X
ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය සමග පැමිණෙන පළමු ටැබිලට් උපාංගය Acer Chromebook Tab 10
( පැතුම් පුංචිහේවා ) 2018-04-05 10:03:57
Comments - 0       Views - 837

ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය සිය ප්‍රමුඛතම පරිශීලක අතුරු මුහුණත ලෙසින් යොදාගනිමින් නිර්මාණය වූ ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය ලැප්ටොප් උපාංගයන් සමගින් ජනප්‍රිය වී තිබුණත්, මෙතෙක් ටැබ්ලට් උපාංගයන් හා දක්නට නොලැබුණි. එනයින්, Acer Chromebook Tab 10 ටැබ්ලට් උපාංගය ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වන ප්‍රථම ටැබ්ලටය ලෙසින් වාර්තා වනු ඇත.


acer-chromebook-tab-10-1

ජාත්‍යන්තරව ගත් විට විශේෂයෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ප්‍රචලිතව ඇති ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය සිය වපසරිය ලැප්ටොප් උපාංගයන්ගෙන් එපිටට පුළුල් කරමින් සැරසෙන්නේ නව වෙළෙඳ පොළක් අත්පත් කරගැනීමටද යන්න පිළිබඳවද බොහෝ දෙනෙකු විමතිය පළ කර සිටී. කෙසේ නමුත් එවැනි පදනමක් සඳහා මූලික කොන්දේසිය වන්නේ, ගූගල් ක්‍රෝම් නව ටැබ්ලට් උපාංගයන් තුළද ජනප්‍රිය වන්නේ නම් පමණි. සැබවින්ම Acer Chromebook Tab 10 උපාංගය නිර්මාණය වන්නේද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කොටගනිමින් වේ. එය ඔවුන්ගේ Bringing Classrooms to Life යන ප්‍රවර්ධන පාඨයෙන්ම පැහැදිලි වනු ඇත.

මෙම උපාංගය මූලිකව ගත් විට, භෞතික යතුරුපුවරුව රහිත සාමාන්‍ය ක්‍රෝම්බුක් උපාංගයක් ලෙසින් දිස්වනු ඇත. මෙහි අඟල් 9.7 ක ප්‍රමාණයෙන් යුතු QXGA තිරය 2048 x 1536 ප්‍රමාණයේ විභේදනයකින් යුක්ත වන අතර, ඡායාරූපයක මෙන් වූ පරිපූර්ණ සුපැහැදිලිතාවක් ඔබට ලබාදෙනු ඇත. විශේෂයෙන්ම ඔබ නරඹන අන්තර්ගතයන්හි සියුම් තොරතුරු පවා  පැහැදිලිව ඉස්මතුව පෙනෙනු ඇත.

මේ සමගින් ස්ටයිලස් උපාංගයක්ද පැමිණෙන අතර, භාවිත නොකරන මොහොතකදී එය උපාංගයේම සවි කර තැබිය හැකිය. මෙම ස්ටයිලස් උපාංගය සැබවින්ම EMR Pen එකක් වේ. මෙම EMR Pen (Electro-Magnetic Resonance) උපාංගයක ඇති විශේෂත්වය වන්නේ, එය තිරය මත පිහිටන නිරවද්‍යතාව සකසා ගැනීම සඳහා ස්ථානයන් කිහිපයක ‍රැහැන් රහිත සංඥා ප්‍රබලත්වය හා තිරයේ සෙන්සරයන්ගෙන් ලැබෙන දත්ත ප්‍රයෝජනයට ගනිමින් තමන් විසින්ම ගණනය කිරීම් සිදුකිරීමයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් EMR Pen උපාංගයක් තිරයක් මත භාවිත කරන විටදී එයට ඔබ සාමාන්‍ය පැන්සලක් භාවිත කරන විටදී මෙන් නිවැරදිවම එය ඇති ස්ථානය, එය මත යොදන පීඩනය අනුව ඔබ අඳිනා රේඛාවක තීව්‍රතාව වෙනස් වීම යනාදිය තීරණය කෙරෙනු ඇත. එනයින් බැලූ විට ඔබ Chromebook Tab 10 උපාංගය ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් මෙන් භාවිත කරන්නේ නම්, මෙය ඔබට ස්වාභාවික චිත්‍රක අත්දැකීමක් ලබාදෙනු ඇත.

acer-chromebook-tab-10-2

මෙම Chromebook Tab 10 උපාංගය අඩු වැඩි වශයෙන් එක් බැටරි ආරෝපණයකින් පැය 9 ක් දක්වා කාලයක් නොකඩවා ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත.

මෙම ටැබ්ලට් උපාංගය බලගැන්වීම සඳහා Six-core Rockchip OP1 ප්‍රොසෙසරයක් පිහි‍ටුවා ඇත. මෙහි ගිගාබයිට් 4 ක ‍රැම් මතකයක් තිබෙනා අතර, ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයක්ද තිබේ. එසේම SD card හරහා බාහිර මතකය ඉහළ දැමීමේ හැකියාවද තිබෙනා බැවින් මෙහි මතක ධාරිතාව සීමිත වේ යැයි ගැටලුවක් ඇති කරගැනීමටද අවශ්‍ය නොවනු ඇත. මෙහි ඉදිරිපස මෙගා පික්සල් 2ක ද්විතීයික කැමරාවක් ස්ථාපනය කොට ඇති අතර, මෙගාපික්සල් 5ක ප්‍රධාන කැමරාව ටැබ්ලට් උපාංගයේ පසුපස පිහි‍ටුවා ඇත. මෙහි 3.5mm හෙඩ්ෆෝන් ජැක් එකක් සහ USB-C පෝට් එකක්ද තිබෙනා අතර, බ්ලුටූත් ‍රැහැන් රහිත සම්බන්ධතාවද තිබේ. ඒ හරහා අවශ්‍ය නම් ඔබට භෞතික යතුරු පුවරුවක් වුවද Chromebook Tab 10 උපාංගය හා ඈදීමට හැකියාව ඇත.

මෙහි දෘඪාංග හැකියාවන් දෙස බැලූ විට පෙනී යන කාරණය වන්නේ, වෙළෙඳ පොළේ මෙයට පෙර පැමිණි මධ්‍යම-ශක්‍යතා ටැබ්ලට් උපාංගයන් තුළ පවා මෙයට වඩා වැඩි පරිගණක බලයක් ගබඩා වී ඇති බවයි. නමුත් සිහි තබා ගත යුත්තේ, මෙම Chromebook Tab 10 උපාංගය ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගන්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බවයි. ඔවුන් මෙම ටැබ්ලට් උපාංගය භාවිත කරතැයි බලාපොරොත්තු වන කටයුතු සඳහා මෙම දෘඪාංග බලය ප්‍රමාණවත් වනු ඇත.

එසේම මෙහි ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙසින් සැලකෙන මූලික මට්ටමේ iPad උපාංගය හා සසඳන විට මෙය මඳක් බ‍රැති සහ ප්‍රමාණයෙන් විශාල වේ. කෙසේ වුවත් නිෂ්පාදකයන් තර්ක කරන්නේ ක්‍රෝම්බුක් උපාංගයන් විකිණෙන්නේ නිමාව හෝ ඉහළ මට්ටමේ දෘඪාංග නිසා නොවන බවයි. මෙහි ප්‍රධානතම ආකර්ෂණය වන්නේ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියයි. එහි ඇති ඉහළ මට්ටමේ ආරක්ෂණ උපක්‍රමයන් සහ දිනෙන් දින ඉහළ යන ක්‍රියාකාරීත්වය පමණක් ගත් විටද මෙම Chromebook Tab 10 උපාංගයට ඉහළ වටිනාකමක් ලැබේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් Chromebook Tab 10 උපාංගයට පැරණි ක්‍රෝම්බුක් උපාංගයන්ටත් වඩා ඉහළ මට්ටමකින්, Google Play හරහා ලබාගත හැකි බොහෝ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ක්‍රියාත්මක කිරීමට මෙන්ම බ්‍රවුසරය මත පදනම් වූ වෙබ් යෙදවුම්ද ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. එසේම ගූගල් සමාගම විසින් මෙම උපාංගයන් සියයක් වුවත්, දහසක් වුවත් පාසල් පරිපාලකයන්ට අධීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට හැකි ආකාරයෙන් කේවල වෙබ් පදනම් කොටගත් කළමණාකරණ කොන්සෝලයක්ද හඳුන්වා දී තිබේ.

acer-chromebook-tab-10-3 Acer-Chromebook-Tab-10-D651N_overview_features_large

ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය සමග පැමිණෙන පළමු ටැබිලට් උපාංගය Acer Chromebook Tab 10 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :