X
නායකත්ව පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2018-03-12 10:54:45
Comments - 0       Views - 607

රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම උදෙසා නායකත්ව කුසලතා වර්ධනය කරගැනීම අරමුණු කරගෙන පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහන් ගැන පසුගිය දින කිහිපයේදී ප්‍රබල ලෙස කතාබහට ලක්කෙරිණි. විදුහල්පතිනියක මෙම පුහුණුවක් අතරවාරයේ හදිසි අනතුරකට පත්වීම මෙයට ප්‍රධාන හේතුව විය. නමුත් ගැටලුවක් පැනනැගුණු විට එය විවේචනය කරනවාට වඩා එම ගැටලු නැවත සිදු නොවීමට වගබලා ගනිමින් එම පුහුණුවේ ප්‍රමිතියක් ඇති කළ යුතුව තිබේ. මෙම නායකත්ව පුහුණුව හා එහි අරමුණුවල අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය එම්. තිලකසිරි මහතා 'අද'ට සම්බන්ධ විය. හෙතෙම මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි. 


අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් රාජ්‍ය ආයතනයක නායකත්ව පුහුණුවක් ලබා දෙන්නේ නම්, ආයතනයක් වශයෙන් පදනම් කරගත යුත්තේ කුමන අරමුණුද

ආයතනවල විවිධ මට්ටමේ නායකයන් සිටිනවා. අපි උදාහරණයක් ලෙස පාසලක් ගත් විට පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පතිවරු, අංශ ප්‍රධානීන්  යන අය ඒම පාසලේ උපායමාර්ග ක්‍රියාත්මක කරන නායකයන්. මෙම නිලධාරීන්ට ප්‍රථමයෙන්ම නායකත්වය ගැන න්‍යායාත්මක දැනුමක් අවශ්‍ය වෙනවා. යම්කිසි ආයතනයක් පාලනය කරන්න කරුණු දෙකක් අවශ්‍යයි. එකක් තමයි කළමනාකරණය. ප්‍රධාන වශයෙන්ම කළමනාකරණය අවශ්‍ය වන්නේ ආයතනයේ තිබෙන භෞතික සම්පත්වලින් (මුදල්, ද්‍රව්‍ය, උපකරණ, ගොඩනැගිලි, ක්‍රම සහා විධි) උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමටයි. භෞතික සම්පත් කළමනාකාරුවන්ට රිසි පරිදි හැඳින්විය හැකියි. ඒවා මනාව හැසිරවීම සඳහා කළමනාකරුවන්ට නවීන කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි. නමුත් කළමනාකරුවන්ට මිනිසුන්ව එසේ තමන්ට කැමැති පරිදි කළමනාකරණය කරන්න බැහැ. ඒ නිසා මිනිසුන් කළමනාකරණය නොකර ඔවුන්ට නායකත්වය දිය යුතුයි. ආයතනයේ තිබෙන සීමිත භෞතික සම්පත් කළමනාකරණය කරමින් ඒවායෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ආයතනයේ සිටින සේවකයන්ගේ කැමැත්තක් ඇතිව වැඩවලට යොමු කරවා ගැනීමට සෑම කළමනාකරුවෙකු තුළම නායකත්ව කුසලාතාවක් තිබීම අනිවාර්යයි. යම් පුද්ගලයෙකුට අවශ්‍ය මූලික සුදුසුකම් තිබෙනවා නම්, තරග විභාගයක් සමත් වෙන්න පුළුවන් නම්, යම් ආයතනයක කළමනාකරුවෙක් වශයෙන් පත්විය හැකියි. නමුත් විභාගයක් සමත් වීමෙන්, අවශ්‍ය මූලික සුදුසුකම් තිබීමෙන් යහපත් නායකත්ව ගුණාංග හා ගතිලක්‍ෂණ අත්පත් කරගත නොහැකියි. ඒ සඳහා කළමනාකරුවන් නායකත්ව යනු කුමක්ද, යහපත් නායකත්ව 
ගති ලක්‍ෂණ මොනවාද, නායකයෙකු වීම සඳහා තිබිය යුතු කුසලතා මොනවාද, නායකයෙකු කළ යුතු දේවල් මොනවාද, නොකළ යුතු දෙවල් මොනවද යන්න ස්ව කැමැත්තෙන් ඉගෙන ගෙන තමන් තුළ සංවර්ධනයක් ඇතිකර ගත යුතුයි. 
කළමනාකරුවෙකුට හොඳ නායකයෙකු වීමට අවශ්‍ය පළමු දේ නායකත්වය පිළිබඳ දැනුමයි. එමෙන්ම දැනුමක්  තිබූ පමණින් ඔහුට හෝ ඇයට දක්‍ෂ නායකයෙකු විය නොහැකියි. අදාළ දැනුමත් සමග ඔහු හෝ ඇය තුළ නිර්මාණශීලීත්වය සහ විවිධ වූ කුසලතා මෙන්ම ධනාත්මක ආකල්ප යන ත්‍රිත්වය ඔවුන් තුළ ඇතිකර ගත යුතුයි. කලින් සඳහන් කළ පමණින් දැනුම තිබූ පමණින් හොඳ නායකයෙකු වෙන්න බැහැ. 

නිර්මාණශීලීත්වය, විවිධ කුසලතා සහ ධනාත්මක ආකල්ප නායකයෙකු තුළ ස්ථාපිත කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් විවිධාකාරයේ බැහැරගත ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එයින් අදහස් කරන්නේ අපි එදිනෙදා රාජකාරී කටයුතු කරන කාර්යාලයෙන් හෝ දේශන ශාලාවකින් බැහැර වී ස්වාභාවික පරිසරයක් සහිත ස්ථානවලදී විවිධ උපකරණ, මෙවලම් හා ක්‍රියාකාරකම් පාදක කරගෙන එකිනකට වෙනස් වූ කුසලතා සංවර්ධනය කර ගැනීමටත්, ආකල්ප වෙනස් කර ගැනීමටත් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා කිරීමයි.

රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක වන නායකත්ව පුහුණුව ගැන කතා කළොත්? එහි අන්තර්ගතය තුළ ප්‍රමිතිය හා විධිමත්භාවය පිළිබඳ ඔබ සිටින්නේ කුමන මතයකද

මම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සේවය කළ කාලය තුළ රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නායකත්ව පුහුණු පැවැත්වුවා. නමුත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය තුළ පන්ති කාමරවල නායකත්වය පිළිබඳ න්‍යායාත්මක දේශන, සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ වැඩමුළුද පැවැත්වුවා. එමෙන්ම දේශන ශාලාවලින් පිටත ස්වාභාවික පරිසරය තුළ විවිධ ස්ථානවලදී බැහැරගත ක්‍රියාකාරකම් සහ විවිධාකාරයේ ක්‍රීඩා මගින් නායකත්ව කුසලතා සංවර්ධනය සඳහා විශේෂිත වූ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. මෙම බැහැරගත ක්‍රියාකාරකම් සහිත (අත්දැකීම් සමග ඉගෙනුම් ක්‍රියාවලියක්) පුහුණු වැඩසටහන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ගණකාධිකාරී සේවයේ, සැලසුම් සේවයේ නිලධාරීන්ට සහ විගණන ක්‍ෂේත්‍රයේ නිලධාරීන්ට මෙම බැහැරගත ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සහ සංවර්ධන පාඨමාලා පැවැත්වුවේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේදී. අපි ඒ සියලු පාඨමාලා පැවැත්වුවේ විධිමත්ව හා විද්‍යානුකූල ලෙසයි. මෙම වැඩසටහන්වල බැහැරගත ක්‍රියාකාරකම් කිරීමේදී සහාභාගි වන්නන්ගේ ආරක්‍ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වුණා. ඊට හේතුව මෙම බැහැරගත ක්‍රියාකාරකම් කිරීමේදී අවදානම් සහිත ක්‍රීඩා කිරීමට සිදුවන නිසා. ඒ නිසා ඕනෑම බැහැරගත ක්‍රියාකාරකම් පුහුණුවකදී වුවද සහාභාගිවන්නන්ගේ ආරක්‍ෂාව පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. 

රාජ්‍ය සේවයේ කුමන අංශ සඳහාද එවැනි නායකත්ව පුහුණු වැඩසටහන් ලබා දෙන්නේ

මා මුලින් සඳහන් කළ පරිදි රාජ්‍ය සේවයේ පුහුණු ආයතන මගින් රාජ්‍ය නිලධාරීන්ට විවිධ නායකත්ව පුහුණු ලබාදෙනු ලබනවා. ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ විවිධ කණ්ඩායම්වලට නායකත්වය පිළිබඳ විවිධාකරයේ න්‍යායාත්මක පුහුණු වැඩසටහන් ලබා දෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට අදාළ පාඨමාලා ගත්තොත් සමාරම්භක පුහුණුවේ සිට තුන්වැනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණිය, විශේෂ ශ්‍රේණියේ සිටින නිලධාරීන්ට එකිනකට වෙනස් වූ නායකත්ව පුහුණු ලබා දෙනවා. එමෙන්ම Untitled-1
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, සැලසුම් සේවය, අධිකාරී සේවය, ඉංජිනේරු සේවය, විදේශ සේවය, තොරතුරු තාක්‍ෂණ සේවය වැනි සේවාවන්වල නිලධාරීන් සඳහාද වෙන වෙනම නායකත්ව පුහුණුව පැවැත්වෙනවා. දේශන ශාලා තුළ නායකත්වය පිළිබඳ දෙනු ලබන න්‍යායාත්මක පුහුණුවට අමතරව බැහැරගත ක්‍රියාකාරකම් සහිත ස්වාභාවික පරිසරය තුළ දෙනු ලබන නායකත්ව පුහුණුවද අප ආයතනය විසින් පොලිස් දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා යුද හමුදාවත් සමග සම්බන්ධ වී ක්‍රියාත්මක කරනු ලබනවා. 

එවැනි අවස්ථාවලදී අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් අත්දැකීම් තිබේද

මම ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් හා අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්  වශයෙන් කටයුතු කළ කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා පරිපාලන ක්‍ෂේත්‍රයේ සිටින නිලධාරීන්, සැලසුම් සේවයේ නිලධාරීන්, විගණන සේවයේ නිලධාරීන් පැවැත්වූ පාඨමාලාවලදී යම් යම් සීරීම් තුවාල සිදු වූ අවස්ථා තිබෙනවා. ඒවා ඉතා සුළු හදිසි අනතුරු. නමුත් ඒවායින් කිසිම කෙනෙකුගේ ජීවිතවලට බරපතළ හානියක් සිදු වුණේ නැහැ. 

මෙවැනි බැහැරගත ක්‍රියාකාරකම් සහිත පාඨමාලා ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ආයතනවල පමණක්ද

නායකයෙකුගේ කුසලතා හා ආකල්පමය වෙනසක් ඇති කරන්න බැහැරගත ක්‍රියාකාරකම් සහිත නායකත්ව පුහුණු පාඨමාලා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. කිතුල්ගල, ඇල්ල, කඩුවෙල ප්‍රදේශයේ මේවා පුහුණු කරන ආයතන තිබෙනවා. ශ්‍රී ලංකා සංවර්ධන ආයතනය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය, හමුදාවේ බොහෝ ආයතන මගින් මෙවැනි පාඨමාලාවන් පවත්වනවා. මෙවැනි පාඨමාලා අලුතින් කරන දෙයක් නෙමෙයි. මේක පැරණි දෙයක්. ලොව මුල්ම බැහැරගත ක්‍රියාකාරකම් පවත්වා ඇත්තේ ජර්මනියේ. මේවා පවත්වන ආයතන බැහැරගත ක්‍රියාකාරකම් සිදු කිරීමේදී අවදානම් අවම කර ගැනීම සඳහා ආරක්‍ෂිත වැඩපිළිවෙළ ගැන සැලකිලිමත් වී පාඨමාලාවල ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. 

විශ්වවිද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණු වැඩසටහනක් වසර කිහිපයක් පැවැත්වුණා. නමුත් එය දැන් නතර කර දමා තිබෙනවා. එයින් අපේක්‍ෂා කළ සාර්ථක ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වුණාද

විශ්වවිද්‍යාල ළමයින්ට ආකල්ප සංවර්ධනය හා නායකත්ව පුහුණුවක් ලබාදිය යුතු යැයි එවකට සිටි උසස් අධ්‍යාපන අමාත්‍ය  එස්.බී. දිසානායක මහතාට මම යොජනා කළා. ඒ අනුව එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා එම යෝජනාව ක්‍රියාවට නැංවීමට කටයුතු කළා. මමත් ඒ සඳහා සහාභාගි වී විවිධාකාරයෙන් ඒ සඳහා දායකත්වයක් ලබා දුන්නා. විශ්වවිද්‍යාලයට අලුතින් ඇතුළු වන ළමයින්ටද  බාහිර පරිසරයක් තුළ මෙවැනි නායක්තවය හා ආකල්පමය සංවර්ධන පුහුණු පාඨමාලාවන් පැවැත්වුණා. මෙම පාඨමාලාව ලබා දීමට මම යෝජනා කළේ, නිවැරදි දේ තේරුම් ගන්න හැකිවෙන්න නායකත්වයේ මූලික ලක්‍ෂණ, පරිගණක තාක්‍ෂණය භාවිත කිරීමේ හැකියාව, ඉංග්‍රීසි භාෂාව දියුණු කර ගැනීම සහ සෑම දෙයක්ම අසුබවාදීව නොබලා සුබවාදී ලෙස බලන්න ආකල්පමය වෙනසක් ඇති කරන්නේ කෙසේද යන කාරණා කිහිපය ඇතුළත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීමටයි. 
එසේ ඇතුළත් වන සිසුන් විශාල ප්‍රමාණයක් සිටින නිසා ඒ ඒ පළාත්වල හමුදා කඳවුරුවල මේ නායකත්ව පුහුණු වැඩසටහන් පවත්වන්න කටයුතු කළා. නමුත් අපි එය මුලදී සැලසුම් කළේ, ඒ ඒ ගම්වල, දිස්ත්‍රික්කවල සිදු කරන්න. නමුත් විශාල සංඛ්‍යවකට එකවර පුහුණුවක් එලෙස ගම්වලදී ලබා දිය නොහැකි නිසා තමයි හමුදා කඳවුරුවල පවත්වන්න කටයුතු කළේ. මෙහිදී සිදු වූයේ හමුදා පුහුණුවක් දීමක් නොවේ. නමුත් බොහෝ දෙනා හොඳ පැත්ත බලන්නේ නෑ. බොහෝ පිරිස කුමක් හෝ අඩුපාඩුවක් සිදු වුණු විට කරන්නේ එයට අදාළව විවේචනය කරන එකයි. 

නායකත්ව පුහුණුවකට සහාභාගි වූ විදුහල්පතිනියගේ හදිසි අනතුරත් සමග නායකත්ව පුහුණුව රාජ්‍ය සේවයෙන් හෝ අධ්‍යාපන සේවයෙන්  ඉවත් කිරීම සාධාරණ දෙයක්ද

බැහැරගත ක්‍රියාකාරකම් සහිත නායකත්ව පුහුණුවේදී සිදු වූ අනතුරෙන් විදුහල්පතිනියක් මිය යෑම මත නායකත්ව පුහුණුව අවලංගු කරන්නැයි ඉල්ලා සිටීම එතරම් හොඳ හෝ සාධාරණ දෙයක් නෙමෙයි. අදාළ නිලධාරීන් මෙම පාඨමාලාව සංවිධානය කර ඇත්තේ විදුහල්පතිවරුන් විවිධ කුසලතාවලින් හෙබි නිර්මාණශීලීත්වය සහිත ධනාත්මක ආකල්ප ඇති රටට වටිනා නායකයන් බිහි කිරීමටයි. එවැනි පුහුණු වීම් ලෝකයේ බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කළ යුත්තේ අවදානම් අවම කරගෙන සහාභාගි වන්නන්ගේ ආරක්‍ෂාව ප්‍රමුඛ කොට සලකා ගුණාත්මකභාවයෙන් හෙබි පුහුණු පාඨමාලා පැවැත්වීමයි. අවශ්‍ය වන්නේ අසනීපයක් හැදුණාට පසුව සුව කිරීමට නොව අසනීපයක් ඇති නොවීමට වගබලා ගැනීමයි. 

නායකත්ව පුහුණුව නෙයෙක් ක්‍රමවේදයන් භාවිත කරමින් සිදු කරන්න පුළුවන්. එය ශාරීරික හෝ මානසික වර්ධනය සඳහා සිදු කරන්න පුළුවන්. ලංකාවේ නායකත්වය පුහුණුව තිබෙන්නේ මේ කුමන පදනමින්ද

බොහෝ අවස්ථාවල ක්‍රියාකාරකම්, ව්‍යායාමය, ක්‍රීඩා සිදු කිරීම නායකත්ව පුහුණුව ප්‍රායෝගිකව  සිදු කරන තැන්වල මම දකින දෙයක්. මෙහි තිබෙන න්‍යාය කුමක්ද, එහි තිබෙන කළමනාකරණය කුමක්ද, තිබෙන මූලධර්මය මොකක්ද, අපට ඉගෙන ගැනීමට තිබෙන සිද්ධාන්තය කුමක්ද, ඒවා අපි විධිමත්ව තමන් සේවය කරන ආයතනයට  යොදාගන්නේ කොහොමද යන්න ප්‍රගුණ කළ යුතුයි. එසේ නොමැතිව ක්‍රීඩා හා ව්‍යායාම් මගින් නිසි ප්‍රතිඵලක් ලැබෙන්නේ නැහැ. මෙම පාඨමාලාවට සහාභාගි වීම ඔහුට හෝ ඇයට විනෝදයක් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ කුසලතා, නිර්මාණාත්මක හැකියාව, ඔහුගේ මනසට යන්න නම් නායකත්වය පිළිබඳ ගැඹුරට ඉගෙන ගෙන තිබෙන්න අවශ්‍යයි. ඔවුන්ට නායකත්ව, කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් තිබෙන්නට අවශ්‍යයි. මේ නායකත්ව පුහුණුව ලබාදෙන ඇතැම් තැන්වල බහැරගත ක්‍රියාකාරකම්වලින් පසුව න්‍යායාත්මක දැනුම හා ගැළපීමේ අඩුවක් තිබෙන බව මෙහිදී සඳහන් කළ යුතුයි. 
මෙවැනි බැහැරගත ක්‍රියාකාරකම් සඳහා නායකත්ව පුහුණුවට ගිය අය කාලය තුළ එයින් උපරිමයෙන් සතුටු වෙලා එනවා. නමුත් පුහුණුව ලබා පැමිණියත් නැවත සිය රාජකාරී කටයුතු සිදු කරන්නේ පැරණි ක්‍රමයටයි. අදාළ පුහුණුවෙන් ඔවුන් තුළ විශේෂ වෙනසක් ඇති වෙලා නැහැ. උදාහරණයක් ලෙස සන්නිවේදන කුසලතාව දැක්විය හැකියි. 

නායකයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතු කුසලතාවක් තමයි සන්නිවේදන කුසලතාව. මක්නිසාද තමන්ගේ අදහස් අනෙකාට ප්‍රකාශ කිරීමේදී එය අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒ වගේම තමන්ගේ කතිකාවෙන් අන් අයව යහපතට පොළඹවන්න ඕන, කරුණු ව්‍යක්තව ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමන්ට හොඳින් අන් අයට ඇහුම්කම් දීමට හැකි විය යුතුයි. එසේ ඇහුම්කම් දීම තුළින් අන් අයව හොඳින් තේරුම් ගැනීමට හැකි වෙන්න ඕන. ඒ වගේම අනිවාර්යයෙන් අදාළ වන සහවේදනය පුරුදු කර ගන්න ඕන. ඇත්තෙන්ම එය ඉතාම හොඳ දෙයක්. ඒ නිසා න්‍යායාත්මක කරුණු පෙන්නුම් කර දී ඒ අනුව අවශ්‍ය මාර්ගෝපදේශනය අවශ්‍ය පරිදි ලබාදිය යුතුයි. පාසලේ විදුහල්පතිවරයෙක් නම් පාසලේ ගුරුවරුන්, ළමයින්ට නායකත්වය දෙන්නේ කෙසේද යන්න මෙයින් හොඳ අත්දැකීමක් ලැබෙනවා. එකී මාර්ගෝපදේශනය පුහුණු කිරීමෙන්, උපදෙස් ලබා දීමෙන් සිදු කරන්න පුළුවන්. එය ගැටුම් කළමනාකරණය, විශ්වාසය ගොඩ නැගීම, ගොඩනගා ගත් විශ්වාසය පවත්වාගෙන විය හැකියි. 

නායකත්ව පුහුණුව තුළ අන්තර්ගත ක්‍රීඩා හා ක්‍රියාකාරකම් ගැන කතා කළොත්

මේ සෑම එකකටම සුවිශේෂ වූ ක්‍රීඩා හා බැහැරගත ක්‍රියාකාරකම් තිබෙනවා. මෙම පුහුණුව තුළින් ලබාදෙන ක්‍රීඩා හා බැහැරගත ක්‍රියාකාරකම් විවිධ වර්ගයේ ඒවා විය හැකියි. මෙවැනි පාඨමාලාවල ප්‍රධාන පියවර තුනක් තිබෙනවා. ක්‍රියාවන් සිදු කිරීම හා අත්දැකීම් ලැබීම, සිහිකිරීම සහ සාකච්ඡාව, භාවිත කිරීම සහ ක්‍රියාකාරීම. මෙහිදී කායික, මානසික, සාමාජීය හා අධ්‍යාත්මික නිරෝගීභාවය හා ශක්තිය ඇති කරලන විවිධාකාරයේ ක්‍රියාකාරකම්, ව්‍යායාම, ක්‍රීඩා තිබෙනවා. සමහර ක්‍රීඩා මහන්සිය වී කළ යුතුයි, ඇතැම් ක්‍රීඩා මනස වෙහෙසා කළ යුතුයි. එකිනෙකා සහයෝගයෙන් සිදු කරන ක්‍රීඩාද තිබෙනවා. අදාළ පුහුණුකරුවන් තිබෙන කාලය අනුව භාවිත කරන මෙවලම්, බැහැරගත ක්‍රියාකාරකම්, ක්‍රීඩා වර්ගත් තීරණය කරනු ලබනවා. 

බොහෝ විට රජයේ රැකියාවලට යෑමට පෙර නායකත්ව පුහුණුවක් ලබා දෙනවා. නමුත් ඔවුන්ගේ වයස් පරතරය එක හා සමාන වන්නේ නැහැ. එවැනි වෙනස් වයස් පරතරයක සිටින පිරිසකට ඒකහා සමාන පුහුණුවක් ලබා දීම සාධාරණ ක්‍රියාවක්ද

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ආධුනිකයන් ලෙස සේවයට බඳවා ගන්නා සියලු දෙනා අවුරුදු 30ට අඩු අය. නමුත් පුහුණුව ලබා දීමට ප්‍රථම ඔවුන්ගේ ඇති කායික හා මානසික ආබාධ පිළිබඳ අප විමසා බලනවා. එසේ නොයෙක් ආබාධ හෝ රෝගවලින් පෙළෙන අයට අපි ක්‍රියාකාරකම් කරන්න දෙන්නේ නැහැ. මෙම නායකත්ව පුහුණුවේදී ක්‍රියාකාරකම් තෝරා ගැනීමේදී අදාළ කණ්ඩායමේ වයසට ගැළපෙන පරිදි තෝරා ගැනීම් කළ යුතුයි. ඇතැම් පුහුණු සඳහා වයසින් වැඩි පිරිස් සහාභාගි වෙනවා නම්,  එවැනි අවස්ථාවල ඔවුන් සහභාගි කර ගැනීමේදී ඔවුන්ට මෙය කළ හැකිද යන්න විමසා අදාළ ක්‍රියාකාරකම් සිදු කළ යුතුයි. නැතිනම් එවැනි දේවල් සඳහා ඔවුන් සහාභාගි කර නොගත යුතුයි. ඔවුන්ට එවැනි ක්‍රියාකාරකම් නැරඹීමෙන් වුවත් ඒ ආකල්පය ඇති වෙන අයුරින් කතා කරන්න පුළුවන්. 

බොහෝ අයගේ නායකත්ව පුහුණුව වියදම් සහගත වැඩක්. නිසි පරිදි නායකයන් බිහි නොවීම නිසා මුදල් අපතේ යෑමක් ලෙසයි නායකත්ව පුහුණු වැඩසටහන දකින්නේ. ඒ ගැන ඔබ මොකද හිතන්නේ

නායකත්ව පුහුණුවේදී නොයෙක් ත්‍රාසජනක ක්‍රීඩා කිරීමේදී සතුටක් ලබා ගන්නවා. නමුත් නායකත්ව පුහුණුවෙන් ලබා ගන්නා දේවල් අපි ඉන් බැහැර වී පැමිණියාට පසු භාවිත කරන්නේ නැති අඩුවක් තිබෙනවා. අපි කරන ක්‍රීඩාවෙන් අපේක්‍ෂා කරන දෙය එම නිලධාරීන් රාජකාරී කටයුතුවලට යොදා ගන්න ඕන. ඒ සඳහා අප උපක්‍රම ක්‍රියාත්මක කළ යුතුයි. කාලය ගියා, මුදල් ගියා කියලා කිය කියා අපි සිටියොත් සැබැවින්ම යහපත් රාජ්‍ය සේවයට සුදුසු දක්‍ෂ නායකයන් බිහි නොවෙන්න පුළුවන්. 

ලෝකයේ වෙනත් රටවල නායකත්ව පුහුණු පැවැත්වෙනවාද? ඒවා සිදුවන්නේ නම් ඒ කිනම් ආකාරයකින්ද

යුරෝපීය රටවල්, ඇමෙරිකාව, මැලේසියාව, සිංගප්පූරුව සහ බැහැරගත පරිසරයන් තුළ නිලධාරීන්ට මෙවැනි නායකත්ව හෝ විවිධාකරයේ පුහුණුවීම් ලබා දීම සිදු කරනවා. ඒ ඒ රටවල පෞද්ගලික අංශයේ බහුජාතික සමාගම් විසින් මෙවැනි පුහුණු කඳවුරු සිදු කිරීම සාමාන්‍ය දෙයක්. ලංකාවේත් බොහෝ පෞද්ගලික අංශයේ සමාගම් මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් පවත්වනවා. පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ ආයතනවලත් මෙවැනි පුහුණුවීම් ආරම්භ කර පවත්වාගෙන යනවා. 

පසුගිය දිනක සිදු වූ සිදුවීමත් සමග මෙම පුහුණුවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා ඉදිරියේදී නායකත්ව පුහුණු වැඩසටහන් පවත්වනවා නම්, එය පැවැත්විය යුත්තේ කෙසේද? නැතිනම් අලුතින් සකස් විය යුත්තේ කිනම් ආකාරයෙන්ද

මෙවැනි පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන විට අදාළ බලධාරීන් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක්, අවධානයක් දැක්විය යුත්තේ සහාභාගි වන්නන්ගේ ජීවිත ආරක්‍ෂාව ගැනයි. අවදානම් සහගත ක්‍රියාකාරකම් තිබෙනවා නම්, එහි අවදානම් සහගත බව මොන වගේද? ඒවා අවම කිරීමට සිදු කළ යුත්තේ කුමක්ද? එවැනි තත්ත්වයක් තුළ ක්‍රියාකළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ අධ්‍යයනයක් සිදු කරලා ඒ පිළිබඳ සොයා බලා, මීට පෙර එවැනි ක්‍රියාකාරකම් කළ ආයතනයන්ගෙන් ඒ අත්දැකීම් විමසා බලා සිදු කළ යුතුයි. විශේෂයෙන්ම රජය සම්බන්ධ නොවන පෞද්ගලික අංශයේ ආයතන විසින් මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් සිදුකරනවා නම්, ඒ පිළිබඳ ප්‍රමිතියක් ඇති කළ යුතුයි. මොකද පෞද්ගලික අංශයේ ආයතන ලාභය පරමාර්ථ කරගෙන ක්‍රියාත්මක වෙන අය. එසේ වූ විට බොහෝ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් සිදු කිරීමේදී ඇතැම් විට ගැටලුකාරී අවදානම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එය නිසි ඇගයීමකින් යුතුව සිදු කරන්න අවශ්‍යයි. පුහුණුව සඳහා පැමිණෙන්නන්ගේ ජීවිතවලට විශේෂිත වූ අයුරින් බලපෑමක් කළ හැකි ක්‍රියාකාරකම් තිබේ නම්, ඒවා අනිවාර්යයෙන් ඒවායේ අවදානම අවම කර ගන්න කටයුතු කරන්න ඕන. ඒ නිසා සහභාගි වන්නන්ගේ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු කරන්න අවශ්‍යයි. 

නායකත්ව පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :