X
නින්ද නොයෑම ගැන හරිහැටි දැනගන්න
( නාලිකා රාජපක්ෂ ) 2018-03-20 10:53:59
Comments - 0       Views - 486

නිදිවැරීම සහ නින්ද නොයෑම කියන්නේ එකම කාරණයක් නෙවෙයි කාරණා දෙකක් . නමුත් ප්‍රතිඵලය එකම එකක්  ඇත්තෙන්ම වැඩිහිටියෙක් දවසකට පැය කීයක් නිදාගන්න ඕනද? අලුත උපන් කුඩා දරුවන් දවසේ වැඩි කාලවේලාවක් නිදාගන්නා බව ඔබ දන්නවා . දවසකට පැය අටක නින්දක් ගැන කතාකරපු අපි දැන් අඩු තරමේ වැඩිහිටියෙකුට පැය හයකවත් අඛණ්ඩ නින්දක් අවශ්‍ය  බව පිළිගන්නවා. කෙනෙක් නිදිවරන්නේ උවමනාවෙන් වුණත් නින්ද නොයන්නේ උවමනාවෙන් නෙවෙයි. නින්ද නොයන්නට ශාරීරික මෙන්ම මානසික කාරණාත් බලපෑ හැකියි. ඕනෑම කෙනෙකුට තාවකාලිකව නින්ද නොයෑම පිළිබඳ ගැටලු ඇතිවිය හැකි ඉඩක් තිබුණත් දිගින් දිගටම නින්ද නොයනවා නම් එය ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක්. එසේම කෙනෙකු උවමනාවෙන් කාලයක් තිස්සේ නිදිවැරුවහොත් එයත් අවසානයේ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු තත්ත්වයක් බවට පත්වීමට ඇති ඉඩ ,අපි නොසලකාහැරිය යුතු නැහැ. අද සෞඛ්‍ය පිටුව තුළින් අපි සාකච්ඡාවට බඳුන් කරනුයේ නින්ද හා බැඳුනු ගැටළු පිළිබඳවයි.


1200-6206-sleep-photo1

නින්ද යනු අප කවුරුත් අත්දකින අත්විඳීමට කැමති දවසේ අනිවාර්ය කාරියක් බව පැවසුවහොත් ඔබ ඊට එකඟවෙනු ඇති.  දවසේ පැය විසිහතරෙන්  ඔබගේ රාජකාරිය පැය කීයක්ද ? සාමාන්‍යයෙන් පැය අටක් අපි සේවා කාලය ලෙස හඳුන්වනවා. තවත් පැය අටක් අපගේ අනෙකුත් අවශේෂ ක්‍රියාවලීන් වෙනුවෙන් වැය වෙනවා. ඊට ආහාර ගැනීම ව්‍යායාම කිරීම, විනෝදාංශ, ආගමික  ආදී නොයෙකුත් කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙනවා.  දවසේ පැය විසිහතරින් තවත් පැය අටක් ඉතිරියි. ඒ පැය විසි හතරෙන් තුනෙන් එකක ප්‍රමාණය අප වෙන්කර ඇත්තේ නින්ද වෙනුවෙන් නම් එහි අපේ ශරීරයට අවශ්‍ය කායික මානසික විවේකයේ වේලාව ලෙස පිළිගතහැකියි. පැය 16 ක ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් පැය අටක නින්දක් ලෙස අප එය ශාරීරික අවශ්‍යතාවයක් ලෙස පිළිගන්නට  හේතුව නිසි නින්දක් නොලැබූ විට ඇතිවන ශාරීරික හා මානසික පීඩාකාරී තත්ත්වය අලුත් දවසේ වැඩකටයුතු කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකරන නිසයි.

 සැබවින්ම නින්ද කියන්නේ ස්වභාවික ජෛව ක්‍රියාවලියක්. මෙය සෑම අයෙකුටම අවශ්‍ය දෙයක් වනුයේ  එය ස්වභාවයෙන්ම ඇතිවන ක්‍රියාවලියක් නිසා බව ඔබට වැටහෙනවා ඇති. දැන් අපි පළමුව නිදාවැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටිමු. බොහෝ විට කාර්යබහුල අයෙක් කිසියම් වැඩක් නිමකිරීම සඳහා අවශ්‍ය කාලය නින්දට වෙන්කර ඇති කාලයෙන් ලබාගන්නට පුළුවන්. නිදි වැරීම ලෙස අප හඳුන්වන්නේ නින්දේ අවශ්‍යතාවය ඇතත් නොනිදා වෙනත් වැඩකට කාලය කැප කරන අවස්ථාවයි. බොහෝවිට පාසල් දරුවන් නම් මේ වන විටත් ඔවුන්ගේ නින්දෙන් සැලකිය යුතු කාලයක් පාඩම් කිරීම සඳහා වෙන්කර ඇති. නමුත් නිදිවැරීම වඩා හොඳ මතක ශක්තියක් තබාගැනීමට නම් ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් නෙවෙයි.දවසේ වැඩකටයුතු වලින් වෙහෙසී විවේකය අවශ්‍ය මොහොතක ඔබට ඒ අවශ්‍යතාවය ශාරීරිකව හා මානසිකව දැනීම යටපත්කරවා ගෙන වතුර බේසම්වල දෙපා බහා තැබීම තේ කෝපි වැනි කැෆේන් සහිත පානවර්ග භාවිතය මෙන්ම ඇතැම් අවිධිමත් ඖෂධ ආදියද ඇතමුන් නිදිවරන්නට යොදාගන්නා බව අසන්නට ලැබෙන අවස්ථා තිබෙනවා. මේ සියල්ලන්ගෙන්ම වැටහෙන්නේ සිරුරට අවශ්‍ය විවේකය ශරීරයේ  ගෙවී ගිය පටක අලුත්වැඩියාවීම් සඳහා වැයකෙරෙන  කාලය එසේ බලහත්කාරයෙන් අහිමිකරවීම සිරුරට අහිතකර ලෙස බලපාන්නට ඇති ඉඩ කඩ බොහෝ බවයි. මේ නිසා මොළයේ රසායණික ක්‍රියාවලීන්ට යම් යම් බලපෑම් එල්ලකළ හැකි තත්ත්වයන් මතුවිය හැකි අතර ස්නායු වලට මෙන්ම ඇතැම්විට ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලීන්ටද එය අහිතකර ලෙස බලපෑ හැකියි.  ඇතැම්විට තරග විභාග ආදිය අවසන් වූ වහාම රෝගී වෙන මෙම දරුවන් හෝ පුද්ගලයන් අනවශ්‍ය ලෙස පීඩනයට පත්වන්නේ ඔවුන් හිතාමතාම ස්වභාවික ක්‍රියාවලීන් පාලනය කරන්නට හුරුවීම නිසයි.මේ නිසා දවසේ වැඩකටයුතු නිමාව අවසානයේ යම් විවේකයක් ලබාගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් ආකාරයක නින්දක් ලබා උදෑසනින්ම අවදිවී අදාල කටයුතු සිදුකිරීම වඩාත් ප්‍රතිඵලදායකය. ඒ වන විට ඔබේ සිරුර සහ මනස ලද විවේකය හේතුවෙන් මනස මෙන්ම සිරුරද යම් ප්‍රාණවත්බවකින් පැවතීම මෙන්ම නිරවුල්ව පැවතීම අදාල කාරිය හොඳින් සිදුකිරීමට ඔබට වඩා ශක්තියක් සපයනු ඇත. 

දැන් අපි ස්වභාවිකව නින්ද නොයන ගැටලුව සම්බන්ධයෙන් සවිස්තර විග්‍රහයක යෙදෙමු.  එහිදී ස්වභාවික කාරණා සම්බන්ධයෙන්  ඔබේ අවධානය මුලින්ම යොමුකිරීම වඩා වැදගත්. 
 ඔබ දිවාකාලයේ වැඩි වේලාවක් නින්දට යොමු කරන අයෙක් නම් රාත්‍රී නින්දේ ප්‍රමාදයක් අත් දකින්නට හැකිවේවි. සාමාන්‍යයෙන් අපි මේ සඳහන් කරනුයේ දිවා කාලයේ ඔබ සුළුවේලාවක් ලබන කෙටි නින්ද නොවේ. දිවාකාලයේ පැයක පමණ වේලාවක් සුළු නින්දක් ලද හැකිනම් එය ශාරීරික මානසික වශයෙන් මනා සෞඛ්‍යකට පිටුවහලක් යැයි දැන් පිළිගැනෙන මතයක්.  පැය තුනහතරක නින්දක් ලැබුවේ නම් එය ප්‍රමාද වී නින්ද ඒමට බලපාන කාරණයක් විය හැකිය යන්න අනුමාන  කළ හැකියි. එසේත් නැතිනම් නින්ද නොඑන බව පැමිණිලි කරන්නා විදේශයක සිට ලංකාවට පැමිණී අලුත මේ ගැටලුවට මුහුණ දෙන්නේ නම් , එය එම රටේ රාත්‍රි කාලය අප රටට වඩා වෙනස්වීමෙන් නින්ද ලබන වේලාව නුහුරු වී මෙන්  සිදුවූවා විය හැකියි.එය ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය හැකි නිසා එය රෝගී තත්ත්වයක් යැයි කලබලයට පත්විය යුතු නොවේ.මෙසේම කිසියම් කෙනෙකු තමන්ගේ නිවසින් පිටව වෙනත් ස්ථානයක නිදන්නට ගිය විට නින්ද නොඑන බව පවසන්නේ නම් එය ද නින්ද සම්බන්ධ රෝගී තත්ත්වයක් නොවේ.ඇතමුන්ට නිදන්නට හුරු ස්ථානය වෙනස් කළ විට එවන් තත්ත්වයක් ඇතිවීම ස්වභාවිකව සිදුවිය හැකි තත්ත්වයකි. මේ හැරෙන්නට  කිසියම් ආකාරයක දුර ගමනක් යන්නට ඇති විට තේ කෝපි වැනි පානයක් ලබාගෙන ඇති විට, විභාගයකට මුහුණ දෙන්නට ඇති වීට ආදී මානසික වශයෙන් කැළඹීලි සහිත අවස්ථාවන්වලදී ඔබට මේ කියන ආකාරයේ නින්ද නොයන බව තාවකාලිකව අත්විඳින්නට සිදුවුවහොත් එය කිසියම් රෝගී තත්ත්වයක් නිසා යැයි කලබල නොවී සිටින්නට පුලුවන. 

නමුත් දිගින් දිගටම නින්ද ඇති නොවන්නේ නම් ඔබ ඊට යොදන පිළියම් කොතරම් ශරීරියට හිතකරද නැත්ද යන්න මුළින් විමසා සිටීම වැදගත්ය. ඔබ නින්ද ඇතිවන්නට යැයි සිතා පළමුව කරන්නේ නිදි පෙතිවලට හුරුවීම විය හැකිය. නමුත් එහිදී ඔබට ඇතිවන්නේ නින්දේ ස්වභාවික පුරුද්දෙන් ඔබව ඈත්කරන රසායණික ක්‍රියාවලියක් හරහා ඔබේ නින්ද ඇතිකිරීමයි.

 එය ඔබට නින්ද ඇතිනොකරන හේතුවට පිළියමක් නොවේ. ඒ හේතුව එහෙම්මම ඉතිරිව තිබියදී තාවකාලිකව ඔබේ නින්ද ඇතිකරවීමකි. එයින් ඔබට යම් ඇබ්බැහියක් ඇතිවුවහොත් එම ඖෂධය නොමැතිව නින්ද නොයන්නේ යන ආකල්පය ඔබට ඇති විය හැකියි. එවන් ඖෂධයක් කොතරම් කල් භාවිත කළත් එය ඔබට ඖෂධයක් නොවේ තාවකාලික පැලැස්තරයක් පමණක් බව මතක තබා ගන්න. එම ඖෂධය ඔබ භාවිත කරන්නේ නින්ද නොයෑමට බලපාන සැබෑ හේතුව අඳුනාගෙන නොවේ.එම හේතුව දිගින් දිගටම ප්‍රතිකාර නොලබා පැවතෙන්නටද ඔබ ගන්නා තාවකාලික පිළියම හේතුවක් විය හැකිය. අවසානයේ ඔබට ක්‍රම ක්‍රමයෙන් මතක ශක්තිය ඔබෙන් ගිලිහීි යන බවක් දැනෙන්නට පුලුවන. නින්ද සම්බන්ධයෙන් නිදි බෙහෙත් නිපදවා ඇත්තේ ඉතාම කෙටිකාලීන භාවිතයන් සඳහාය. කිසියම් අයෙකු යම් රෝගයකින් වඩාත් වේදනාකාරී තත්ත්වයකට පත්ව සිටින විට ඔහුට හේ ඇයට අහිමිවන නින්ද වෙනුවෙන් තාවකාලිකව ඉතා ස්වල්ප වශයෙන් වෛද්‍ය නිර්දේශය මත එවන් ඖෂධ යොදාගන්නා බව ඇත්තකි. නමුත් රෝගියාට වේදනාව මතුකරන රෝගය ඒ අතර පිළියම් ලබන බැවින් ඒ වේදනාව ඉක්මණින්ම පහව යන නිසා වේදනාව නවතන්නට දවස් කීපයකට වඩා නිදි බෙහෙත් ලබා නොදෙන බව මතක තබාගන්න. නමුත් නිදාගන්නට හිතුමතයේ ඖෂධ සොයනා අයගේ තත්ත්වය එය නොවේ.

ඔවුන් තමන්ට නින්ද නොඒමට බලපාන හේතුවට කිසිම ප්‍රතිකාරයක් නොලබා නින්ද ලැබීම වෙනුවෙන් එවන් ඔසුවක් භාවිත කළ පසු ටික කළකදී ඔවුන්ට එම ප්‍රමාණයෙන් ගන්නා නිදි බෙහෙත්වලින් නින්දක් නොඑන්නට පුලවන. එවිට එවන් අය කරන්නේ බෙහෙතේ ප්‍රමාණය තවත් ටිකක් වැඩි කිරීමයි. එසේ වැඩි කළ විට ඔවුන්ට බෙහෙත නිසා තරමක් වැඩි පුර නින්ද ඇතිවීම පාලනය කළ නොහැකිවෙයි. මෙවන් තත්ත්වයන් බොහෝ රිය අනතුරු මෙන්ම වැඩබිම්වල සිදුවන අනතුරුවලටද යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව වැඩ කරන අයගේ අත් සහ ඇඟිලි ආදීය කැපී යාම්වලට බලපා හැකිය. මේ නිසා නිදි පෙති යන මුලාවට ඔබ අසුවන්නේ කුමටද යන්න සිතා බලන්න. කාලාන්තරයක් ගතවන විට එම බෙහෙත් නිසා දුර්වලවන ඔබේ මතක ශක්තිය හේතුවෙන් ඔබට අමතකවීම් වඩා වැඩි වන්නට ඉඩ තිබේ.  ඇතමුන්ට මෙම බෙහෙත් ප්‍රමාණ වැඩිවීම් නිසා නින්දේදීම මරණය පවා ඇතිවන්නට ඉඩ තිබේ. දියවැඩියාව, මානසික රෝග, විශාදය, උමතු රෝග ආදියට මේ නිදි නොඒම සම්බන්ධයෙන් නිසි ආකාර ප්‍රතිකාරවලින් ඈත්වීම බලපෑ හැකියි. නින්ද ස්වභාවිකව ඇතිවන්නට බාධා පමුණුවන තත්ත්වයට හේතුකාරක සොයා ඒවා අවම කිරීම හෝ සම්පූර්ණයෙන් නැතිකිරීමට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවේද දැන් ඕනෑ තරම් පවතින අතර ඔබේ නින්ද නොයෑමට ආසන්නම හේතුව මානසික කාරණයක් නම් එය මනෝ වෛද්‍ය උපදෙස් මත නිරාකරණය කරගත යුතුය. කායික ප්‍රතිකාර අවශ්‍යද යන්න ඒ හරහා තීරණය කළ හැකිය.  නින්ද ඇති නොවීමට බලපාන හේතුව මුළුමනින්ම ඉවත්කළ පසු නැවත ස්වභාවික ලෙස නින්ද ඇතිවීම  මෙන්ම ස්වභාවික ලෙස ඔබේ සිරුරේ මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.නමුත් කිසිවිටෙක නිදි පෙත්තක් මගින් නින්ද ඇතිකරගන්න වෙහෙසෙන පිරිස අතරට එක්නොවන්නට වග බලාගන්න.

නින්ද නොයෑම ගැන හරිහැටි දැනගන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :