සෙල්ෆි ස්මාට් OPPO F7
( පැතුම් පුංචිහේවා ) 2018-05-10 10:37:39
Comments - 0       Views - 660

F7-1

මේ වනවිට ස්මාට්ෆෝන් ලෝකයේ OPPO යනු දැවැන්තයෙකි. ප්‍රමුඛ පෙළේ ස්මාට්ෆෝන් සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාවේද ප්‍රචලිතව ඇති OPPO නාමය යටතේ පැමිණෙන ස්මාට්ෆෝන් උපාංගයන් ඒවායේ දියුණු තාක්ෂණය, අලංකාරවත් නිමාව, විශිෂ්ට තලයේ කැමරාවන් මෙන්ම ඉහළ ක්‍රියාකාරීත්වයද සමගින් පරිශීලක විශ්වාසය දිනාගෙන ඇත. විශේෂයෙන්ම තරුණ පරපුර ස්මාට්ෆෝනයක ආකර්ෂණය වන සෙල්ෆි කැමරාව වැනි අංගෝපාංගයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, OPPO ස්මාට්ෆෝනයන් වෙළෙඳ පොළට ඉදිරිපත් වේ. හඳුන්වා දෙන OPPO F7 උපාංගයද ඊට උදාහරණයකි.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවේද දියත් කෙරුණු OPPO F7 ස්මාට්ෆෝනය අඟල් 6.23 ක FHD+ Super Full Screen තිරයකින් යුක්ත වෙයි. එනම් මෙහි තිරය ස්මාට්ෆෝනයේ දාරයන් අද්දර දක්වාම පැතිර ගිය Bezel-less නිර්මාණ සැලසුමකට අනුව නිමවී ඇත. ස්මාට්ෆෝනයේ ඉහළ කැමරාව සහ ස්පීකරය සඳහා කුඩා අවකාශයක් පමණක් වෙන්වී ඇත. ස්මාට්ෆෝනයේ සම්පූර්ණ තිරයම භාවිත කරමින් වීඩියෝ අන්තර්ගතයක් නරඹන අවස්ථාවකදී එම අවකාශය මඳක් කරදරකාරී යැයි හැඟී යා හැකි වුවත්, ඉක්මනින්ම ඔබ එයට හුරුවනු ඇත. මෙම තිරය 2280x 1080 විභේදනයකින් යුක්ත වන අතර, තීව්‍ර වර්ණයන්ගෙන් යුතු සුපැහැදිලි දසුන් ලබාදෙන්නට සමර්ථ වනු ඇත. මෙයට Corning Gorilla Glass 5 ආරක්ෂක තිරයක් මගින් ආරක්ෂාව සැලසී ඇත.
ඔබට ඇතැම් විටක අඟල් 6.23ක තිර ප්‍රමාණයක් සහිත ස්මාට්ෆෝනයක් ප්‍රමාණයෙන් විශාල වැඩි නිසා භාවිතයට අපහසු වේ යැයි හැඟී යා හැකිය. එනමුත් මෙය පහසුවෙන්ම අත්ල මත රඳවා තබා ගත හැකි ලෙසින් සැලසුම් කර තිබෙනා අතර, මෙහි ඇති සුවිශේෂී 19:9 තිර අනුපාතයද වඩාත් පහසුබවක් ලබාදෙනු ඇත. වීඩියෝ ක්‍රීඩාවන් සඳහාද එම තිර අනුපාතය ඉතාමත් සුදුසු බව නොකිවමනායි.

ඔබට මේ වනවිට ශ්‍රී ලංකාවේ මිලදී ගත හැකි OPPO F7 ස්මාට්ෆෝනය නවතම Android 8.1 Oreo සංස්කරණය පදනම් කොට ගත් ColorOS 5.0 මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වේ. මෙය Mediatek Helio P60 64-bit Octa-core ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර, ග්‍රැ‍ෆික් සැකසුම් සඳහා Mali-G72 MP3 ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක්ද මෙහි තිබේ. බාහිර මතකය microSD කාඩ්පත් හරහා ගිගාබයිට් 256 දක්වා ඉහළ දැමීමට හැකි වේ. ‍රැම් මතකය සහ අභ්‍යන්තර මතකය සම්බන්ධයෙන් ගත් විට මෙය සංස්කරණයන් දෙකකින් වෙළෙඳ පොළට පැමිණේ. එක් සංස්කරණයක ගිගාබයිට් 4ක ‍රැම් මතකයක් සහ ගිගාබයිට් 64ක අභ්‍යන්තර මතකයක් තිබෙනා අතර, අනෙක් වඩාත් ඉහළ සංස්කරණයේ ‍රැම් මතකය සහ අභ්‍යන්තර මතකය පිළිවෙළින් ගිගාබයිට් 6 සහ ගිගාබයිට් 128 බැගින් වේ. මේ සමගින් අදාළ යෙදුම්වලට අනුකූලව උපරිම කාර්යක්ෂමතාවක් ලබාදීමට මෙම ස්මාට්ෆෝනයට හැකියාව ඇති අතර, මෙහි App-in-App හැකියාවද තිබේ. එනිසා ඔබ වීඩියෝවක් නරඹමින් හෝ ක්‍රීඩාවක නිරත වෙමින් සිටිනා විටකදී එයින් ඉවත් නොවීම පැමිණෙන දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබේ. එසේම මෙහි ඇති Full Screen Multitasking හැකියාව නිසා හුදෙක් ඔබේ හස්ත චලනයන් හරහා එක් යෙදුමකින් තවත් යෙදුමකට මාරු වීමේ හැකියාවද පවතී.

F7-3

මෙහි දෘඪාංග හැකියාවන් ඉහළ ශක්‍යතා ස්මාට්ෆෝනයක මට්ටමේ ඇති නමුත්, මෙහි සුවිශේෂීම අංගය ලෙසින් නිෂ්පාදකයන් විසින් පෙන්වා දෙන්නේ මෙහි ඇති කැමරා පද්ධතියයි. විශේෂයෙන්ම දක්වන්නේ නම් මෙහි ඉදිරිපස සෙල්ෆි කැමරාවයි. මෙගා පික්සල් 25ක ඉදිරිපස සෙල්ෆි කැමරාව කෘත්‍රිම බුද්ධියකින් (Artificial Intelligence) බලගැන්වෙන බව මෙහි ප්‍රචාරණ කටයුතුවල සඳහන් වෙයි. සැබවින්ම මෙයින් අදහස් වන්නේ, මෙම ඉදිරිපස කැමරාවේ ආලෝක තත්ත්වය කුමක් වුවත්, එයට හසුවන වස්තුව කුමක් වුවත් ඒවා හඳුනාගනිමින් ඒවාට අනුකූලව යෝග්‍යම සැකසුම් ‍තෝරාගනිමින් ඔබට විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබා දීමට හැකියාව ඇති බවයි. මෙම ඉදිරිපස කැමරාව සමගින් real-time High Dynamic Range (HDR) සෙන්සරයක්ද තිබෙනා අතර, ඒ සමගින් AI Beauty 2.0 තාක්ෂණයද එක් වී තිබේ. මෙහි පසුපස ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 16කින් යුක්ත වේ.

මෙම AI Beauty 2.0 තාක්ෂණයට ස්ත්‍රී පුරුෂභාවය අනුව ඡායාරූපයට මුහුණ දෙන්නාව හඳුනා ගනිමින් එම ඡායාරූපය ඒ අනුව සැකසීමට හැකියාව ඇත. එසේම OPPO F7 ස්මාට්ෆෝනයේ පරිශීලකයාගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් වන පුද්ගලික රුචි අරුචිකම්ද, නිතර සිදුකරනා සැකසුම් අනුසාරයෙන් හඳුනාගනිමින් මතක තබා ගැනීමට එයට හැකිය. මෙම AI Beauty 2.0  තාක්ෂණයට මිනිස් මුහුණක ස්ථාන 296ක් හඳුනා ගනිමින් ඒ අනුව ගන්නා ඡායාරූපය වැඩි දියුණු කිරීමට හැකියාව තිබීමද විශේෂත්වයකි. එසේම නිෂ්පාදකයින් පවසන ආකාරයට මෙම තාක්ෂණයට සෙල්ෆි ඡායාරූපය සඳහා පෙනී සිටිනා පුද්ගලයන් 4 දෙනෙකු දක්වා වයස, ස්ත්‍රී පුරුෂ බව, සමේ වර්ණය සහ වර්ගය පාදක කරමින් හඳුනා ගෙන ඒ අනුව ඡායාරූපය හැඩගැස්වීමටද හැකියාව ඇත.

මෙම OPPO F7 ස්මාට්ෆෝනය ගිගාබයිට් 64 සංස්කරණය සඳහා Solar Red, Moonlight Silver සහ Diamond Black යන වර්ණයන්ගෙන් යුතු උපාංග පෙළක් හඳුන්වාදී තිබෙනා අතර, ගිගාබයිට් 128 සංස්කරණය Solar Red  සහ Diamond Black යන වර්ණයන්ගෙන් ලබාගැනීමට හැකියාව ඇත. මෙම Diamond Black සංස්කරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ, එහි පසුපස දියමන්ති ආකාරයේ නිමාවකින් යුක්ත වන අතරම, එයට ආලෝකය පතිත වන දිශාව අනුව වෙනස් වර්ණ දිස්වන ආකාරයේ කාල වර්ණයකින් යුතුව අලංකාරවත්ව එය නිමවා තිබීම නිසායි.

ඔබට OPPO F7 ස්මාට්ෆෝනය දිවයින පුරා බලයලත් නියෝජිතයන්ගෙන් ලබා ගැනීමට හැකියාව ඇත. OPPO F7 64 GB සංස්කරණය රුපියල් 54,990ක් ලෙසින් මිල නියම කොට ඇති අතර, OPPO F7 128 GB සංස්කරණය රුපියල් 69,990ක් ලෙසින් මිල නියම කොට ඇත.

 

සෙල්ෆි ස්මාට් OPPO F7 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :