X
දුෂ්කරතා මැදින් ගොඩනැංවුණු මල්පොත නිග්‍රෝධාරාමය
( . . ) 2018-03-12 10:47:06
Comments - 0       Views - 519

Malpotha Viharaya  (2)

කන්දේගෙදර දේවානන්ද හිමියන් විසින් 1910 වර්ෂයේදී කටුමැටිවලින් ඉදිකරන ලද ආවාස ගෙය අද වනවිට සියලු විහාරාංගවලින් සපිරි මල්පොත නිග්‍රෝධාරාමය ලෙසින් හඳුන්වන අතර, එය ඌව පළාතේ විහාරස්ථානයක ඇති එකම කෞතුකාගාරයද පවත්වාගෙන යනු ලබමින් සමාජයේ මෙන්ම අාධ්‍යාත්මික දියුණුවද ලබාදෙන්නාවූ පින් බිමකි.

වැලිමඩ – බණ්ඩාරවෙල මාර්ගයේ උඩවෙල හන්දියේ සිට දියතලාව දක්වා වැටි ඇති මාර්ගයට මායිම්ව මල්පොත ගම්මානයේ මෙම පන්බිම පිහිටා තිබේ.Malpotha Viharaya  (4)
මෙම පින්බිම දියුණු කිරීම සඳහා මෙම විහාරස්ථානයේ එවකට වැඩසිටි විහාරාධිපති හිමිවරුන් විශාල වෙහෙසක් දරා තිබෙන අතර මේ වනවිට මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස පූජ්‍ය ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද හිමියෝ වැඩ සිටිති.
මෙම විහාරස්ථානය පිළිබඳව විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද හිමියෝ මෙසේ පැවසූහ.

“රන්පොත ලෙසින් බිහිවී ඇති මෙම ගම්මානය උච්චාරණයට පහසුවීමට මල්පොත ලෙසින් භාවිත කරන බව දැනගන්නට තිබෙනවා. මෙම විහාරස්ථානය ඉදිකිරීම සඳහා භූමිය පූජා කළ උපාසක පවුල ගැන තොරතුක් දැන ගැනීමට අවශ්‍ය මූලාශ්‍රයක් විහාරය සතු නොවීම ගැන කනගාටු වෙනවා. අතීතයේදී මෙම මල්පොත ගම්මානයේ බෞද්ධ ජනතාව සැතපුම් දහයක් පමණ දුරකින් පිහිටි දඹවින්න පුරාණ විහාරයට ගොස් තම ආගමික  වතාවත් ඉටුකරගෙන තිබෙනවා. 
වාහන පහසුකම් හෝ මාර්ග පහසුකම් නොමැති යුගයක දඹවින්න විහාරයේ හිමිවරුන්ට ආගමික කටයුතු සඳහා මල්පොත ගමට යෑමද අසීරු කරුණක් බවට පත්ව තිබෙනවා. 1910 දී පමණ මෙම ගැටලුව විසඳා ගැනීමට මෙහි ජීවත්වූ පින්වන්ත උපාසක මහතෙකු තමන්ට අයත් ඉඩමේ කටුමැටියෙන් ඉදිකළ පිදුරු සෙවිලි කළ ආවාස ගෙයක් ඉදිකර තිබෙනවා. ඉන්පසු දඹවින්න විහාරාධිපති ඇටම්පිටියේ ඤාණිස්සර හිමියන්ගේ අනුදැනුම හා උපදෙස් ඇතිව කන්දේගෙදර දේවානන්ද හිමියන් මෙම කටුමැටි ගැසූ ආවාස ගෙයි වස් සමාදන්ව තිබෙනවා. ඒ නිසාම දඹවින්න විහාර පරම්පරාව ආරම්භවී තිබෙනවා.

Malpotha Viharaya  (5)

මෙසේ පහසුකම් නොමැතිව ඉතා අපහසු පසුබිමක කාලය ගතකරමින් කන්දේගෙදර දේවානන්ද නායක හිමියන් තම දායකයන්ගේද සහාය ලබාගනිමින් විහාරස්ථානය වගේම ගමද දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. උන්වහන්සේ විහාර භූමියේ ආරම්භ කළ පාසල අද මිරහාවත්ත දේවානන්ද ජාතික පාසල ලෙසට දියුණුව තිබෙනවා.

උන්වහන්සේගෙන් පසුව 1955 සිට 2004 වසර දක්වා කන්දේගෙදර ධම්මානන්ද හිමියන් විහාරාධිපති ධුරය දරමින් මෙම විහාරයේ සංවර්ධනයට කටයුතු සිදුකළා. 
ඉන්පසු මම 2004 වර්ෂයේදී විහාරාධිපති ධුරය බාරගත්තා. ඉන්පසුව ප්‍රදේශයේ දායක පින්වතුන් හා ප්‍රදේශයේ දානපතියන්ගේද සහාය ලබාගනිමින් විහාරයේ පැවැති පැරැණි විහාර මන්දිරය ධර්මශාලව වැනි ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි චෛත්‍ය බෝධිප්‍රාකාරය, ශ්‍රීපාද අනුරුව සහිත දෙමහල් ගොඩනැගිල්ල, ධාතු මන්දිරය සහිත ගොඩනැගිල්ල, විහාර භූමියට ඇතුළු වන ප්‍රධාන වාහල්කඩ ආසන්නයේ දහඅට රියන් බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම ඇතුළු විහාර කර්මාන්ත රාශියක් නිර්මාණය කළා.
මම පැරැණි කෞතුක භාණ්ඩවලට ඇල්මක් දක්වනවා. එසේම ගුරුවරයකු ලෙසින් දරුවන්ට ඉපැරැණි දේවල් දැක බලාගෙන දැනුම වර්ධනය කරගැනීම සඳහා කෞතුකාගාරයක් ආරම්භ කළා. එය විහාරස්ථානයක පවත්වාගෙන යන ඌව පළාතේ එකම කෞතුකාගාරය ලෙසට සඳහන් කරන්න හැකියි. මෙම විහාරය සංවර්ධනයට වැලිකඩගම නැසීගිය ඩබ්ලිව්. සයිමන් අප්පු උපාසක මහතා දක්වන ලද සහායත් මෙම අවස්ථාවේ සඳහන් කරන්නම ඕනි. එසේම මෙම විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම්පාසලේද මේ වනවිට දරුවන් දෙසීයකට වඩා අධ්‍යාපනය ලබනවා.

 

බණ්ඩාරවෙල - රවිදු දසුන් 

දුෂ්කරතා මැදින් ගොඩනැංවුණු මල්පොත නිග්‍රෝධාරාමය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :