බෞද්ධයන්ගේ මහා මංගල්‍යය වෙසක් උත්සවය
( . . ) 2018-04-30 10:07:18
Comments - 0       Views - 248

සමස්ත ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේ උතුම් දිනයක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට අතිශයින්ම ශ්‍රේෂ්ඨ දිනයකි. බෝධි සත්ත්වයන් වහන්සේගේ ඉපදීම, සිද්ධාර්ථ කුමාරයා බුදු වීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන ත්‍රිවිධ අවස්ථාවන් මෙම දිනයේ සිදුවීම එයට හේතුවය. මේ හේතුවෙන් බෞද්ධයාගේ සැබෑ අවුරුද්ද වෙසක් උත්සවය ලෙස හැඳින්විය හැකිය. එබැවින් වෙසක් උත්සවය ගෞරවාන්විතව සැමරීම වැදගත්ය. 
සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා ධර්ම පූර්ණය කරමින් එදවස තුසිත දිව්‍ය ලෝකයෙන් චුතව පස්මහ බැලුම් බලා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගෙන සිදුහත් කුමරා මෙලොව එළිය දුටුවේ උතුම් වෙසක් පොහොය දිනයේය.

විජාතමතෙතාච වසුන්‍ධරාය සො
පතිට්ඨහිත්‍වන දිසා විලොකයි
තද්‍ර අහෙසුං විවට ඞගණා දිසා
අපුපියුං තත්‍ථ ව දෙව මානුසා*
(දාඨාවංශය)

බෝසතාණන් වහන්සේ උපන් මොහොතේ මහපොළොවෙහි සිට දිසාවන් බැලීය. දිශාවෝ ප්‍රකටව පෙනී ගියහ. ඒ ඒ දිශාවන්හි දෙවි මිනිසුන් බෝසතාණන් වහන්සේට සුවඳ මලින් පූජා කළාහුය. බෝසතාණන් වහන්සේ උපන් මොහොතේ දෙවියෝ අහසෙහි නොපෙනෙමින් සිට සේසත් දරන්නට වූහ. තවද බෝසතාණෝ උතුරුදිගට සත් පියවරක් ගොස් සිංහ නාද කළහ. මෙම උතුම් අවස්ථාව වෙසක් පොහොය සැමරීමට ප්‍රධාන හේතුවක් වේ.

තවද බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දැකීමෙන් පසුව රම්‍ය, සුරම්‍ය, සුබ යන මාලිගා තුනෙහිම රජ සැප වින්දහ. පියාණන් විසින් තම පුතුන්ට කිසිදු අඩුවක් නොකොට සියල්ල සලසා දෙන ලදී. සතර පෙර නිමිති දැකීමෙන් ගිහිගෙයි කලකිරි පැවිදි වූහ. එතැන් පටන් බුදු බව ලැබීම සඳහා කැප වූහ. වෙසක් පුර පොහෝ දිනක සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුදු බව ලැබීම සුවිශේෂී සිද්ධියකි.

තද්‍ර සකමපිංසු සසෙල කාතනා

ඝනසස සඞකා දසලොක ධාතුයො

අගඤ්ජි සො ලොණ පයොසි සාදුතං
මහාවභාසො භුවෙනසු පත්‍ථරී

එකල්හි දසදහසක් ලෝක ධාතුව කම්පා විය. මහා සාගරයෙහි දිය මිහිරි රස විය. මුළු ලෝකයෙහි ආලෝකය පැතිරෙන්නට විය. තෘෂ්ණාවෙන් පෙළෙමින් ලෝකයේ ගමන් කරන මිනිසුන්ගේ දහම් පිපාසය සංසිඳු වීමටත්, ලෝක සත්ත්වයා සංසාර දුකින් එතෙර කරවීමටත් බෝසතාණන් වහන්සේ වෙසක් පොහොය දින බුදු බව ලැබීම ඉතා වැදගත් විය.

එපමණක්ද නොව බුද්ධත්වය ලැබීමෙන් පසු සම්බුදු පියාණන් වහන්සේ මුළු මහත් ලෝකයාගේම සිතසුව පිණිස කටයුතු කළහ. අසරණයන්ට පිහිට වීම, ගිලනුන්ට උපස්ථානය, තාදී ගුණය ආදිය වැදගත් වේ. උන්වහන්සේ සංසාරයේ ගමන් කරන මිනිස් ප්‍රජාව දහමින් සුමගට යොමු කළහ. උන් වහන්සේ තම ජීවිත කාලයම අන්‍යයන් සඳහා කැප කරනන්ට වූහ. මෙසේ බොහෝ කාලයක් වැඩ සිටිමින්, මුළු මහත් සක්වළම කම්පා කරමින් පිරිනිවන් පෑම සිදු වූයේද වෙසක් පොහෝ දිනයේය.
මෙලෙස බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන කාරණා තුන සිහිපත් කරමින් බෞද්ධයෝ වෙසක් උත්සවය සමරති. බෞද්ධයන් වන අපගේ සැබෑ අවුරුද්ද වෙසක් උත්සවයයි. 
ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධව සලකා බලන විට වෙසක් පුන් පොහෝ දිනයේ සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් ඇත.


පිරිනිවන් මංචකයෙහි වැඩ සිටි බුදුරදුන් සක්දෙව් රජුන් අමතා ලක්දිවත්, සිංහල ජාතියත් රැකගන්නා ලෙස පැවසීම.
බුද්ධත්වයෙන් අට වැනි වසරෙහි බුදුරදුන් තෙවැනි වරට කැලණියට වැඩම කිරීම හා සමනොල ගිරි මුදුනෙහි සිරිපා පිහිටුවීම.
සොළොස්මස්ථානයන්ට අයත් අනෙක් සිද්ධස්ථානයන්ද බුද්ධ ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වීම.
ලාට රට සිංහපුරයෙහි සිංහබාහු රජුගේ වැඩිමහලු පුත් විජය කුමරු ලක්දිවට පැමිණීමෙන් සිංහල ජාතියේ ආරම්භය සිදු වීම.


මේ කරුණු හේතුවෙන් ශ්‍රී ලාංකේය ජනතාව හැටියටද අප සැමට වෙසක් උත්සවය සුවිශේෂී දිනයකි. හෙළ නරපතියෝ මෙම උත්සවය ඉතා ගෞරවයෙන් සිදු කළහ. දුටුගැමුණු නරපතියන් විසින් සූවිසි අවුරුද්දක් වෙසක් උත්සවය පැවැත්වූ බව මහාවංශයෙහි සඳහන්ව ඇත. වෙසක් උත්සවය පිළිබඳ මහාවංශයෙහි එන පළමු සටහනද එයයි. එසේම භාතිය රජතුමා වෙසක් උත්සව විසි අටක්ද, වසභ රජතුමා වෙසක් උත්සව සතළිස් සතරක්ද කරවා ඇත. වෝහාරතිස්ස, ගෝඨාභය, ජේට්ඨතිස්ස ආදී රජවරුන්ද වෙසක් උත්සව පවත්වා ඇත.
වර්තමාන සමාජය තුළ මෙම බෞද්ධ උත්සවය විනෝදජනක ලෙස සැමරීම නතර කළ යුතුය. බෞද්ධ ප්‍රජාවට එය කිසිසේත්ම සුදුසු නැත. වෙසක් උත්සවය ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිදුකළ යුතුය. විශේෂයෙන්ම වෙසක් සතිය තුළ සුරා සූදූවෙන් තොරව, ඊර්ෂියාව, වෛරය, මානය, උද්ධච්චකම යන අකුශලයන්ගෙන් වෙන්ව කටයුතු කළ හැකි නම්, එය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම තම නිවස තුළ ආගමික පරිසරයක් නිර්මාණය කිරීම සිදු කළ යුතුය.
බුදුන් වහන්සේ පුදනු ලබන ආමිස, ප්‍රතිපත්ති පූජාවන් යන දෙඅංශයෙන් ඉතා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාවය. එය උන්වහන්සේ විසින්ම මෙසේ වදාළහ. 
(න ඛො ආනන්ද එත්තාවතා තථාගතො සත්තනො වා හෝති ගරුකතෝ වා මානිසෝ වා පූජිතෝ වා අපචිතෝ වා, යෝ ඛො ආනන්ද භිකඛුවා, භිකඛුණී වා, උපාසකෝ වා උපාසිකා වා ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. සාමීචි පටිපන්නෝ අනුධම්ම චාරී සො තථාගතං සක්කරොති ගරු කරෝති මානේති පූජේති පරමාය පූජාය.)

ආනන්දය මේ මහත් වූ පූජාවෙන් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේත් නොවන්නේය. ගරු කරන ලද්දෙත් නොවන්නේය. බුහුමන් කරන ලද්දෙත් නොවන්නේය. පූජා කරන ලද්දෙත් නොවන්නේය. උපස්ථාන කරන ලද්දෙත් නොවන්නේය. ආනන්දය යම් භික්ෂුවක හෝ භික්ෂුණියක හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක හෝ නානාවිධ ලෝකෝත්තර ධර්මයට අනුධර්ම වූ පුර්වාභාග ප්‍රතිපත්ති යැයි කියන ලද, ශීල ධුතාංග පුරණයට හා භාවනා කිරීමට පැමිණ සිටීද හෙතෙම තථාගතයන් වහන්සේට උතුම් වූ පූජාවෙන් පුදන්නේය.*
එබැවින් ලක්වැසි, ලෝවැසි බෞද්ධ ප්‍රජාව මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවෙන් සමරන්නේ නම් එය ඉතා වැදගත් වේ.
මහනුවර වත්තේගම ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරවාසී, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය වත්තේගම රතනසාර හිමි

බෞද්ධයන්ගේ මහා මංගල්‍යය වෙසක් උත්සවය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :