X
හිසතෙල් ගෑමේ කතාව
( . . ) 2018-04-12 10:16:20
Comments - 1       Views - 692

හිසතෙල් ගෑම, සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර ප්‍රධානතම චාරිත්‍රයක් ලෙස සැලකේ. මේ මගින් සිදුකරනු ලබන්නේ ඊළඟ වසරට නිරෝගීකම ප්‍රාර්ථනා කිරීමයි. හිසතෙල් ගෑම, ඇතුළු අවුරුදු චාරිත්‍ර, එහි ඉතිහාසය ආයුර්වේදය හා හෙළ වෙදකමට අනුව විද්‍යාත්මකව විමසා බලමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ වෛද්‍ය නිලධාරී පරාක්‍රම විජයනාග මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි.


Poto---01

ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමේදී හිසේ සිට පාදාන්තය දක්වා නිරෝගීකම ප්‍රාර්ථනා කරනවා. හිස ශරීරයේ උත්තමාංගයයි. හිස තුළ මොළය පිහිටා තිබෙනවා. මොළයත් සමග ශරීරයේ සියලුම ස්නායු සම්බන්ධ වෙනවා. සිතිවිලිවලට ප්‍රධාන වන්නෙත් හිසයි. ඒ නිසා නිරන්තරයෙන් හිස රැකගැනීම නිරෝගීභාවයට ප්‍රධාන වෙනවා. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල ආරම්භය නිශ්චිතව සඳහන් කළ නොහැකියි. පැරණි බැබිලෝනියන්වරු %‘‘අවුරු’ යනුවෙන් සූර්යයා හඳුන්වා තිබෙනවා. සිංහලයන් එයට %‘‘ඉද්ද’ යනුවෙන් එක්කර‘‘ %අවුරුද්ද’ යනුවෙන් භාවිතකර තිබෙනවා. ඒ අනුව සූර්යයා සමග කටයුතු කිරීම, ඉර සමග පිබිදීම ආදිය අවුරුද්ද ලෙස හැඳින්විය හැකියි. අවුරුද්ද නැකැත් චාරිත්‍ර අනුව ප්‍රධාන කොටස් 12කට බෙදා තිබෙනවා. රාශි (ලග්න) යනුවෙන් හඳුන්වන්නේ එයයි. වසරකට මාස 12ක් නිර්මාණය වීම මේ අනුව සිදුවී තිබෙනවා. පැරණි සුමේරියන්වරු අහස කොටස් 08කට බෙදා හඳුනාගෙන තිබුණා. මොහෙන්ජදාරෝවරු එම කොටස් 08ට අලුත් රාශි 04කුත් එකතුකර අද තිබෙන සූර්ය මාස ක්‍රමය සකස් කළා. මේ අනුව බලන කල අලුත් අවුරුද්ද සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු දෙනාගේම ශ්‍රී ලාංකික ජාතික උත්සව මංගල්‍යයක් ලෙස සැමරිය හැකියි.

හින්දු අලුත් අවුරුදු උත්සවය ලංකාවට රැගෙන එන්නේ ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයන්. එය සිංහල අවුරුදු උත්සවය සමග එකට ඈදී වත්මන් අවුරුදු උත්සවය නිර්මාණය වී තිබෙනවා. එය ශත වර්ෂ ක්‍රමය ඉන්දියාවේ ප්‍රබලව පැවති ක්‍රිස්තු වර්ෂ 70 යුගයේදී පමණ සිදුව තිබෙනවා. ඒ අනුව අවුරුදු චාරිත්‍ර ලංකාවේ කෝට්ටේ යුගයෙන් පසු සීතාවක යුගයේ ආරම්භ වූ බවට විශ්වාස කළ හැකි සාක්ෂි තිබෙනවා.ක්‍රි.ව 1521 - 1592 සීතාවක යුගයයි. නමුත් ඊට පෙර සිටත් අවුරුදු චාරිත්‍ර තිබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය ලෙස සලකන්නේ වසර 2560ක පමණ ඉතිහාසයක්. ඒ බව අප තහවුරු කරගෙන තිබෙන්නේ මහාවංශය ඇසුරු කරගෙනයි. යටත්විජිත යුගයේදී ශ්‍රී ලංකාවේ සිටි සිවිල් නිලධාරියෙකු වූ එච්. ඩබ්ලිව් කොඩ්රින්ටන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ක්‍රි.ව 1912 දී ආරම්භ කොට 1926 දී පොතක් ලියා පළ කළා. එම පොත සංක්ෂිප්ත ලංකා ඉතිහාසය (A Short History of Ceylon) ලෙස නම්කර තිබුණා. ඔහු ඉතිහාසය පිළිබඳව ගැඹුරින් හැදෑරූවකු නොවෙයි. එංගලන්ත ජාතිකයෙකු වූ ඔහු ශ්‍රී ලංකාවේ සිටියේ වසර 14ක කාලයක් පමණයි. ඔහු ලියන ලද පොතපත ඇසුරින් අපේ ඉතිහාසය සකස්කර ගත් බවක්ද පෙනෙන්නට තිබෙනවා. සත්‍ය ලෙසම ඔහු කර ඇත්තේ මහාවංශයේ කොටස් ඔවුන්ට ගැළපෙන සේ ලියා පළකර ගැනීමයි. මහාවංශයේ ඔවුන්ට ගැළපෙන කොටස් පමණක් ඔහු ඔහුගේ පොතට යොදාගෙන තිබුණා.

කොඩ්රින්ටන්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අයෙක්. එකල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ යටත්විජිත පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් තිබුණා. යටත් විජිතවල භාෂාව, ඉතිහාසය, සාහිත්‍යය, ආගම, කලා ශිල්ප ආදිය පිළිබඳව අධ්‍යයනය කිරීමයි එම විෂය යටතේ හදාරන්නට තිබුණේ. එංගලන්තයේ සිවිල් සේවයට ඇතුළත් කර ගත්තේ මේ විෂය හැදෑරූවන්. එංගලන්තයේ රාජකීය සංගමය ආරම්භ කරන්නේ 1821දී. 1845 දී එහි 
ශ්‍රී ලාංකේය ශාඛාව පිහිටුවනවා. රාජකීය ආසියාතික සංගමය මගින් කරන්නේ යටත් විජිතවල ඉතිහාසය අධ්‍යයනය කර එය ඔවුන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කිරීමයි.

මහාවංශය තුළ ඉතිහාසය සඳහන් වන්නේ බුදුන් වහන්සේ ලොව පහළ වූ ක්‍රි.පූ 06 වැනි සියවසේ සිටයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දින විජය 700ක් සමග පැමිණ ශ්‍රී ලංකාව ජනාවාස කළ බව එහි සඳහන් වෙනවා.
නමුත් මහාවංශයට එහා ගිය ඉතිහාසයක් අපේ රටට තිබෙනවා. කොඩ්රින්ටන් පවා ඒ ඉතිහාසය වසාදමා තිබෙනවා. ශ්‍රී ලාංකේය ඉතිහාසඥයන් පවා මහාවංශයට එහාගිය ඉතිහාසය ගැඹුරින් සොයාබැලීමක් කර නැහැ.
ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත ඉතිහාසයේ පැරණි බව පිළිබඳව සැලකීමේදී මහාවංශයට එහාගිය ඉතිහාසයක් තිබෙන බව පුරාවිද්‍යා හා භාෂා සංකලනයන් පිළිබඳ සාක්ෂි අනුව තහවුරු වෙනවා. හොමෝ ඉරෙක්ටස් මානවයන් ලංකාවේ වාසය කළ බවට සාක්ෂි තිබෙනවා. නූතන මානවයාගේ පැරණි මානව පොසිල ලංකාවෙන් හමුවෙලා තිබෙනවා.

ඉරණමඩු පස් ස්ථරවලින් වසර ලක්ෂ 06කට වඩා පැරණි ගල් මෙවලම්වල සාක්ෂි හමුවෙලා තිබෙනවා. මෙයින් ගම්‍ය වන්නේ එම ප්‍රදේශවල ජීවත් වූවන් උපකරණ, මෙවලම් භාවිත කර තිබෙන බවයි. ඒ බව පතිරාජවෙල ප්‍රදේශයෙන් හමුවූ සාක්ෂිවලත් තිබෙනවා.
පතිරාජවෙලින් වසර 1,25,000කට වඩා පැරණි පොසිල හමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය වසර 1,25,000කට වඩා පැරණි බව පුරාවිද්‍යාඥයන් වර්තමානයේ ප්‍රකාශ කරනවා.

අපේ ජන සමාජයේ නහුතය යනු පාරිභාෂිත වචනයක්. නහුත යනු ශ්‍රී ලංකාවේ රජ කළ රජ කෙනෙක්. ඔහුට ගණිත සංඛ්‍යානය පිළිබඳ විශේෂඥ දැනුමක් තිබී තිබෙනවා. 1යි බින්දු 27ක වැඩි කිරීමක් පිළිබඳව ඔහු දැන සිට තිබෙනවා. සංඛ්‍යානයේ නහුතය යනුවෙන් අදහස් කරන්නේ 1යි බින්දු 27ටයි. නමුත් වත්මන් සංඛ්‍යානයේ 1යි බින්දු 27ක සංඛ්‍යාවකින් යුත් ගණනය කිරීමක් නැහැ. 2002 වර්ෂයේදී ඉන්දියානු සාගර දූෂණ කොමිෂන් සභාව ඉන්දියානු බටහිර වෙරළ පරීක්ෂා කර අඩි 4000ක් යට මුහුදු පතුලේ නගරයක පාදම සොයාගෙන තිබෙනවා. මෙය කාබන් 14 පරීක්ෂණයෙන් අවුරුදු දසදහසකට (10000) වඩා පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බව තහවුරු වෙලා තිබෙනවා.

මෙම පාදම, ඉන්දියානු පුරාවිද්‍යා ගවේෂකයන් විසින් රාවණා රජුගේ දණ්ඩක වනයේ අගනුවර ජනස්ථානය බව තහවුරු කරනවා. රාවණා මන්ත්‍රවල සූර්යයා, ඒ හා බැඳුණ වචන පවා ගැබ්වෙලා තිබෙනවා. ඒ අනුව රාවණා රජුගේ කාලයේත් සූර්යයා හා සම්බන්ධ විවිධ චාරිත්‍ර වතාවත් තිබී තිබෙනවා. රාවණා, සූර්ය වංශිකයෙක්. ඔහු පෘථිවියට එහා ගිය විශ්වය හා සම්බන්ධකම් පැවැත්වූ ආධ්‍යාත්මික බලයෙන් හෙබි ශ්‍රේෂ්ඨ නරපතියෙක්.
රාවණා සංහිතාව, අර්ක ප්‍රකාශය ඔහු ලියන ලද අදටත් ඉතිරිව තිබෙන ග්‍රන්ථ වේ. මේවා කියවා බැලීමේදී ඔහුට අහස කොටස්වලට බෙදීම සම්බන්ධයෙන් සහ සූර්යයා, තාරකා, ග්‍රහවස්තුවල චලනයන් ආදිය මෙන්ම සෞඛ්‍ය, වෛද්‍ය කරුණු පිළිබඳව ඉහළ මට්ටමේ දැනුමක් තිබූ බව දක්නට තිබෙනවා. අදට වඩා විද්‍යාව එදා බොහෝසෙයින් වෙනස්.

වත්මන් ජනතාව මෙන් හෝ ඊට වඩා එදා ජනතාව සෞඛ්‍යමය පහසුකම් භුක්ති විඳි බව පෙනෙන්නට තිබෙනවා. ලොව පැරණිම ශිෂ්ටාචාරයක් වූ බැබිලෝනියා ශිෂ්ටාචාරයට අයත් කැටයම් අතර අහසින් ගිය සිංහ මුහුණු සහිත මිනිසුන්ගේ කැටයම් හා චිත්‍රවල දැක්වෙනවා. එම මුහුණු පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල පිහිටි පුලතිස සෘෂිවරයාගේ ශෛලමය ප්‍රතිමාවේ මුහුණට සමාන බවක් තිබෙනවා. ඒ අනුව සූර්ය මංගල්‍යය විශ්වයේ සැකැස්මට අනුව සකස් කර තිබෙන බව හඳුන්වන්න පුළුවන්.
මෙය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වුවත් හිසතෙල් ගෑමේ චාරිත්‍රය හින්දු භක්තිකයන් කරන්නේ නැහැ. හිසතෙල් ගෑම අලුත් අවුරුදු චාරිත්‍රයක් ලෙස සිදුකරන්නේ සිංහලයන් පමණයි. අලුත් අවුරුද්ද රැගෙන ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයන් ලංකාවට එන්නේ මදුරාසියේ සිටයි.
මදුරාසියේ බලපෑම, හිසතෙල් ගෑම අවුරුදු චාරිත්‍රයක් ලෙස හින්දු භක්තිකයන් නොකිරීමට හේතු වූවා විය හැකියි. අවුරුදු චාරිත්‍රයක් ලෙස හින්දු භක්තිකයන් හිසතෙල් ගෑම නොකළත් හිසේ තෙල් ගැල්වීම සිදුකරනවා. කෙසේ වෙතත් හිසේ තෙල් ගැල්වීම නිතර නිතර කළයුතු බව ආයුර්වේදයේ චරකසංහිතා ග්‍රන්ථයේත්, අෂ්ඨාංග හෘදය ග්‍රන්ථයේත් සඳහන් වෙනවා. පරණ අවුරුද්දේ කළ කී දෑ චාරිත්‍ර ලෙස නැවත ආරම්භ කිරීම සිංහල හා හින්දු අලුත් අවුරුද්දේදී සිදුකරනවා. එය පරණ දේ නැවත අලුත් කර ආරම්භ කිරීමක් ලෙස හැඳින්විය හැකියි.
අවුරුදු චාරිත්‍ර ලෙස සිදුකරන සියල්ල සමස්තයක් ලෙස ගතහොත් එහි තිබෙන්නේ වැඩිහිටියන්ට සැලකීම හා ආගමික වතාවත් බව පෙනී යනවා. ශරීර සුවතාවත් අවුරුදු චාරිත්‍රවල ප්‍රධාන අංගයක්. අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ නව සඳ බැලීමෙන්. චාරිත්‍ර, ස්නානයෙන් අවසන් වෙනවා. ස්නානයට ප්‍රථම නානු ගා හිසතෙල් ගෑම සිදුකරනවා.

අෂ්ඨාංග හෘදය සහ චරකසංහිතා නමින් වෙදකම පිළිබඳව ලියවුණ ග්‍රන්ථයන් දෙකක් තිබෙනවා. හිසේ නිතර නිතර තෙල් ගැල්වීමෙන් හිසේ ඇතිවන රෝග රැසක් වළක්වාගත හැකි බව ඒවායේ සඳහන් වෙනවා. අකලට හිසකෙස් ඉඳීම, කෙස් හැළීම වළක්වාගත හැකියි. ඒ වගේම ඇස් පෙනීම, බුද්ධි වර්ධනය, පැහැපත් සමක් ඇතිකර ගැනීමට හිසේ තෙල් ගැල්වීම වැදගත් වෙනවා.

හිසතෙල් ගෑමට ප්‍රථම නානු ගෑම සිදුකරනවා. අවුරුදු නැකැත් චාරිත්‍ර අනුව මෙවර නානු ලෙස දිවුල්පත් යුෂ මිශ්‍රණය යොදාගෙන තිබෙනවා. කලාඳුරු අල, කුංකුමප්පු, සුදුහඳුන්, විෂ්ණුකාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඩු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන ඖෂධ වර්ග 14 තළා අලුත් මුට්ටියක පතඅට එකට සිදුවාගෙන එයට දිවුල්පත් ඉස්ම සහ දෙහි යුෂ කවලම් කර පෙරා ගන්නා දියරය නානු ලෙස හඳුන්වනවා. මෙයින් හිස පිරිසුදුවීමක්ද සිදුකෙරෙනවා. නානු ඉතා ඖෂධීය ගුණයෙන් යුත් සංයෝගයක්. ඖෂධවලින් ශරීරයේ පිත නියමාකාරයෙන් පවත්වාගෙන යෑම සිදුකරනවා. ලෝකයට හිරු වගේ ශරීරයට පිත අවශ්‍යයි. දෝෂයන් සමතාවයෙන් පවත්වාගෙන යෑමට නානු වැදගත් වෙනවා.
අපේ රට සමකය ආසන්නයේ පිහිටි රටක්. සමකයට ආසන්න රටවලට වසර මුළුල්ලේම ඉර මුදුන් වීම සිදුවන නිසා එම රටවල දිවා කාලය වැඩියි. ඒ නිසාම එවන් රටවල මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ නිවාසවලින් පිටතයි. දීර්ඝ වශයෙන් ශීත කාලය පවතින රටවල මිනිසුන් වැඩි වශයෙන් නිවාස තුළට වී ජීවත් වෙනවා. මේ නිසාම නිවාසවලින් පිටත වැඩි වශයෙන් ජීවත්වන ජනතාව පරිසරය සමග නිරන්තරයෙන් ගැටෙනවා. ඒ නිසා ඔවුන් මැවුම්වාදී, දේවවාදී සංකල්පවලින් ඈත්ව වැඩි වශයෙන් ස්වභාව ධර්මය සමග ජීවත් වෙනවා. ලංකාව, ඉන්දියාව වැනි රටවල මිනිසුන් වැඩි වශයෙන් පරිසරය කියවා ගැනීම සිදුකරනවා. ඒ නිසාම ස්වභාව ධර්මයේ හැසිරීම ඔවුන් නියමාකාරයෙන් දැන සිටිනවා. මොවුන් හිරු, සඳු, තාරකා, ග්‍රහවස්තු පිළිබඳව මෙන්ම ගස්වැල්, ඒවායේ මල්ඵල හටගැනීම, වර්ෂාව, අව්ව, වැස්ස ඇතිවීම ආදී දේශගුණික, කාලගුණික විපර්යාසයන් සම්බන්ධයෙන්ද මනා අවබෝධයකින් යුක්තයි. ඒ අනුව ලංකාවේ ජීවත් වූ මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් සැකසී තිබුණේ වාරි ශිෂ්ටාචාරයට අනුව සැකසුණ කෘෂිකර්මාන්තය පදනම් කරගෙනයි. මඩ ගොවිතැන මෙන්ම හේන් ගොවිතැනත් විශිෂ්ට ලෙස අපේ රටේ පැවතුණා. අන්තර්ජාතික අධිකරණයේ උපසභාපතිවරයා ලෙස 1977දී පත් වූ සී.ජේ වීරමන්ත්‍රී පවා ශ්‍රී ලංකාව පරිසර සංවර්ධනය පිළිබඳව මනා කළමනාකරණයක් ඇති රටක් ලෙස තිබූ බව ප්‍රකාශකර තිබෙනවා. ආතර් සී. ක්ලාක් ප්‍රකාශ කර තිබුණේද ශ්‍රී ලංකාවේ වාරි උරුමය මහානර්ඝතම වස්තුව බවයි.

එකම වර්ෂයක දෙවරක් මෝසම් සුළං ලැබෙන ලෝකයේ එකම රට ලංකාවයි. එබැවින් එක් වර්ෂයක් තුළ දෙවරක් අස්වැන්න ලබාගන්න පුළුවන්. මේ නිසාම කෘෂිකර්මාන්තය හා බැඳුන සූර්ය මංගල්‍යය ලංකාවේ ජන ජීවිතයත් සමග බද්ධ වී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ආවේණික දේශීය සහල් ප්‍රභේද 108ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පුරාණයේ භාවිතකර ඇති බවට දැනට සොයාගෙන තිබෙනවා. පැරණි ජනතාව එම සහල් වර්ග බෝවන හා බෝනොවන විවිධ රෝගාබාධ සඳහා භාවිතකර තිබෙනවා. ඔවුන් සිය ආහාර සකසාගෙන තිබුණේද සමබල ආහාරයක් ලෙසයි. ආහාර උෂ්ණ, ශීත මෙන්ම සැරගුණ, අඩුවැඩි ආහාර ලෙසද ඔවුන් සකස් කරගෙන තිබුණා. සාම්ප්‍රදායික ආහාරවලත් විවිධත්වයක් පැවතුණා. මෙම විවිධත්වය රස ගුණ පමණක් නොව රුචියද වැඩි කළා. ඒ නිසාම පුරාණයේ මිනිසුන් නිරෝගීමත්ව සිටියා පමණක් නොව ආහාර පාලනය තුළින් වෛද්‍යවරයෙකු වෙත නොගොස්ම රෝග සුවකර ගත්තා. මේ ආහාර රටාව අනුගමනය කිරීමයි, සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල දැක්වෙන්නේ.
අප්‍රේල් මාසයේ මැද සති දෙක තුළ ලංකාවට ඉර මුදුන් වෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ අධික උෂ්ණත්වයක් පවතිනවා. අධික උෂ්ණත්වය නිසා ශරීරයේ පිත වැඩි වෙනවා. නානු ගෑම මගින් අධික අව් රශ්මියෙන් ඇතිවන ශාරීරික පීඩා අවම කරගන්න පුළුවන්. තෙල් ගෑම, ආයුර්වේද වෙදකමේ හඳුන්වනු ලබන්නේ තෛල අභ්‍යන්ගය නමින්. අභ්‍යන්ගය යනු ගෑමයි. එම නිසා ශීර්ෂ තෛල අභ්‍යන්ගය, හිසතෙල් ගෑම ලෙසද හඳුන්වනවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයක් ලෙස හිසතෙල් ගෑම, කිසිදු තැනක ලිඛිතව සඳහන්ව නැහැ. මෙය වඩාත් පැරණි චාරිත්‍රයක් වීම එයට ප්‍රධානතම හේතුවයි. ආයුර්වේද වෙදකමේ ආරම්භය පිළිබඳව ඉතිහාසයේ හා ජනප්‍රවාදයේ විවිධාකාරයෙන් සඳහන් වෙනවා. හෙළ වෙදකම හා ආයුර්වේදය එකිනෙකට වෙනස් කාරණා දෙකක්. ලංකාවේ රාවණා යුගයේ හෙළ වෙදකම වඩාත් දියුණු තත්ත්වයට පත්ව ප්‍රචලිත වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි තිබෙනවා.

පුලස්ති සෘෂිවරයා ලෙස හඳුන්වන්නේ රාවණා රජුගේ මුත්තායි. පුලස්ති සෘෂිවරයා ඉන්දියාවේ හිමාලයේ තිබූ සෘෂිවරුන්ගේ සම්මේලනයකට ගොස් තිබෙනවා. සෘෂිවරුන් රාග, ද්වේෂ, මෝහවලින් තොර අතීතය, වර්තමානය හා අනාගතය යන තුන්කල් දැකිය හැකි ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තත්ත්වයට පත් වූ මනුෂ්‍ය කොට්ඨාසයක්. සෘෂිවරුන් ධ්‍යානවලට සමවැදී විශ්වය දෙස නෙත් යොමා සාමාන්‍ය මිනිසුන්ට දැකිය නොහැකි, තේරුම්ගත නොහැකි කාරණා අවබෝධ කරගන්නවා. පුලස්ති සෘෂිවරයා එයට සහභාගි වී තිබෙන්නේ ලංකාව නියෝජනය කරමින්.

මිනිසුන්ට ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳව මෙන්ම ඒවා වළක්වා ගැනීම සහ සුවකර ගැනීම සම්බන්ධයෙන් මෙම සම්මේලනයේදී සාකච්ඡා කර තිබෙනවා. ඔහු සම්මේලනයෙන් පසුව ලංකාවට ඇවිත් හෙළ වෙදකම විශිෂ්ට ආකාරයෙන් ආරම්භ කළ බව සඳහන් වෙනවා. නමුත් ඊට පෙරත් සාමාන්‍ය ආකාරයෙන් හෙළ වෙදකම තිබූ බවට සාක්ෂි තිබෙනවා.

ආයුර්වේද වෙදකම ලංකාවට පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්. එය ලංකාවට පැමිණීමෙන් පසු එකිනෙකට වෙන් කර ගැනීමට නොහැකි පරිද්දෙන් හෙළ වෙදකම සමග බද්ධ වී තිබෙනවා. නමුත් ආයුර්වේදය හා දේශීය වෙදකම යනු එකිනෙකට වෙනස් වූ කාරණා දෙකක්. එය අප රටේදී එකිනෙකට බැඳී තිබෙනවා. කැඩුම්බිඳුම් වෙදකම, ඇස් වෙදකම, සර්ප විෂ වෙදකම ආදිය දේශීය අපේ හෙළ වෙදකමට උදාහරණ ලෙස දැක්විය හැකියි. නමුත් ආයුර්වේද වෙදකම අපට සෘජුවම ලැබෙන්නේ ඉන්දියාවෙන්.
මිනිසා සෘජු කාය විලාසය ඇති සත්ත්වයෙක්. මිනිසාගේ හිස පිහිටා තිබෙන්නේ පොළොවට ලම්බක වන ආකාරයෙන් සිරස්වයි. මිනිසාගේ හිස ප්‍රධානයි. අනෙක් සතුන් බොහොමයකගේ හිස පොළොවට සමාන්තර ලෙස තිරස්ව පිහිටා තිබෙනවා. ඔවුන්ට තිරිසනා යන නමක් පටබැෙඳන්නේත් ඒ නිසයි. මිනිසාගේ ඔළුව සිරස්ව පිහිටන නිසා තිරිසනාගෙන් වෙන් වෙන්න ඕනෑ. ආයුර්වේද වෙදකම සම්බන්ධයෙන් සුස්කෘතසංහිතා ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට පැතිරීම, ආකර්ෂණය සහ චලනයන්වලට සඳු, හිරු සහ වාතයේ ක්‍රියාවන් පදනම් වන සේම මනුෂ්‍ය ශරීරයේ කප (ජලය), පිත (අග්නිය), වාත (වාතය) ප්‍රධාන වෙනවා. එයට අමතරව ධාතු සහ මල, දේහය දරා සිටීමට උදව් වෙනවා. ශරීරයෙන් ඉවත් කළයුතු කොටස් මල ලෙස හඳුන්වනවා.
ආයුර්වේදයට අනුව නිරෝගී පුද්ගලයෙක් යනු ප්‍රසන්න වූ ආත්මය ඉන්ද්‍රියන් හා මනස නිසි ක්‍රියාකාරීත්වයෙන් යුත් අයයි. ආයුර්වේදයේ ඌර්දව ඡත්ත්‍ර රෝග ලෙස හඳුන්වන්නේ හිස ප්‍රධාන වූ රෝගයි.
සූර්යයා මේෂ රාශියෙන් ගමන් ආරම්භ කර එක් එක් රාශියේ මාසය බැගින් ගතකර 12 වන රාශිය වන මීන රාශියට පැමිණීම අලුත් අවුරුද්ද ලෙස හඳුන්වනවා. මේ සිදුවීම පරණ අවුරුද්ද, නොනගතය හා අලුත් අවුරුද්ද ලෙස වෙන්කර තිබෙනවා. අලුත් අවුරුදු උදාව ලෙස හඳුන්වන්නේ සූර්යයා මේෂ රාශියට පැමිණීමයි. මෙය සිදු වන්නේ අප්‍රේල් 13 දිනයි. එම දිනය සහ ඊට පසු දිනය අලුත් අවුරුද්ද ලෙස සමරනවා. නානු ගෑම සිදුකරන්නේ හිසතෙල් ගෑමට පෙරයි. ඒ චාරිත්‍රයක් ලෙසයි. නමුත් අධික අව් රශ්මියෙන් ඇතිවන පීඩාවන් අවම කරගන්න අප්‍රේල් මාසය පුරාම නානු ගා ස්නානය කරන්න පුළුවන් නම් වැදගත්. එයට අමතරව සෘතු කාල අනුව ඖෂධ වර්ගවලින් සකසාගත් නානු ගා ස්නානය කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් වැලඳීම වළක්වා ගත හැකියි. ඒ වගේම ශරීරයේ සිසිල් බවකුත් ඇති වෙනවා. නානුවලින් හිස පිරිසුදු වීමක්ද සිදුවෙනවා. 

පරණ අවුරුද්දට ස්නානය කිරීමත් අවුරුදු චාරිත්‍රවල තිබෙනවා. එම අවස්ථාවේදීත් නානු ගාන්න පුළුවන්. ජ්‍යෝතිෂය හා ආයුර්වේදය අතරත් බැඳීමක් තිබෙනවා. නමුත් ජ්‍යෝතිෂය හා නවීන විද්‍යාව යනු එකිනෙකට වෙනස් කාරණා දෙකක්. මෙයින් ජ්‍යෝතිෂය විද්‍යාත්මක නොමැති බවක් අදහස් කරන්නේ නැහැ. නානු ගෑමේදී මෙවර හිසට දිවුල්පත්ද, පයට ඉඹුල්පත්ද තබන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මේවා ඖෂධීය ගුණයෙන් යුත් ශාක. මේ මගින්ද ශරීරයට සිසිලසක් ඇති කරනවා. තෙල් වශයෙන් බොහෝ අය පොල්තෙල් භාවිත කරනවා. පොල් තෙල්වලත් ඖෂධීය ගුණයක් තිබෙන බව ඇත්ත. නමුත් සිංහල අවුරුදු චාරිත්‍ර ලෙස හිස තෙල් ගෑමට තෝරාගන්නේ තල, මී, අබ, කොහොඹ, එඬරු, තෙල් වර්ගවලින් සකසා ගන්නා ලද පස්තෙල් වර්ගයක්. මෙයිනුත් හිසට ඖෂධීය ගුණයක් ලැබෙනවා. කෙසේ වෙතත් හිසතෙල් ගෑම යනු ශරීරයේ උත්තම අංගය වන හිසේ නිරෝගීභාවය සඳහා වන වැදගත්ම කාර්යය ලෙස පැරණි සෘෂිවරුන් උගන්වා තිබෙන ශීර්ෂ තෛල අභ්‍යන්ගය අලුත් අවුරුද්දට නැවත ආරම්භ කිරීමක් ලෙස පෙන්වාදිය හැකියි. අනෙක් චාරිත්‍රවලින් සිදුකරන්නේද ඒවා නැවත ආරම්භ කිරීමකුයි. ආහාර පිසීම, ආහාර අනුභවය, රැකී රක්ෂා කිරීම, ඒ සඳහා පිටත්ව යෑම, වැඩ ඇල්ලීම ජීවිතය පවත්වා ගැනීමට කෙතරම් වැදගත්ද යන්න අපි දන්නවා. ඒ තරමටම හිසේ තෙල් ගැල්වීමත් ඉතා වැදගත් බව පැරැන්නන් කෙතරම් විශ්වාස කළේද යන්න හිසතෙල් ගෑමේ චාරිත්‍රය තුළින් තහවුරු වන බවත් පෙන්වාදිය හැකියි.

වෛද්‍ය පරාක්‍රම විජයනාග (බී.ඒ, එම්.එස් - කැලණිය විශ්වවිද්‍යාලය, එල්.එල්.බී - විවෘත විශ්වවිද්‍යාලය, එම්.බී.එම් - කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ)  

සටහන - තමිඳු මධුසර ලියනගේ - අහුන්ගල්ල

හිසතෙල් ගෑමේ කතාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by lanka on (2018-04-13 08:37:53)

hisa thel gamak indeeya demala ho hindu minusun nokarana bawa..indiyawa hindu mithuraku pawasa atha.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :