ඉරිල්ල
( . . ) 2018-03-09 09:54:40
Comments - 0       Views - 630

කන්න බොන්න පටන් ගන්න ඉස්සර වෙලා කවුරුත් කරන්නේ ඉරිල්ලය. ඉරිල්ල ගැන කතා කරන විට මුලින්ම සිහිපත් වන්නේ කිරි ඉරිල්ලය. කුඩා දරුවා මවගේ පියයුරෙන් කිරි උරලා ජීවත් වෙනවාය. ළදරු කාලයේ දරුවාගේ ප්‍රධාන ආහාරය වන්නේ මවගෙන් උරන කිරිය. ඒත් අද නම් සමහර අම්මලා දරුවන් කුසගින්නේ කොතරම් හැඬුවත් කිරි ඉරිල්ලට පියයුර ළදරුවාගේ මුවට දෙන්නේ නැත්තේය. එයට හේතුව දරුවාගේ කිර ඉරිල්ල නිසා තමා අවලස්සන වෙනවා යැයි සිතිල්ලය.

ඒ නිසා මවු කිරි තිබෙන අම්මලාත්, කිරි ඉරිල්ලට ඉඩ නොදී පිටිකිරි ඉරිල්ලට දරුවා හුරු කරවනවාය. තනයෙන් කිරි ඉරිල්ල වෙනුවට බෝතලයට ගැසූ රබර් සූප්පුවෙන් කිරි ඉරිල්ලට දරුවා පුරුදු කරවනවාය. වැඩිහිටියන්ද සූප්පුවෙන් කිරි ඉරිල්ල කරන අවස්ථා තිබෙනවාය. ඒ අවුරුදු තරගවලට සහභාගි වෙන කොටය.

දරුවාට උරන්නට මවගේ පියයුරුවලට කිරි එරෙන්නේ මව තුළ දරුවා ගැන ඇතිවෙන ආදරය, කරුණාව හා මවු සෙනෙහස නිසාය. ඒත් සූප්පුවෙන් කිරි ඉරිල්ලේදී දරුවාට මවගේ ආදරය කරුණාව ලැබෙන්නේ නැත්තේය. දිළිදු මවුවරුන්ගේ පියයුරු කොතරම් ඉරුවත් දරුවාට කිරි ලැබෙන්නේ නැත්තේය. එයට හේතුව දරුවාගේ ඉරිල්ලට අවශ්‍ය කිරි නිපදවෙන්නට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර නැතිවීමය. ඒත් පොහොසත් අම්මලා දරුවාට කිරි ඉරිල්ලට නොදී කිරි දොවා ඉවත දමනවාය.

පුංචි එකා මවගේ කිරි උරන විට ලොකු එකා උත්සාහ කරන්නේ ලේ ඉරිල්ලටය. අනිත් කෙනාගේ රුහිරු ඉරිල්ලට ඒ අය දස්සය. පුළුවන් එකා බැරි එකාගේ රුහිරු ඉරිල්ලෙන් ඔහු නැතිකරලාම දමනවාය. මිනිසුන් විතරක් නොව ඇතැම් රටවල්ද රුහිරු ඉරිල්ලට දස්සය. ලොව අධිරාජ්‍යවාදී බලගතු රටවල් ඔය තරමට ශක්තිමත් වී තිබෙන්නේ දිළිඳු රටවල රුහිරු ඉරිල්ලෙන්ය.

යකා නරයන්ගේ රුහිරු ඉරිල්ලෙන් පසු මරණය අත්වෙනවාය. සමහර යකුන්, යක්ෂණියන් තමන්ට හමුවන නරයාගේ බොටුව කඩා ලේ ඉරිල්ලට පුරුදු වෙලා ඉන්නවාය. රීරි යකාට ඒ නම ලැබී තිබෙන්නේ මිනිසුන්ගේ රුහිරු ඉරිල්ලෙන් උන් මරා දමන නිසාය. යක්ෂ ප්‍රේතයන්ගේ බැල්ම වැහුණු ආතුරයන් සුවපත් කරන්නට කුකුල් බිල්ලේ ලේ ඉරිල්ල කරන යකැදුරන්ද සිටිනවාය. ඔවුන්ගේ අතට දෙන කුකුල් බිල්ලේ බොටුව කඩා ලේ ඉරිල්ල කරන්නේ පරල වෙලා යැයි කියනවාය.

යකැදුරන් පමණක් නොව ලේ ඉරිල්ල සර්පයන්ද කරනවාය. පිඹුරා තම ගොදුර පහළ සිට ඉහළට වෙළාගෙන මුළු සිරුරේම ලේ උරා බී රොඩ්ඩක් බවට පත් කරනවාය. එහෙම ලේ උරා බිව් පිඹුරන්ට වෙනත් ආහාරයක් ලැබෙන තුරු මාස ගණන් සිටින්නට පුළුවන්ය. පිඹුරා පමණක් නොව ලේමාපිලා කියන සර්පයාද ලේ ඉරිල්ලට දස්සය. මාපිලා ලේ ඉරිල්ලේදී එයට ගොදුරු වූ සතාට නින්ද යනවා යයි කියනවාය. ලේ ඉරිල්ල අවසන් වන්නේ ගොදුර සදාකාලිකවම නින්දට ගියාට පසුවය. මිනිසාගේ ලේ ඉරිල්ලට වැඩියම දස්ස මදුරුවාය. මදුරුවා ලේ ඉරිල්ලේදී ඩෙංගු ආදි මාරාන්තික රෝග බෝ කරනවාය.

කුඩැල්ලාද ලේ ඉරිල්ලට කප් ගහලා ඉන්න සතෙක්ය. ඌ සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේද ලේ ඉරිල්ල කරනවාය. කුඩාවට සිටි කූඩැල්ලා පිම්බී ලොකු වන්නේ ලේ ඉරිල්ලෙන් පසුවය. බඩ පිරෙන්න ලේ උරා බිව්ව කූඩැල්ලෙකුට ආහාර නැතුව බොහෝ කාලයක් ජීවත් වෙන්නට පුළුවන්ය. සමහර මිනිසුන්ද කූඩැල්ලන්ටන් වඩා අනුන්ගේ ලේ ඉරිල්ලට දස්සය.

සතුන් දෂ්ඨ කළ විට ඒ විෂ ඉරිල්ලට දස්ස විෂ වෙද්දුද ඉන්නවාය. ඒ ගොල්ල උරන්නේ රෝගියාගේ විෂය. විෂ ශරීරගත වූ රෝගියාගේ තුවාලයට මුව තබා විෂ ඉරිල්ලට ඒ අය ප්‍රසිද්ධය. මෙලෙස විෂ ඉරිල්ලෙන් රෝගීන් සුවපත් කිරීම සිංහල වෙදකමේ ඉතාම සාර්ථක වෛද්‍ය ක්‍රමයක්ය. විෂ වගේම සැරව ඉරිල්ලෙන්ද ලෙඩුන් සුව කරන්න පුළුවන්ය. අජාසත් කුමාරයා පැසවු ගෙඩියකින් වේදනා විඳිනවා දුටු බිම්බිසාර පියරජු තුවාලයට මුව තබා සැරව ඉරිල්ලෙන් තම පුතා සුවපත් කළේය. ඒත් අන්තිමට පුතා අතින් ස්වකීය මුළු ජිවිතයම ඉරා ගන්නට පියරජුට සිදුවිය.

කොච්චර ඉරිලි තිබුණත් කොළේ ඉරිල්ල නම් බොහෝම නරකය. දැන් ලන්ච් ෂීට් තහනම් නිසා කෙහෙල් කොළේ කන්න යන අය කොළේ ඉරා ගන්නවාය. කෙහෙල් කොළේ නොවුණත් බොහෝ අය පුරුදුවෙලා ඉන්නේ කොළේ ඉරා ගන්නටයි. කොළේ ඉරා ගන්න හදන අයට රෙද්ද ඉරා ගැනිල්ල නම් එතරම් පුරුදු නැත්තේය. හොර ගමනකට හදිස්සියේ වැටකින් රිංගා යන විට ඇඳ සිටින රෙද්ද ඉරෙන්නට පුළුවන්ය. ඒත් රෙද්ද ඉරා ගැනිල්ල කොළේ ඉරිල්ලට වඩා භයානක වන්නේ ඇතුළ පෙනෙන්නට පුළුවන් නිසාය.
ගස්වලින්ද ලෑලි ගන්න නම් ගස් ඉරන්න ඕනෑය. ඉස්සර ගස් ඉරිල්ල කළේ පලංචි බැඳගෙන පලංචියේ දෙන්න දෙපැත්තේ නැගලා බණ්ඩි කියත්වලින්ය. එහෙත් අද නම් ගස් ඉරිල්ලට එච්චර මහන්සි වෙන්න ඕනෑ නැත්තේ මැෂින්වලින් සුරුස් ගාලා ඉරන්න පුළුවන් හින්දාය. කැලේ ගස් හොරෙන් කපන අයට නම් ඉක්මනින් ඉරිල්ලට පුළුවන් නිසා මැෂින් කියත් බොහොම උපකාර වෙනවාය. පොලීසිය එන්නට පෙර ගස් ඉරලා ලෑලි ලොරිවල පටවාගෙන යන්නට ගස් හොරුන් සමත්වෙලා ඉන්නවාය.
කොහොම වුණත් රක්ෂිත වනාන්තරවල වටිනා ගස් කපලා ඉරිල්ල ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් බිස්නස් එකක්ය. අපේ සමහර දේශපාලුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබෙන්නේද රක්ෂිත වනාන්තරවල ගස් හොරෙන් කපලා ඉරිල්ලය. උදළු මිටක් කපාගන්න ආණ්ඩුවේ කැලේට රිංගන දුප්පතා අල්ලන නිර්භීත කැලෑ නිලධාරීන් මේ දේශපාලුවන්ගේ කැලෑ ඉරිල්ල වටලන්න යන්නේ නැත.

ඉරිල්ල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :