X
සෘජු විදේශ ආයෝජනවල ඇ.ඩො.බි.1.9ක වැඩිවීමක්
( ෂමිල පෙරේරා ) 2018-04-13 07:00:01
Comments - 0       Views - 365

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2017 වසර තුළ හිමි කරගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො.බිලියන 1.9ක් හෙවත් රු.බිලියන 290ක් පමණ වන බවත්, මෙය 2016 වසරට වඩා සිව් ගුණයක වර්ධනයක් බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට පෙර වැඩිම සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ වර්ෂ 2014 දීය. ඒ ඇ.ඩො.බිලියන 1.7කි.

2017 වසරේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයට හම්බන්තොට වරාය බදුදීම වෙනුවෙන් ලද ඇ.ඩො.මිලියන 300ක පළමු වැනි වාරිකයද අතුළත් වේ. චීන ආයෝජන මෙන්ම, හොංකොං, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල ආයෝජනද මෙම වර්ධනීය තත්ත්වය අත්පත් කරගැනීමට හේතු වී ඇති බව කියැවේ.

2015 සහ 2016 යන වසරවල සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය පිළිවෙළින් දක්වා තිබුණේ ඇ.ඩො.මිලියන 970ක් සහ ඇ.ඩො.මිලියන 450ක් ලෙසිනි.

2017 වසරේ මෙම වර්ධනීය තත්ත්වය අත්පත් කරගැනීමට හේතුවක් ලෙස රජය විසින් රට තුළ ව්‍යාපාරයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරදීමත්, සරල බදු ක්‍රම හඳුන්වාදීම සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක්දින සේවය වැනි දෑ පෙන්වාදිය හැකි බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

එසේම, ගෙවුම් ශේෂ ගැටලුව ස්ථිර ලෙස විසඳා ගැනීම සඳහා සෘජු විදේශ ආයෝජන සහ අපනයන වැඩි කිරීමට ගෙන ඇති පියවර ද හේතු වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. 2017 වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයනයද බොහෝ සෙයින් වර්ධනය වී ඇති අතර, 2017 වසර ජනවාරියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන 2018 ජනවාරි වනවිට 11.6෴කින්, එනම් ඇ.ඩො.මිලියන 965.4 දක්වා වැඩිවී ඇති බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව, විගමනික ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ ප්‍රමාණයද වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2017 දෙසැම්බර් වනවිට ඇ.ඩො.බිලියන 7.9ක් දක්වා ඉහළ ගිය බවද මුදල් අමාත්‍යාංශය පවසයි. එනමුදු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2018 ජනවාරි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිවේදනය අනුව 2018 ජනවාරි මස අවසානය වනවිට ආනයනික මාස 4.3කට ප්‍රමාණවත් වන පරිදි ඇ.ඩො.බිලියන 7.7ක් දක්වා නිල සංචිත පහළ ගොස් තිබේ. මෙම මාසය තුළ ආසියානු නිෂ්කාශන සංගමය වෙත ගෙවීමට නියමිත වාරික ගෙවීම් මේ සඳහා මූලික හේතුව වූ බවද මහ බැංකුව පවසයි. එමෙන්ම, 2017 වසරේ වාර්තා කළ ඇ.ඩො.බිලියන 7.16ක ප්‍රේෂණ, 2016 වාර්තා කළ ඇ.ඩො.බිලියන 7.24ක ප්‍රේෂණවලට වඩා අඩුවීමක් දක්නට ලැබෙන බවද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2009 සිට 2017 දක්වා විගමනික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.බිලියන 3.33ක් (2009), 4.11ක් (2010), 5.14ක් (2011), 5.98ක් (2012), 6.40ක් (2013), 7.01ක් (2014), 6.98ක් (2015), 7.24ක් (2016) සහ 7.16ක් (2017) ලෙස මහ බැංකු වාර්තාවල දැක්වෙයි.

කෙසේ වෙතත්, මෙම වසර අවසානයේදී ඇ.ඩො.බිලියන 2.5ක විදේශීය ආයෝජන ලබාගැනීමේ ඉලක්කය කරා ළඟාවීමට රජය සැලසුම් කර ඇති බවත්, එය 2020 වනවිට ඇ.ඩො.බිලියන 5 දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

සෘජු විදේශ ආයෝජනවල ඇ.ඩො.බි.1.9ක වැඩිවීමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :