, ඉඳිආප්ප, පිට්ටු, රොටී හා තෝසේ යන ආහාරවල මිල ඉහළ යෑමද අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.

වත්මන් ආණ්ඩුව අධික ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මැති ඇමතිවරුන් ඇතුළු ඉහළ පෙළේ දේශපාලඥයන්ට හැර සමස්ත ජනතාවටම ගින්දරක් උරුම වී ඇත. එනම් ඉන්ධන මිල ඉහළ යෑම හරහා ටොෆි‍යේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩවල මෙන්ම බස්, ත්‍රි‘රෝද රථ හා ප්‍රවාහන සේවයේ යොදවා තිබෙන ලොරි, ටිපර්, ඩෝසර්, බැකෝ යන්ත්‍ර ආදී සේවාවල ගාස්තු ඉහළ යෑමද වළක්වාගත නොහැකිය.

මීට අමතරව භූමිතෙල් සඳහා ලබාදී තිබූ සහනාධාරය ඉවත් කර භූමිතෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් ධීවර රැකියාව සඳහා දෛනිකව වියදම් වන මුදල ඉහළ ගොස් තිබෙන අතර, මේ හරහා මාළු මිල ඉහළ යෑමද සිදුවේ. භූමිතෙල් මිල ඉහළ දැමීම හරහා මාළු මිලදී ගැනීමට යන ජනතාවගේ ඇඟේ මාළු නැටීමද වළක්වාගත නොහැකි වනු ඇත. මීට අමතරව ග්‍රාමීය ප්‍ර‘දේශවල එළවළු හා පලතුරු වගා කරන ගොවීන් තම වගාවට අවශ්‍ය ජලය සපයා ගනුයේ ගඟකින්, ඇළකින්, වැවකින්, ළිඳකින් හෝ මෝටරයක් උපයෝගී කරගෙන ජලය ලබා ගැනීමෙනි. ගොවීන් භාවිත කරන ජල මෝටර්වලින් 98෴කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරනුයේ භූමිතෙල්ය. මේ හරහා ගොවි ජනතාවගේ දෛනික වියදම් ඉහළ යන අතර, එය ඍජුවම එළවළු මිලට බලපානු ඇත.
වතු ආශ්‍රිත ජනතාව සහ වෙළෙඳ කලාප ආශ්‍රිතව රැකියාවල නිරත වන තරුණ තරුණියෝ තමන්ට අවශ්‍ය ආහාර සකස් කිරීමේදී භූමිතෙල් යොදන ළිප් භාවිත කරති. මේ අනුව එම පිරිසගේ දෛනික වියදම් ඉහළ යෑමද සිදුවේ. 

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල 04%කින් ඉහළ ගියහොත් බස් ගාස්තු ඉහළ දැමීමට බස් හිමියන්ට හෝ සංගම්වලට නීත්‍යනුකූල අවසරය හිමිවේ. බස් සංගම් සඳහන් කරන අාකාරයට ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් ඉහළ යෑම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව 20%කින් ගාස්තු ඉහළ දැමිය හැකි බවත්ය. බස් ගාස්තුව වැඩි කිරීමට මෙවැනි ක්‍රමවේදයක් භාවිත කළද, ලක්‍ෂ 10කට අධික මගී ප්‍රවාහන සේවාවේ යොදවා තිබෙන ත්‍රි‘රෝද රථවලින් අය කරන මුදල ඉහළ යෑම පිළිබඳ නිර්ණායක නැත.
මේ නිසා ලීටරයකින් රුපියල් 14ක මුදලක් ඉහළ යන විට කිලෝමීටරයකට අය කරන මුදල රුපියල් 10කින් ඉහළ දැමීමට ත්‍රි‘රෝද රථ හිමියන්ට හැකියාව තිබේ. රුපියල් 05කින් මිල ඉහළ යෑම මෙතෙක් සිදුව නොමැති බැවින් තම තමන්ට කැමති ආකාරයට මගී ගාස්තුවක් සකස් කරගත හැකිය.

මීට අමතරව බහුල ලෙස රට තුළ ක්‍රියාත්මක පාසල් ළමයින් ප්‍රවාහන රථවලින් අය කර ගන්නා මුදල් පිළිබඳවද කිසිදු ක්‍රමවත්භාවයක් නැත. ඇතැම් රටවල් එක්ව නව ලෝක සොයාගන්නා විට මෙරට බලධාරීන්ට ත්‍රි‘රෝද රථ සේවාවට හා පාසල් ළමයින් ප්‍රවාහන සේවයට ගාස්තු ක්‍රමයක් සකස් කිරීමට තවමත් නොහැකි වී ඇත. මේ හරහාද මෙරට ජනතාව ගසාකෑමකට ලක්වීම සිදුවේ. ලෝකයේ බොහෝ රටවල් තම ඡන්දය භාවිත කර පාලකයන් පත්කර ගනුයේ රටේ ජනතාවගේ ජීවිත යහපත් ආකාරයට පවත්වාගෙන යෑමට වටපිටාව සකසා ගැනීම සඳහාය.

මෙවැනි ක්‍රමවේදයක් ඇතිව තිබෙන්නේ රටේ සියලුම ජනතාව රැස්වී තීන්දු තීරණ ගැනීමට නොහැකි නිසාය. එහෙත් අප රටේ ජනතාව ඡන්දය ලබාදී පත්කර ගන්නා පාලකයන් ජනතා යුතුකම් ඉටුකරනවාද යන්න ප්‍රශ්නයක් වී ඇත. පසුගිය ආණ්ඩුව ජනතා යුතුකම ඉටු නොකළ බැවින් ජනතා යුතුකම ඉටු කිරීමට තමන් බලයට පත්කරන ලෙස මෑත කාලයේ වැඩියෙන්ම ඉල්ලුම් කළ දේශපාලන පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.
2014 වසරාවසාන කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වූ කිහිපදෙනාද පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කළේය. 
අවසානයේදී අලුත් වෙනසක් ඇති කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති හෙවත් රටේ නායකයා බවට ජනතාව පත් කරනු ලැබිණි.
ඉන්පසුව රට හැදීමට ජනතාවට සහන ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත්, එක්සත් ජාතික පක්‍ෂයටත් ඒකාබද්ධ වී වැඩ කිරීමට පාර්ලිමේන්තුවේ වරමක් ඉල්ලා සිටියේය.
මේ අනුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් පක්‍ෂයට බලය ලබා නොදී පක්‍ෂ දෙකට හවුලේ වැඩ කරගෙන යෑමට ජනතාව වරමක් ලබා දුන්නේය. මේ වරමට අනුව එක්සත් ජාතික පක්‍ෂය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වූ මන්ත්‍රී කණ්ඩායම් එක්ව ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණි.

එහෙත් පොරොන්දු වූ ආකාරයට රටේ ආර්ථිකයේ මහ වෙනසක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ පොදුවේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත. රටක් ආර්ථික වශයෙන් දියුණු වීමට නම් රටේ අපනයන ආදායම ඉහළ යායුතුය. 

මීට අමතරව ආයෝජන ප්‍රමාණය ඉහළ දැමීම කර්මාන්ත දියුණු කිරීම රටට අවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කර ආනයන වියදම් අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු ය.
අපනයන ගැන කතා කිරීමේදී ලංකාවට ප්‍රධානම ආදායම ලැබෙන්නේ තේ වෙළෙඳාමෙනි. එහෙත් ජාවාරම් කර දේශපාලඥයන් කිහිපදෙනෙකු හා ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කරන ජාවාරම්කරුවන්ගේ ජාවාරම් ක්‍රියා නිසා ලෝක වෙළෙඳ පොළේදී ලංකාවේ තේවලට තිබූ ඉල්ලුම පහළ  වැටී තිබේ.

සිලෝන් - ටී නාමයෙන් හඳුන්වන ලංකාවේ තේවලට ලෝකයේ තිබූ ඉල්ලුම පහළ යෑමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ වෙනත් රටවලින් ගෙන එන බාල තේ සහ කසළ තේ ලංකාවේ තේවලට කලවම් කර සිලෝන් - ටී නාමය යටතේ අලෙවි කිරීම නිසාය.
මීට අමතරව ලෝකයේ බොහෝ රටවල පූර්ණ  වල්නාශක භාවිත කර සකස් කරන තේ ප්‍රතික්ෂේප කරමින් තිබෙන අතර, පසුගිය කාලයේදී ජපානයට යැවූ තේ තොගයක් යළිත් ශ්‍රී ලංකාවටම හරවා එවා තිබෙන බවද වාර්තා වේ.
මීට අමතරව ගම්මිරිස් හා කුරුඳුවලට ප්‍රමිතියෙන් තොර කුරුඳු සහ ගම්මිරිස් කලවම් කර ලෝක වෙළෙඳ පොළට  ඉදිරිපත් කිරීම නිසා ලංකාවේ ගම්මිරිස්වලට හා කුරුඳුවලට තිබූ ඉල්ලුමද අඩු වී ඇත.  මේ නිසා විදේශ විනිමය ලැබීමද අඩු වෙමින් තිබේ. 
මීට අමතරව ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුවද අද වනවිට බුලත් කොළයේ සිට සහල්, මුංඇට, අල, හාල්මැස්සන්, තල, කුරක්කන්, ලොකු ලූනු, රතු ලූනු ඇතුළු ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර ද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වනු ලබයි.
මේ අනුව රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සඳහා  මේ වනවිට රුපියල් බිලියන 20ක මුදලක් වැය කරන අතර, අපේ රටින් විදේශ රටවලට යවන භාණ්ඩවලට ලැබෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් බවද වාර්තා වේ.
මේ අනුව අපට ලැබෙන අපනයන අදායමට වඩා ආනයන වියදම් ඉහළ ගොස් තිබේ. පොදුවේ ජාත්‍යන්තර වෙළෙඳ පොළ ගනුදෙනු කරන විට භාවිත කරන මුදල් ඒකකය වන්නේ ඇමෙරිකානු ඩොලරයයි.

මේ නිසා දියුණු වූ රටවල් හා දියුණු වෙමින් පවතින බොහෝ රටවල ඩොලරයට සාපේක්‍ෂව තම රටේ මුදල් ඒකකය ස්ථාවරව පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලබයි. මේ සඳහා සිදු කරන්නේ ඩොලර් ලැබෙන ක්‍රමවේද සකස් කිරීමයි. එහෙත් අප රට තුළ එවැනි ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය මේ වන විට ඉහළ යමින් තිබේ.

මේ අනුව අද (14දා) වනවිට ඩොලරයක් මිලදී ගැනීම සඳහා  ගෙවිය යුතු මුදල රුපියල් 159.25කි. මේ අනුව ඩොලර් එකක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා මේ වනවිට රුපියල් 159.25ක්  ගෙවිය යුතුය. හෙට අනිද්දා වනවිට ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 190 – 200ක මුදලක් ගෙවීමට සිදුවුවහොත් පුදුම විය යුතු නැත.

මෙසේ තිබියදීත් ඩොලරයට සාපේක්‍ෂව රුපියල කඩාවැටීම රටට හොඳ දෙයක් බව ප්‍රකාශ කරන අඥාන දේශපාලඥයෝද සිටිති.
අපනයන ආදායම කඩාවැටීම හා නව ආයෝජන රට තුළ ඇති නොකිරීම, කර්මාන්ත ශාලා ඇති නොවීම නිසා මෙරටේ දේශපාලඥයන් රොත්ත බුරුත්ත නඩත්තු කිරීමට හා සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සේවා නඩත්තු කිරීමට හා රාජ්‍ය සේවකයන්ට වැටුප් දීමනා ගෙවීමට මෙන්ම ඔවුන් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගන්නේ ජනතාව මත බදුපිට බදු ගසමිනි.

මීට අමතරව දඩ මුදල් ප්‍රමාණය ඉහළ දමා තිබෙන අතර, රථවාහන දඩ ගැසීම් ගතහොත් එය රටේ ආදායම් මාර්ගය බවට පත්කර ගන්නා ව්‍යාපාරයක් බවටද පත්වෙමින් තිබේ.
රියදුරෙකු වැරැද්දක් කරනවා නම් එය නැවත නොකරන ආකාරයේ දඬුවමක් ලබාදිය යුතුය. එහෙත් එවැනි ක්‍රමවේදයක් සිදු කළහොත් මහා භාණ්ඩාගාරයට ගලාගෙන එන ආදායම් අඩුවන නිසා ආණ්ඩුව එදාවේල පිරිමසාගැනීම සඳහා දඩ ගැසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් තිබේ.

දඩ ගසා විනීත රියදුරෙකු බිහි කිරීමට හැකියාවක් තිබුණා නම් ලෝකයේ විනීත රියදුරන් වැඩියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්වීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයකි.
 මන්ද යත් පොලීසියෙන් දඩ කොළයක් ලැබී නොමැති රියදුරෙකු සොයාගැනීම ඉතාමත් දුර්ලභ ක්‍රියාවක් වන නිසාය. දඩවලට අමතරව බදු ගැසීමද අනුකම්පා විරහිතව සිදුවෙමින් තිබේ.
මෙහි තිබෙන හාස්‍යජනකම ක්‍රියාව වන්නේ නොමිලේ වයිෆයි දෙන බවට පොරොන්දු වූ ආණ්ඩුව දුරකථන ගාස්තු සඳහා බදු පිට බදු පැනවීමය. මේ අනුව රුපියල් 100ක වටිනාකමකින් යුතු රීලෝඩ් එකක හෝ කාඩ්පතකට පනවා ඇති බදු මුදල රුපියල් 46 - 50ත් අතර මුදලක් බව පැවසේ. (දුරකථන සමාගම් අය කරන ගාස්තුවේ වෙනස් වීම් මත)

මීට අමතරව යතුරුපැදියෙන්, පයින්, පාපැදියෙන් යන ජනතාවටද කුඩා මෝටර් රථයක් සහන මිලකට මිලදී ගැනීම සඳහා කම්හලක් ඇති කරන බවටද පොරොන්දු ලබා දුන්නේය. අවසානයට කාර් හදන කම්හල් කෙසේ වෙතත් මෝටර් රථයටද බදු පිට බදු පැනවීමට කටයුතු කෙරිණි.

උදාහරණ යක් ලෙස ලංකාවේ දුප්පත් ජනතාව අතර ජනප්‍රියතම වාහනය වන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ශ්‍රී ලංකා වරායට පැමිණි  විට වටිනාකම රුපියල් ලක්‍ෂ 13කටත් අඩු බව වාර්තා වේ. එහෙත් ලංකාවේ වෙළෙඳ පොළේදී එය මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂ 21කට වැඩි මුදලක් වැය කළ යුතුය. 

සමහර මෝටර් රථ මත යොදා තිබෙන බදු මුදල නිෂ්පාදන පිරිවැය මෙන් දෙතුන් ගුණයකි. බොහෝ භාණ්ඩවල මිල ගණන් සලකා බැලීමේදී භාණ්ඩයේ නිෂ්පාදිත වියදමට වඩා යොදා තිබෙන බදු මුදල වැඩිය.
මීට අමතරව නිදහස් අධ්‍යාපනය සඳහා රටේ ජනතාවගෙන් වක්‍රව හා ඍජුව බදු මුදල් අය කරගත්තද පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ සිට උසස් අධ්‍යාපනය අවසන් වනතුරු දෙමවුපියන්ට දරුවා වෙනුවෙන් අතිවිශාල මුදලක් වියදම් කිරීමට සිදුව තිබේ.
නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වුවද බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුව ඇත.
නේවාසික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ටද තමන්ට අවශ්‍ය ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලික වෙළෙඳ සැල්වලින් මිලදීගත යුතුව තිබේ. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වුවද වෛද්‍ය පරීක්‍ෂණවලදී නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන්නේ නැත.
එනම් මෙරටේ කිසිදු පුද්ගලයෙකුට තමන්ට රෝගයක් ඇති වීමේ අවදානමක් තිබේද යන්න සොයා ගැනීමට රජයේ රෝහලකින් පරීක්‍ෂණයක් සිදුකර ගැනීමට අවස්ථාව නැත.

පරීක්‍ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය නම්  අනිවාර්යයෙන්ම ඔහු රෝගියෙකු විය යුතුය. මීට අමතරව අදාළ පරීක්ෂණය සිදු කිරීම සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහිත තුණ්ඩුවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. රෝහලට යන රෝගීන්ට අවශ්‍ය සියලුම ඖෂධ රෝහල තුළින් ලබාදෙන බව කියමින් සෞඛ්‍ය ඇමතිවරයා හෝ ඔහුගේ මාධ්‍ය නිලධාරියා මාධ්‍ය නිවේදන නිකුත් කරන්නට පෙර, රෝහල් වට කරගෙන ‍ෙපෟද්ගලික ඔසුසල් තිබෙන්නේ ඇයිදැයි පැහැදිලි කළයුතුය.
ඔසුසල් තිබෙනවා නම් තිබිය හැක්කේ පෞද්ගලික රෝහල් හෝ ප්‍රතිකාර ස්ථාන අවට පමණකි. නිදහස් අධ්‍යාපනයක් රට තුළ ක්‍රියාත්මක වන බවට අධ්‍යාපන ඇමතිවරයා හෝ ඔහුගේ ලේකම්වරයා මාධ්‍ය නිවේදන නිකුත් කරන්නට පෙර, පාසල්වලටත් වඩා රට තුළ උපකාරක පන්ති ඇත්තේ ඇයිදැයි යන්න සහ පාසල් නඩත්තුව සඳහා දෙමවුපියන්ගෙන් මුදල් එකතු කරන්නේ ඇයිදැයි යන්න පැහැදිලි කළ යුතුය.

නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වනවා නම් රෝහලක් ඉදිරිපිට තිබිය හැක්කේ මල් ශාලාවක් පමණි. ඒ නිදහස් සෞඛ්‍ය සේවාව හරහා නිවසට රැගෙන යන මළසිරුරක් වෙනුවෙන් මිනීපෙට්ටියක් නොමිලේ ලබාදීමේ ක්‍රමයක් නොමැති නිසාය.
මේ අනුව බලන කල රට තුළ වෙනසක් ඇති කිරීමට පොදු අපේක්‍ෂකයාට  ඡන්දය ලබාදුන් ලක්‍ෂ 62කට අධික ජනතාවද, වෙනසක් අවශ්‍ය නොවන බව පවසා අනෙක් ප්‍රධාන අපේක්‍ෂකයාට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58ක ජනතාවද ඇතුළු ඡන්දය ලබාදුන්, නොදුන් සියලුම දෙනාට ආණ්ඩුවේ වෙනසෙහි ප්‍රතිලාභ භුක්ති විඳීමට සිදුව තිබේ. රටක් පවත්වාගෙන යෑමට ජනතාවගෙන් බදු අය කරගත යුතුය. එහෙත් එය සිදුවිය යුත්තේ මල නොතළා රොන් ගන්නා බඹරෙකු මෙන් ජනතාවගේ බඩට නොදැනෙන ආකාරයටය. එහෙත් අද සිදුවෙමින් තිබෙන්නේ ජන ජීවිතය මිරිකා දමමින් බදු ගැසීම හා ජනතාවගේ බඩට වදින ආකාරයට භාණ්ඩ මිල ඉහළ දැමීමය.

මීට පෙර තිබුණු ආණ්ඩුද දඩ ගැසීම, බදු ගැසීම සහ භාණ්ඩ මිල ඉහළ දැමීම සිදුකළ බවට වර්තමාන ආණ්ඩුවට කටක් හැර වචනයක් කීමට හැකියාවක් නැත. මන්දයත් ජනතාවට ඉදිරියේදී පොරොන්දු දුන්නේ වංචාව, දූෂණය නැති කර සාක්කු පිරෙන, බඩ කට පිරෙන ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරමින් අලුත් වෙනසක් සිදු කිරීම ගැනය.

එහෙත් ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සකස් කරගන්නා හාල් ඇටයේ සිට සියලුම භාණ්ඩවල මිල හා සේවාවල මිල වෙන කවර කාලයකටත් වඩා ඉහළ යමින් තිබේ.
ලෝක වෙළෙඳ පොළෙහි භාණ්ඩ මිල ඉහළ යන  ආකාරයට මෙය සිදුවන බවට ආණ්ඩුවේ සමහර දේශපාලඥයෝ සඳහන් කරති. එහෙත් ලෝක වෙළෙඳ පොළෙහි සිදුවන වෙනස්කම් මත භාණ්ඩ මිල ඉහළ යන්නේ නම් රටකට ආණ්ඩුවක් අවශ්‍යද යන කාරණය සිතා බැලිය යුතු කාරණයකි. 

වෙනසක් කිරීමට පැමිණ ජනතාවගේ බඩට පහර ගැසීම සාධාරණද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :