X
ඩොලර් බිලියන 2.5ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක්
( ෂමිල පෙරේරා ) 2018-04-13 07:00:06
Comments - 0       Views - 928

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5ක පරිනත කාලයකින් යුතු ඇ.ඩො.බිලියන 1.25ක් සහ වසර 10ක පරිනත කාලයකින් යුතු ඇ.ඩො.බිලියන 1.25ක් ලෙස ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ඇ.ඩො.බිලියන 2.5ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබේ.

2018 අප්‍රේල් 11දා සිදුකරන ලද මෙම බැඳුම්කර නිකුතුව අනුපිළිවෙළින් 2023 අප්‍රේල් 18දා සහ 2028 අප්‍රේල් 18දා යන දිනයන්හිදී කල්පිරීමට නියමිතය.

මෙම බැඳුම්කර සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සහ ෆ්චි රේටින්ග්ස් යන ආයතන පිළිවෙළින් B1, B+ සහ B+ යන ශ්‍රේණිගත කිරීම් ලබාදී ඇත.

මෙය 2007 වසරේ සිට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳ පොළෙහි ශ්‍රී ලංකාව සිදුකළ 12 වැනි ඇ.ඩොලර් බැඳුම්කර නිකුතුව සනිටුහන් කරන බව මහ බැංකුව පවසයි.

එමෙන්ම, මෙය ශ්‍රී ලංකාව තුළ සිදුවූ විශාලතම අක්වෙරළ බැඳුම්කර නිකුතුව නියෝජනය කරන බවත්, එය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය ප්‍රබල ලෙස පෙන්නුම් කරන බවත් මහ බැංකුව පවසයි.

මෙම සාර්ථක ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ පොත් පවත්වා ගන්නන් ලෙස සිටිගෘප්, ඩොයිෂ් බෑන්ක්, එච්.එස්.බී.සී, ජේ.පී.මෝර්ගන් සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව කටයුතු කර තිබේ.

ඒකාබද්ධ හවුල්කාරීත්වය විසින් මෙම නව, වසර 5ක සහ වසර 10ක පරිණත කාල සහිත ණය කාණ්ඩ සඳහා පිළිවෙළින් 6%ක් සහ 7%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කර තිබුණු අතර, අවසානයේදී වසර 5 සහ වසර 10 ණය කාණ්ඩ සඳහා පත්‍රිකා මිලකරණය නිව්යෝක් පැය කාල පරාසය තුළදී පිළිවෙළින් 5.75% සහ 6.75%ක කූපන් අනුපාතිකය සහිතව මූලික මිල මාර්ගෝපදේශයට වඩා අඩු අගයකින් සිදුකර තිබේ.

ඒ අනුව, අවසාන ඇණවුම් පොතෙහි වසර 5 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 235කට අධික ප්‍රමාණයක් තුළින් ඇ.ඩො.බිලියන 3.0කට අධිකවද, වසර 10හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 190කට වඩා වැඩි ප්‍රමාණයක් තුළින් ඇ.ඩො.බිලියන 3.5කට අධිකවද ඇණවුම් ලැබී තිබේ. මෙයින් ශ්‍රී ලංකාව සහ එහි ආර්ථික දැක්ම කෙරෙහි ආයෝජකයන් තුළ පැවති අඛණ්ඩ විශ්වාසය පැහැදිලිව පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

ඩොලර් බිලියන 2.5ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :