X
බටහිර බුදුදහම
( . . ) 2018-04-11 12:05:58
Comments - 0       Views - 1235

DARSHAN

බටහිර බුදුදහම යැයි  බුදුදහමේ ප්‍රභේදයක් මේ වන විට ගොඩනැගී තිබේ. බටහිර බුදුදහම ලෙස හඳුන්වනු ලබන්නේ ආසියාවෙන් බැහැරව වර්ධනය වී ඇති බුදුදහමයි. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ව්‍යාප්ත වී ඇති බුදුදහම බටහිර බුදුදහම ලෙස හඳුන්වනු ලැබේ.  

කෙසේ වෙතත්, බුදුදහම බටහිර ලෝකයට විවර වීම සියවස් ගණනක් ඈතට ඇදී යයි. බටහිර ලෝකයට බුදුදහම පිළිබඳ අදහස මුලින්ම ලැබෙන්නේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මධ්‍යම ආසියාවේ සහ ඉන්දියාවේ ඇතැම් කොටස් ආක්‍රමණය කිරීමත් සමගිනි. එසේම, අශෝක අධිරාජ්‍යයාගේ ධර්මදූත සේවාවන් මගින්ද බුදුදහම පිළිබඳ පණිවුඩය බටහිර ලෝකයට ලැබිණ.

එහෙත් යටත්විජිත ව්‍යාප්ත වීමත් දහනම වැනි සියවසෙන් පසු බටහිර විද්වතුන් බුදුදහම පිළිබඳ සොයා බැලීමට යොමු වීමත් සමග බටහිර ලෝකය තුළ බුදුදහම ව්‍යාප්ත වීම ශීඝ්‍ර වශයෙන් සිදුවිය. බුදුදහම පිළිබඳව ඉංග්‍රීසි ඇතුළු බටහිර භාෂාවලින් පොතපත ලියවීමත් අර්ථ විවරණ සැපයීමත් දාර්ශනික හැදෑරීම් සිදු කිරීමත්  සිදුවන්නේ 19 වැනි සියවසෙන් පසුව බව පැහැදිලි වන කරුණකි. 

ජර්මානු දාර්ශනිකයකු වූ ෂෝපන්හවර් මෙන්ම ඇමෙරිකානු විද්වතෙකු වූ හෙන්රි ඩේවිඩ් තොරෝ  වැනි දාර්ශනිකයන්ගේ පුරෝගාමී හැදෑරීම් මෙහිදී කැපී පෙනෙයි.  දහනම වැනි සියවස අවසන් වන විට බටහිර ලෝකය තුළ බුදුදහම ජනප්‍රිය සංස්කෘතියේ කොටසක් බවට පත් වී තිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පරමවිඥානාර්ථවාදීන්  වූ  හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, හෙලේනා බ්ලැවැට්ස්කි මැතිනිය වැනි අය ආසියාතික රටවලට පැමිණ බුදුදහම හැදෑරූහ.

ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ චීන ජාතික භික්ෂූන් නිසාද 19 සියවස අගභාගයේදී බටහිර ලෝකය තුළ බුදුදහම ව්‍යාප්ත වීම සිදුවිය. සෙන් බුදුදහම පිළිබඳ ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ආචාර්යවරයකු ලෙස සැලකෙන ඩී. ටී. සුසුකි ඇමරිකා එක්සත් ජනපදයට සම්ප්‍රාප්ත වීම 19 වැනි සියවසේ අග භාගයේදී සිදු වූ විශේෂිත දෙයකි. එතුමාගේ ඉගැන්වීම් ඇමරිකා එක්සත් ජනපදය තුළත්, සෙසු බටහිර ලෝකය තුළත් සෙන් බුදුදහම ප්‍රචලිත කිරීමට බෙහෙවින් ඉවහල් විය. 
කෙසේ වෙතත්, බටහිර ලෝකය තුළ බුදුදහම ව්‍යාප්ත වීම සිදුවන්නේ නව ප්‍රශාඛාවක් ලෙසිනි. එය ආසියාතික බුදුදහමට වඩා වෙනස් වූ ස්වරූපයක් ගන්නා අතර, බටහිර දාර්ශනික කතිකාවන් සමග මිශ්‍ර වීමද සිදුවෙයි. මෙය ඇතැම් උගතුන් විසින් බෞද්ධ නූතනවාදය (Buddhist modernism) ලෙසද  හැඳින්වේ. බුදුදහම තුළට බටහිර ලෝකය තුළ ව්‍යාප්ත වී තිබූ බුද්ධිවාදය, අදේවවාදය, විද්‍යාත්මක ස්වභාවවාදය, රොමාන්තිකවාදය වැනි දෑ එක්විය. එබැවින් නැගෙනහිර බෞද්ධ ලෝකය තුළ බුදුදහම අර්ථ නිරූපණය වූ ආකාරයට වඩා වෙනස් වූ ආකාරයකින් බටහිර ලෝකය තුළ බුදුදහම අර්ථ විවරණය විය.  

බටහිර ලෝකය මෙසේ අර්ථ නිරූපණය වූ බුදුදහම ආසියාතික මෙන්ම බටහිර උගතුන් මගින් නැවතත් ආසියාව වෙතම පැමිණීමේ ස්වභාවයක්ද විසිවැනි සියවස අගභාගයේදී සහ විසි එක් වන සියවස මුල් භාගයේදී දැකගැනීමට ලැබිණි. බෞද්ධ නූතනවාදය තුළදී අවධානයට යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍රයක් වූයේ එවක විද්‍යාවේ පිළිගැනුණු  මනස සහ ශරීරය අතර වෙනස තහවුරු කිරීමයි. ඊට අතිරේකව භාවනාව කෙරෙහි බටහිර බුදුදහම තුළ වැඩි ඉඩක් සම්පාදනය කෙරුණු අතර, විපස්සනා භාවනා ව්‍යාපාර මෙන්ම භාවනා අසපු ගොඩනැගෙන්නට විය. 
එය බොහෝවිට බටහිර ලෝකය තුළ තොරෝ වැනි දාර්ශනිකයන් ව්‍යාප්ත කරමින් තිබූ පරමෝත්කෘෂ්ටවාදය සමග සබැඳියාවක් ඇති කර ගත්තේය. ඩේවිඩ් මැක්මහන් නමැති ආගමික අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයා පෙන්වන ආකාරයට බටහිර බුදුදහම අතිවිශාල වශයෙන් බටහිර නූතනවාදය වෙතින් පෝෂණය වූවක් වන අතර, බටහිර අදහස්වලින් සංවර්ධනය වූවකි. 

 

බටහිර බුදුදහම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :