X
රටේම පිරිවැය ගැන සිතා අළුත් අවුරුද්ද සමරන්න
( නඳුන් ශ්‍යාමාල් ) 2018-04-12 10:20:18
Comments - 0       Views - 343

වත්මන් සමාජ වාතාවරණයත් සමග දැඩි ජීවන අරගලයක යෙදී සිටින ජනතාව මෙම දින කිහිපයේ අලුත් අවුරුද්ද සමරමින් සුපුරුදු ජීවන අරගලයට කෙටි විවේකයක් ලබාදී එළඹෙන සතියේ සිට නැවත එය අරඹනු ඇත. වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් රජයන මෙවැනි සමාජයක ජීවත්වන අප අලුත් අවුරුද්ද සමරන්නේ අපගේ සැබෑ අවශ්‍යතා අනුවද ඒසේත් නැත්නම් මෙම ක්‍රමය විසින් අපගේ අවශ්‍යතා යැයි හුවාදක්වමින් අප මත බලෙන් පැටවූ දේ මුදුන්පත් කරගැනීමට දැයි යන්න පිළිබඳව මදක් සිතා බලන මෙන් අප ඔබට යෝජනා කිරීමට කැමැත්තෙමු. උදාවන අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් අපගේ කතාබහ චාරිත්‍රවාරිත්‍ර සහ ආහාරපානවලට පමණක් සීමා නොකොට මෙතෙක් අප නොසිතූ කරුණු කාරණා කිහිපයක් පිළිබඳ ගෙන එන්නට අප කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එම්.ජී කුලරත්න මහතා අද වෙත සම්බන්ධ කරගතිමු.


IMG_8361

අලුත් අවුරුද්ද නැවත නැවත උදාවන බව සිහි තබාගන්න

අපේ හැසිරීම් බොහෝ විට තීරණය වෙන්නේ කිසියම් වූ සංසිද්ධියක් සමගයි. මිනිසෙක් තමන්ගේ ජීවිත කාලය තුළ එකම එක් වරක් මුහුණදෙන අවස්ථාවක් වෙනුවෙන් හැසිරෙන ආකාරයත්, තම ජීවිත කාලය තුළදී නැවත නැවත උදාවන අවස්ථාවක් වෙනුවෙන් හැසිරෙන ආකාරයත් එකිනෙකට වෙනස් වූ හැසිරීම් ආකාර දෙකක් වෙනවා. 
යම් අවස්ථාවක් අපේ ජීවිත කාලය තුළ උදාවෙන්නේ එකම එක වරක් පමණක් නම් අපි අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒ අවස්ථාව වෙනුවෙන් හැසිරිය යුතුයි. නමුත් එය අපේ ජීවිතය පවතිනතාක් නැවත නැවත උදාවන අවස්ථාවක් නම් එසේ හැසිරිය යුතු නැහැ. මොකද, අපට මුහුණදීමට තවත් අවස්ථා තිබෙන නිසා. ඒ නිසා අපි අවබෝධ කරගත යුතු මූලිකම කාරණය තමයි සූර්යයාගේ ක්‍රියාකාරීත්වය සමග බැඳුණු අලුත් අවුරුදු උදාව කියන සංසිද්ධිය ජීවිතයේ එකම එක වරක් උදාවන අවස්ථාවක් නොවෙයි. ඔබ වසර 80ක් ජීවත් වෙනවා නම් 80 වතාවක් මේ අවස්ථාවට මුහුණදිය යුතු වෙනවා. අලුත් අවුරුද්ද කියන්නේ පළමු අවුරුද්දවත් අවසාන අවුරුද්දවත් නොවන බව සිහි තබාගත යුතුයි.

නොසලකා හැරීම, නොසලකා හරින්න

අනෙක් අතින් අපි අලුත් අවුරුදු සැමරීමත් සමග අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත රැගෙන යන සංස්කෘතික වටිනාකම් රාශියක් පවතිනවා. බැඳීම් අලුත් කරගන්නවා, අමනාප වෙලා හිටපු පිරිස් ආයෙත් එකතු වෙනවා, දෙමවුපිය-දූදරු සබඳතා අලුත් කරගන්නවා, සමගිය සහ සාමය අගයනවා. මේ ආදී වශයෙන් මානව සමාජයේ ප්‍රගමනය සහ යහපැවැත්ම වෙනුවෙන් පවතින සංස්කෘතික අගනාකම් රාශියක් මෙහි අන්තර්ගත වෙනවා. ඒ නිසා වැදගත්ම කාරණයක් තමයි එවැනි සංස්කෘතික වටිනාකම් සහිත උත්සවයක් අපි කිසිම හේතුවක් මත නොසලකා නොහැරිය යුතුයි. 01

සැමට පොදු සතුට විඳීමට  ආර්ථිකය අදාළ නැත

මීළඟට අපි කතා කළොත් අවුරුද්ද වෙනුවෙන් අපේ සූදානම පිළිබඳව මේ අවුරුදු උදාව විශාල ධනවතෙකුටත් එකයි, මධ්‍යම පාන්තික පුද්ගලයෙකුටත් එකයි, පැල්පතක ජීවත්වන පුද්ගලයෙකුටත් එකයි, යාචකයාටත් එකයි. මේ කාටත් පොදු දෙයකුයි මෙතැනදි සිදුවෙන්නේ. කුමන ආකාරයකින් මේ අවුරුද්දට සූදානම් වුණත්, සැමරුවත් සිදුවන එකම පොදු දේ තමයි අපි මෙතැනදි හැමෝම එකට එකතු වෙලා යම් චාරිත්‍ර කිහිපයක් ඉටුකරලා, කාලාබීලා, නෑදෑ හිතමිතුරන් හමුවෙලා කිසියම් ප්‍රමාණයකින් සතුටට පත්වීම. නමුත් හැමකෙනෙකුටම පොදු දේ සමරන ආකාරය සහ ඊට අපි සූදානම් වන ආකාරය අනුවයි අපි කොයිතරම් මේ අවුරුද්දෙන් සතුටු වෙනවාද එහෙමත් නැත්නම් දුක් වෙනවාද කියන ප්‍රශ්නය නිර්මාණය කරගෙන තිබෙන්නේ. ආහාරවලට, ඇඳුම් පැලඳුම්වලට සහ තෑගිබෝගවලට විශාල වියදමක් දරලා මෙය සමරන්න නොහැකි අයෙකුට අලුත් අවුරුදු උත්සවයක තිබෙන චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරලා ඒ වටිනාකම් ලබාගන්න හෝ ලබාදෙන්න කිසිම තහනමක් හෝ බාධාවක් නැහැ. ඒ නිසා අලුත් අවුරුද්ද සැමරීමට ආර්ථික හැකියාව හෝ තත්ත්වය කිසිම විදිහකින් බාධාවක් නොවන බව ඉතා හොඳින් අවධාරණය කරගත යුතුමයි.

ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බිහි කළ දෙවැනි අවස්ථාවේ සතුට

ඉස්සර වගේම අදටත් සමහර ග්‍රාමීය ප්‍රදේශවල අලුත් අවුරුදු සැමරීමේදී එකිනෙකාට උපකාර කරගනිමින් අවුරුදු කැවිලි සකස් කර ගනිද්දී හැම කැවිලි වර්ගයක්ම හදන්න හැම කෙනාටම හැකියාවක් නොතිබුණු නිසා අසල්වැසියන් සමග ගමේ අනෙක් පිරිස් සමග මේවා හුවමාරු කරගෙන සියලු දෙනාම බෙදාහදාගෙන කෑවා. වියදම අවම කරගැනීමට එවැනි අගනා චාරිත්‍ර අපේ ජනතාව සතුව තිබුණා. 
නමුත් අද තත්ත්වය ගත්තොත් මිනිස්සුන්ගේ සමාජශීලීත්වය යම් පිරිහීමකට ලක්වෙමින් තිබෙන නිසා විශේෂයෙන් නාගරික ප්‍රදේශවල අලුත් අවුරුදු සැමරුම බොහොම හුදකලාභාවයකින් යුතුවයි සිදුවෙන්නේ. ඒ හුදකලාභාවය නිසා ආර්ථික තත්ත්වයේ ශක්තිමත්භාවය මෙතැනදි තීරණාත්මක සාධකයක් බවට පත්වෙලා තිබෙනවා. 
අවුරුද්දක් වැනි උත්සවයකදී වියදම් කිරීමෙන් මිනිස්සු සතුට බලාපොරොත්තු වන ආකාර දෙකක් තිබෙනවා. ඉන් පළමු අවස්ථාව තමයි තමන් විසින් දුක් මහන්සියෙන් සාධාරණව උපයන ධනය පෞද්ගලිකව පරිභෝජනය කිරීමෙන් ලබන සතුට. දෙවැනි අවස්ථාව වෙන්නේ අපි එකිනෙකා සමග එකතුවෙලා සමගියෙන් සහ සහයෝගයෙන් යුතුව සාදාචාරාත්මක සහ සමාජ අගනාකම් පවත්වා ගනිමින් සාමූහිකව එකතුවෙලා ලබාගන්නා සතුට. 
අපි නැවතත් අතීතය දිහා හැරිලා බැලුවොත් ලාංකිකයෝ කියන්නේ දෙවැනි අවස්ථාවේ සතුටේ උපරිමයට පැමිණි පිරිසක්. සාමූහිකව එකතුවෙලා නැතිබැරි අයට උදව් උපකාර කරමින්, ආහාරපාන බෙදාහදාගෙන සහ ඇඳුම්පැලඳුම් පරිත්‍යාග කරමින් අවුරුදු සමරපු ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් අපිට තිබුණා.

මේ අලුත් අවුරුද්දේ අපේ පිරිවැය නිසා රටට වන පිරිවැය ගැන සිතමු

අද වෙළෙඳපොළ සහ ජනතාවගේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කළොත් දකින්න ලැබෙන දෙයක් තමයි අපේ ජනතාව අවුරුද්දකට සූදානම් වෙන්නේ ජීවිතයේ උදාවන එකම සහ අවසන් අලුත් අවුරුද්දට සූදානම් වෙන ආකාරයකට. බරපතළම ප්‍රශ්නය වෙන්නේ මේ දින දෙක ගෙවන්න තමා සතු සියල්ලම කැප කරගෙන දරන වියදම නිසා සමස්ත රටකටම දරන්නට සිදුවන විශාල පිරිවැයක් නිර්මාණය කිරීමයි.
 මෙය තමයි කවුරුත් කතා නොකරන මෙතුවක් කාලයකට අපි අවධානයක් නොදුන් නමුත් අතිශය වැදගත්ම කාරණය. අපේ සමහරක් පිරිස් වල හැසිරීම නිසා සෑම අලුත් අවුරුද්දක් අවසානයේදීම රටක් වශයෙන් විශාල පිරිවැයක් දරන්න සිදුවෙලා තිබෙනවා.
අලුත් අවුරුද්දක් සමරද්දි අද වෙනකොට මත්පැන් කියන දේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා තියෙනවා. මිනිස්සු මේවා භාවිත කරලා මහපාරේ ගිහින් අනතුරු සිදුකරගන්නවා, අසල්වැසියන් එක්ක එහෙමත් නැත්නම් නෑදෑ හිතවතුන් එක්ක ගැටුම් ඇති කරගන්නවා, රතිඤ්ඤා අතේ පත්තු කරගන්නවා, ගංගාවල මුහුදුවල විනෝද වෙන්න ගිහින් ජීවිත හානි සිදුකරගන්නවා. තවත් සැලකිය යුතු පිරිසක් ආහාරවල පරිස්සමක් හෝ පාලනයක් නැති නිසා ලෙඩ වෙනවා. 
මේ විදිහට කටයුතු සිදුවෙලා අවුරුද්දක් අතරතුර සහ අවසානයේ සැලකිය යුතු පිරිසක් රෝහල්ගත කරනවා, ජීවිත හානි දේපළ හානි සිදුවෙනවා, තවත් පිරිස් සිරගත වෙනවා. මේ විදිහට අර්බුද හදාගත්තට පස්සේ මේ රටේ පොලිස් නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, රෝහල් කාර්යමණ්ඩලයට, විනිසුරුවරුන්ට, අධිකරණ නිලධාරීන්ට තමන්ගේ සතුට පැත්තකට දාලා මේවා විසඳන්න සිදුවෙනවා. ඒ සියලු නීතිමය කටයුතුවලට වගේම තුවාලකරුවන්ගේ, රෝගීන්ගේ ඖෂධවලට, ජීවිත සහ දේපළ සඳහා වන්දි ගෙවන්න අතිවිශාල පිරිවැයක් වැය වෙනවා. 
මේ සියල්ලට පිරිවැය දරන්න සිදුවෙන්නේ පාලකයන්ගේ පෞද්ගලික ධනයෙන් නෙවෙයි අසරණ ජනතාවගේ බදු මුදල්වලින්. ඒ නිසා මේ කාරණය ගැන අවබෝධයෙන් කටයුතු කරනවා නම් තමන්ට විතරක් නොවෙයි රටටම සුභදායක වෙන අලුත් අවුරුද්දක් සමරන්න හැකියාව ලැබෙනවා.

රටේම පිරිවැය ගැන සිතා අළුත් අවුරුද්ද සමරන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :