X
බක් මහේ සැබෑ අරුත දැනගන්න
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2018-04-11 08:52:08
Comments - 0       Views - 519

කෘෂිකාර්මික දිවිපෙවතක් තිබූ අපේ දේශීය සංස්කෘතිය තුළ බොහෝ දේ සකස් වී ඇත්තේ ඒ මත පදනම්වය. ‘බක් මාසය’ හෙවත් ‘මහා මාසයේ’ උදාව අපි සමරන්නේ උත්සවශ්‍රීයෙනි. මේ හා බැඳුණු බොහෝ සංස්කෘතිකාංග මෙන්ම අපෙන් ගිලිහී යන සංස්කෘතිකාංගද නැවත ඉස්මතු කර ආරක්ෂා කරන මාසයක් ලෙසද මෙය හඳුනාගත හැකිය. එකී බක් මාසයේ සැබෑ අරුත හා ඒ හා බැඳි සමාජ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීම සඳහා ශාස්ත්‍රපති ගලගොඩගම සෝභිත හිමියන් ‘අද’ හා සම්බන්ධ කර ගත්තෙමු.


sobhitha himi

ඕනෑම සංස්කෘතියක් තුළ තිබෙන සිරිත් විරිත්, සම්ප්‍රදායන්, ඇදහිලි හා විශ්වාසයන්, හැඟීම් ඒ ඒ සංස්කෘතීන් නිර්මාණය කරනවා සේම ඊට ආවේණික වටිනාකමක්ද ලබා දෙනවා. සංස්කෘතියෙන් පරිබාහිරව කිසිම කෙනෙකුගේ පැවැත්ම පිළිබඳ සහතිකයක් දීමේ හැකියාවක් අපිට නැහැ. එය හරියට මාළුවයි, ජලයයි අතර පවතින්නා වූ සම්බන්ධය සේ ශක්තිමත් සම්බන්ධයක්. මානව පැවැත්ම කෙරෙහිද සංස්කෘතිය ප්‍රබල ලෙස බලපාන අතර, සිංහල අලුත් අවුරුද්ද කියා කියන්නේ අපේ එකමුතු බව, සහජීවනය යන කරුණු කාරණා එකට එකතු කරන්න පුළුවන් හොඳම මංගල්‍යයි. 

අපි සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දේ එකමුතුකම, සහජීවනය  යනුවෙන් හඳුන්වන්නේ දෙමවුපියන්, වැඩිහිටියන් සමග හිතෛෂී බව බෙදාහදා ගැනීමයි. භික්ෂූන් වහන්සේලා තුළ වුවත් වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට කතා කරන එක පෙර සිට පැවත එන පැරණි  අවුරුදු චාරිත්‍රයක්. එතැනදී නැකත්වල විශ්වසනීය බවක් තිබෙනවාද නැද්ද යන කාරණය අදාළ වන්නේ නැහැ. නමුත් එකමුතු බව, සහජීවනය, හිතෛෂී බව කියන දෙය හදන්න මෙය හේතු වෙනවා නම් අවුරුදු සිරිත්වල සැබෑ වටිනාකමක් ඇත්තෙන්ම ගැබ්ව තිබෙනවා. අපි අලුත් කියන අරුතෙන් හඳුන්වන්නේ එළිය හා ආලෝකය යන්නයි. ජීවිත කාලයේදී වර්ෂයට එක්වරක් හෝ සහජීවනය ගැන හිතන්න, එකමුතුකමින් වැඩකරන්න අවස්ථාවක් ලැබෙනවා නම් එය ඇත්තෙන්ම ජීවිතයට ආලෝකයක්.

අපි සාමාන්‍ය අලුත් අවුරුද්ද ලබන මාසය හඳුන්වන්නේ බක් මාසය නමින්. ‘බක් මාසය’ යනුවෙන් අදහස් කරනු ලබන්නේ ‘භාග්‍යවත් මාසය’ කියන අරුත නෙමෙයි. ‘බක්’ යනුවෙන් අදහස් කරන්නේ විශාල යන අර්ථයයි. අපි බකමුණා යනුවෙන් හඳුවන්වන්නේ ඒ පක්ෂියාගේ මුහුණ විශාල නිසයි. ප්‍රාදේශීය ව්‍යවහාරය තුළත් මෙවැනි වචන භාවිතයන් දැකගන්න පුළුවන්. ඌව පළාත තුළ ‘බක් අප්පා’ යනුවෙන් හඳුන්වන්නේ ‘ලොකු තාත්තටයි’. ‘බක් අයියා’ නමින් හඳුන්වන්නේ ‘ලොකු අයියා’ කියන අරුතින්. සාමාන්‍යයෙන් බක බකගා සිනාසීම ලෙස අපි හඳුන්වන්නේ හයියෙන් සීනාසිමටයි. ඒ සියල්ලන්ගෙන්ම ගත්විට අපි ‘බක’ යන්න විශාල, ලොකු යන අර්ථයෙන් හැඳින්වීම නිවැරදියි. අනෙක් අතින් මෙසේ හඳුන්වන බක් මාසය, ලොකු මාසය යනුවෙන් හඳුන්වන්නේ සාමාන්‍යයෙන් කෘෂිකාර්මික ජීවන රටාවක් ඇති රටවලට මෙය දීර්ඝ කාලපරාසයක් තිබෙන මාසයක් වන නිසයි. අස්වනු නෙළන්නේ මේ කාලයට. එකී කෘෂිකර්මාන්තය හා බැඳි සියලු දේවල් ඈත අතීතයේ සිටම අපි නැකතකට අනුවයි සිදුකරනු ලබන්නේ. අටුවෙන් වී ටික පවා ගන්නේ නැකතට. ජලය ලබාගන්නා එක පවා නැකතට අනුවයි සිදුකරන්නේ. ඒ අනුව ගත් කල ලාංකේය සංස්කෘතියේ ජීවය ලබාදෙන මාසය අපි ‘බක් මාසය’  ලෙස සලකන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම ආසියානු කලාපය කෘෂි ආර්ථිකයක් හා බද්ධ වී තිබීම හඳුනාගන්න පුළුවන්. තාක්ෂණයත් සමග ගමන් කිරීමටත් වඩා අපේ තිබෙන්නේ කෘෂි ආර්ථිකයක්. ඒ කෘෂි ආර්ථිකයේ වැදගත්ම සාධකය වන්නේ ජලයයි. අපේ අලුත් අවුරුදු චාරිත්‍ර ගත්විට ජලය හා බැඳි චාරිත්‍ර තිබෙනවා. ඉස්සර අපේ මිනිස්සු ළිඳත් එක්ක ගනුදෙනු කළා.

තමන් දෛනිකව ජලය ලබාගන්නා ළිඳට පඬුරක් දමා ජලයත් එක්ක තමයි මුලින්ම ගනුදෙනුව කරන්නේ. එක්තරා ලෙසකින් කෘෂි ආර්ථිකයේ වැදගත්කම කියාපාන්නට මේ චාරිත්‍ර වාරිත්‍ර සකස් වී තිබෙන්නේ යැයි අපිට කියන්න පුළුවන්. මෙහිදී අපි මූලික කරගන්නෙත් ධාන්‍යයි. අවුරුදු මාසයේ අපි කැවිලිපෙවිලි පිළියෙල කරනවා කියන්නෙත් අපේ තිබෙන මුං ඇට, හාල් පිටි කොටා තල ආදිය යොදාගනිමින් රසකැවිලි සකස් කරගැනීමට. ඒ වගේම ඒ ආශ්‍රිත පුදපූජාවන් පැවැත්වීම. ළිපගිනි මෙලවීමේ චාරිත්‍රය වැදගත් වන්නේ දින තුන්සිය හැටපහක් පුරාම ආහාර පිළියෙල කිරීමට උපකාරී වූ ළිපට ගෞරව දැක්වීම වගේම කළගුණ සැලකීමක් ලෙසද අර්ථ ගන්වන්න පුළුවන්. මේ නිසා සිංහල ගෘහණියන් එය ඉතා සැලකිල්ලකින් ඉටුකරනු ලබයි. ගොම, මැටිගා අලුතින්ම ළිප පිළියෙල කර ගන්නේද අවුරුදු නැකතට ආහාර පිස ගන්නයි. නැවුම් ළිපක නැවුම් හට්ටි මුට්ටිවල නැවුම් කිරිබතක් පිළියෙල කර ගැනීම තුළින් ලැබෙන ආලෝකය වර්ෂයක් පුරා පවතින්නේය යන විශ්වාසය ඒ අතර ඉතා වැදගත් දෙයක්. ‘තබ්බ භූත හිතානු කම්පි’ ගුණය ලෙස සලකන්නේ සතුන්ට පමණක් මෛත්‍රී කිරීම නොව තමන් පරිහරණය කරන බඩුභාණ්ඩ,  නිවාස, උපකරණ, ගහකොළ හා මහපොළොව ආදී සියලු වස්තූන් කෙරෙහි හිතෛෂී බව ඇතිකර ගැනීමක්. තමන්ට උපකාරී වන බඩුභාණ්ඩ, උපකරණ ආදිය කෙරෙහිද ළෙන්ගතු වීම පිළිබඳව කදිම පණිවුඩයක්ද අලුත් අවුරුද්දේ අප සැමටම ලබාදෙයි. මෙනිසා අපේ සංස්කෘතිය තුළ ඇත්තාවූ අංග ලක්ෂණ පිළිබඳ කියාපෑ හැකි එක් වර්ෂයක් ලෙස බක් මාසයේ අලුත් අවුරුද්ද හඳුනාගන්න පුළුවන්.

අතීතයේ සිට පැවත එන ජන කවි, ඔන්චිලි වාරම්, පංච දැමීම හා බැඳී පවතින සාහිත්‍යයක් තිබෙනවා. මේ ආදී ජන ගායනා හා ජන ක්‍රීඩා අද වන විට පවතින කාර්මික වටපිටාවත් සමග යම් තරමකින් අඩු වී ගොසින් තිබෙනවා. නමුත් මේ අලුත් අවුරුද්දේ ඒවා යම්කිසි ආකාරයකට නැවත ඉස්මතු වීම තුළින් ඒවා ආරක්ෂා වීමක්ද සිදුවෙනවා. ඒ වගේම මේ කාලයේ පවත්වන අවුරුදු උත්සව හරහා සමාදානය, එකමුතුබව, හාස්‍ය වැනි ගුණාංගත් ඉස්මතු වෙනවා. එය සමාජයේ පැවැත්ම සඳහා අනිවාර්යය අංග බවට පත්වෙලා තිබෙනවා. මේ කාරණාව නිසා අවුරුදු නැකැත් පිළිබඳව වුවත් අනවශ්‍ය අයුරින් තර්ක කිරීමේ හැකියාවක් අපට නැහැ. සමාජ විද්‍යාත්මක අර්ථයෙන් බැලුවත් අලුත් අවුරුදු චාරිත්‍ර ඉතා වැදගත්කොට සැලකීමේ හැකියාවක් තිබෙනවා. ඒවා නොසලකා හැරීම, අගය නොකිරීම සංස්කෘතිය විනාශ කර ගැනීමක්. සමාජ සම්බන්ධතා විනාශ කර ගැනීමක්. මේ නිසා සංස්කෘතියත් ආරක්ෂා කර ගනිමින් ජාතියක් ලෙසින් ඉදිරියට යාමේදී අලුත් අවුරුදු චාරිත්‍ර වැදගත් භූමිකාවක් නිරූපණය කරනවා.

හිස තෙල් ගෑමේ අවුරුද්ද ඉතා වැදගත් වන්නේ නිරෝගීමත් ජනතාවක් ගොඩනැගීම සදහා වූ ප්‍රවේශයක් නිසයි. නිරෝගී බව උතුම් සතුටක් කොට සලකන (ආරෝග්‍යා පරමා ලාභ) විශේෂයෙන් සිංහල බෞද්ධයා ස්වභාව ධර්මය හා ඇති සබැඳියාව ඉන් පිළිබිඹු කරනවා. ගහකොළ, හිරුරැස්, ජලය ස්වභාව ධර්මයේ ආශීර්වාද වන්නා සේම ඒවා ජීවිතයට බලපාන බව එම සිරිත විසින් කියාපානු ලබනවා. රෝග සෑදීමට පෙර රෝගයන්ගෙන් වැළකීම පිළිබඳ අාචාරධර්ම ආයුර්වේදය තුළින්ද ප්‍රකාශ වෙන දෙයක්. මේ නිසා මානවයාගේ නිරෝගී බව පිළිබඳවද අලුත් අවුරුදු සිරිත් වැදගත්කමක් උසුලනවා.

නැකතට රැකීරක්ෂාවන් බලා පිටත්වීම තුළ තම තමන්ගේ රැකියා අවස්ථාවන් වැඩිදියුණු කරගැනීම පිළිබඳ අඩුපාඩු සකස් කර ගැනීම, වඩාත් කාර්යක්ෂම සේවාවක් ඇති කිරීම, වැරදි නිවැරදි කර ගැනීම, තම සේවා ආයතනය තුළ එකමුතු බව, සහජීවනය ගොඩනගා ගැනීම ආදී පුළුල් පරමාර්ථයන් ඉටුකර ගැනීම පිළිබඳ පැහැදිලි අධිෂ්ඨානයක් ඇතිකර ගැනීමට  අවස්ථාව සලසනවා. එපමණක් නොව තම ජීවිකාව රැකදෙන රැකියාව පිළිබද ගෞරවයක්, අභිමානයක් ඇතිකරලීමටද එම චාරිත්‍රය මගින් ඉඩ සලසනවා. පොදුවේ සලකන විට කිසියම් කෙනෙකු තුළින් වරදක් සිදුවූ විට බොහෝවිට සිදුවන්නේ පුද්ගලයා විනාශ කිරීම. එහෙත් වරදක් සිදුවූ විට සිදුවිය යුත්තේ එසේ විනාශ කිරීම නොව වරද විනාශ කිරීමයි. එකී වරද නැතිකර පුද්ගලයා ආරක්ෂා කිරීම යහපත් ක්‍රමවේදයයි. අලුත් අවුරුදු සිරිත්වලින් වරදට සමාව ගැනීම, නැවත වැරදි නොකිරීමට සිතා ගැනීම, විශේෂයෙන් විරුද්ධ අය අතර පවා විරද්ධවාදීකම් යටපත් කර ගනිමින් සහජීවනය සඳහා මගපෙන්වීමටද අවුරුදු සිරිත් ඉවහල් කරගන්න පුළුවන්. මේ අනුව මහා මාසයේ මහා මංගල්‍යය ලෙස අලුත් අවුරුදු උදාව සැලකීමේ වරදක් නැහැ. ඒ නිසා ජාතික අනන්‍යතාව තහවුරු කරන උත්සවය, සැණකෙළිය ලෙස අලුත් අවුරුද්ද වටහා ගැනීම ඉතා වැදගත් දෙයක්.

බක් මහේ සැබෑ අරුත දැනගන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :