පොකට් ප්‍රමාණයට ගැළපෙන සිනමා කැමරාව Blackmagic Pocket Cinema Camera 4K
( පැතුම් පුංචිහේවා ) 2018-05-03 10:49:38
Comments - 0       Views - 1068

blackmagic-pocket-cinema-camera-1

සිනමා කැමරාවක් යැයි කියූ විට බොහෝ විට ඔබට සිහියට පැමිණෙනු ඇත්තේ උරහිස මත තබාගෙන හෝ විශේෂ ආදාරකයක රුවා ක්‍රියාත්මක කළ යුතු, විශාල ප්‍රමාණයේ කැමරාවක් වනු ඇත. කෙසේ වෙතත් වර්තමානය වන විට සංයුක්ත ප්‍රමාණයේ සිනමා කැමරාද නිර්මාණය වී තිබෙනා අතර, මෙයට වසර පහකට පමණ පෙර වෙළෙඳ පොළට පැමිණි Blackmagic Pocket සංයුක්ත සිනමා කැමරාවද ඊට උදාහරණයක් ලෙසින් සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් ගැටළුව වූයේ එම කැමරාව නිෂ්පාදනය වන කාලයේදී 4k ගුණාත්මක තත්ත්වය ජනප්‍රිය වී නොතිබීම නිසා, එහි 4K හැකියාවන් අන්තර්ගත නොවීමයි. මෙම අඩුපාඩුවද සම්පූර්ණ කරමින් සන්නාමය මගින් නවතම සිනමා කැමරා සංස්කරණයක් නිකුත් කොට ඇති අතර එය Blackmagic Pocket Cinema Camera 4K නමින් හැඳින්වේ.
නමින් කියැවෙන ආකාරයටම මෙම නව Blackmagic Pocket Cinema 4K  කැමරාවට 4K ගුණාත්මක භාවයෙන් යුතුව වීඩියෝ පටිගත කිරීමේ හැකියාව තිබෙනා අතර, එය සංයුක්ත භාවය අතින් වඩාත් විශාල DSLR කැමරාවන්ගෙන් වෙන්වී වඩාත් හුරුබුහුටි හා සංයුක්ත Mirrorless කැමරාවන්ට සමාන වේ. මෙම සංයුක්ත ප්‍රමාණය නිසාම මෙවැනි කැමරාවක් වඩාත් පහසුවෙන් හැසිරවීමට හැකියාව ලැබෙනා අතර, වඩාත් පරිශීලක මිත්‍රශීලී භාවයක්ද මෙහි ඇත. සැබවින්ම මෙවැනි සංයුක්ත සිනමා කැමරාවන් යනු වර්තමානයේදී ආගන්තුක සංකල්පයක් නොවනා අතර මේවාට පැරණි විශාල සිනමා කැමරාවන්ට වඩා පුළුල් උපයෝගීතාවයක් ලබාදීමටද හැකියාව ඇත. එසේම මිල අතින් බැලූ කලද මෙය වඩාත් සුවිශාල සිනමා කැමරා උපාංගයන්ට වඩා සෑම අතකින්ම ලාභදායී වේ.

blackmagic-pocket-cinema-camera-2

මෙම Blackmagic Pocket Cinema 4K  උපාංගයේ සෙන්සරය 3/4 ප්‍රමාණයේ වන අතර, එය මෙහි පූර්වජයාට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. එසේම මෙම නව සෙන්සරයත් සමගින් ඔබට 4096 x 2160 විභේදනයේ RAW අන්තර්ගතයන් තත්පරයකට රාමු 60 ක වේගයෙන් පටිගත කිරීමට හැකියාව ඇති අතර, 1080p විභේදනයේ අන්තර්ගතයන් තත්පරයකට රාමු 120 ක වේගයකින් පටිගත කිරීමටද හැකියාව ඇත. එසේම මෙහි  25,600 ක් දක්වා Dual native ISO අගයක් ද ඇත. මෙහි වඩාත් විශාල ඉමේජ් සෙන්සරය නිසාවෙන්ම පරිශීලකයාට වඩා පුළුල් දර්ශන පථයක් ලබාදෙනු ඇත. එසේම වඩාත් වැඩි ක්ෂේත්‍ර ගැඹුරක් මෙන්ම වඩාත් අඩු ආලෝකයේ පවා පැහැදිලි දසුන් ලබාදීමටද මෙම සෙන්සරයට හැකියාව ලැබෙනු ඇත. මෙම සෙන්සරය හරහා 10-bit ProRes සහ 12-bit RAW අන්තර්ගතයන් පටිගත කිරීමටද සහාය ලැබෙනු ඇත. මෙසේ අන්තර්ගතයන් සංක්ෂිප්ත නොකෙරෙන ගොනු ආකෘතියකින් ඔබට පටිගත කිරීම් සිදුකිරීමට හැකියාව ලැබෙනා බැවින්, පසු නිෂ්පාදන කටයුතු වලදී සංස්කරණයන් සඳහා වඩාත් වැඩි පහසුවක් ලැබීමද සිදුවේ. 

blackmagic-pocket-cinema-camera-10

ඔබට මෙම Blackmagic Pocket Cinema 4K  උපාංගයේ ඇති 3.5mm ජැක් එක හෝ mini-XLR පෝට් එක ඔස්සේ ඔබ කැමති මයික්‍රෆෝනයක් හෝ බූම් එකක් සවි කිරීමට හැක. කෙසේ වෙතත් එය අත්‍යාවශ්‍ය නොවන්නේ මෙම කැමරාවේ ශ්‍රව්‍ය පටිගත කිරීම වෙනුවෙන් මයික්‍රෆෝන් හතරක පද්ධතියක් ස්ථාපනය කොට ඇති බැවිනි. කැමරාවේ පසුපස අඟල් 5 ක 1080p විභේදනයක් සහිත LCD capacitive touchscreen තිරයක් පිහි‍ටුවා ඇති බැවින් ඔබට පහසුවෙන් ඔබේ දර්ශන රාමුව සකසා ගැනීමට, නාභිගත කිරීම් සීරු මාරු කිරීම ඇතුළු වෙනත් බොහෝ පාලනයන් සිදු කිරීමට එයින් හැකියාව ලැබෙනු ඇත. මෙහි ස්පර්ෂ තිර පාලකයන්ට අමතරව භෞතික බොත්තම්ද පිහි‍ටුවා ඇති බැවින් ඉන් ඔබ කැමති ආකාරයක් ‍තෝරාගැනීමට හැකියාව ඇත.

මෙම කැමරා උපාංගයේ ලෙන්සයන් සවි කිරීම සඳහා MFT lens mount එකක් ඇත. එනම් ඔබට මේ සඳහා විශේෂයෙන්ම ලෙන්සයන් මිලදී ගැනීමට අවශ්‍ය නොවනා අතර, Mirrorless කැමරාවන් හා ගැළපෙන ඕනෑම ලෙන්සයක් දැනටමත් ඔබ අත ඇති නම්, එම ලෙන්සයන් මෙම කැමරාව හා භාවිත කළ හැක. විශේෂයෙන්ම මේ සමගින් ඔබට භාවිතා කළ හැකි ලෙන්ස් ‍තෝරාගැනීම් ප්‍රමාණයද ඉතාමත් ඉහළ බවද සඳහන් කළ යුතු වේ. එසේම මෙහි මතක ධාරිතාවය ලෙසින් ඔබට ‍තෝරාගැනීම් කිහිපයක්ම ඇත. මෙහි SD card, UHS-II සහ CFast 2.0 කාඩ්පත් ඇතුළත් කිරීම සඳහා ද්වාරයන් පිහි‍ටුවා තිබීමෙන් එයට ඉඩ ලැබෙනු ඇත. එසේම මෙහි USB-C පෝට් එකක්ද ඇති අතර, අවශ්‍ය නම් ඒ හරහා ඔබට සෘජුවම ඉහළ මතක ධාරිතාවක් ඇති බාහිර මතක ධාවකයක් සවි කොට එයට පරිගත කෙරෙනා අන්තර්ගතයන් සුරක්ෂිත කිරීමටද හැකියාව ඇත.

මෙම Blackmagic Pocket Cinema 4K  උපාංගය බලගැන්වෙන්නේ LP-E6 බැටරි හරහා වන අතර, එක් බැටරියක බලය සිඳී ගිය විට පහසුවෙන්ම තවත් බැටරියක් මාරු කිරීමට හැකියාව ඇත. එසේම එක් බැටරියකට පැයක පමණ කාලයක් එක දිගට පටිගත කිරීම් සඳහා බලය සැපයීමට හැකියාව ඇත. මෙම කැමරාව ධාවනය වන්නේ Blackmagic  සන්නාමය යටතේ පැමිණෙන මෙහෙයුම් පද්ධතියක් මතිනි. මෙයට අමතරව මෙම කැමරාව සමගින් ඔබට පසු නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා DaVinci Resolve Studio මෘදුකාංගයේ සම්පූර්ණ සංස්කරණයක්ද ලැබෙනු ඇත.

 

පොකට් ප්‍රමාණයට ගැළපෙන සිනමා කැමරාව Blackmagic Pocket Cinema Camera 4K සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :