X
ධර්ම සන්නිවේදනයේ පුරෝගාමියෙකු වූ දරණාගම කුසලධම්ම හිමිපාණෝ
( . . ) 2018-03-08 13:02:27
Comments - 0       Views - 717

ශ්‍රී ලාංකික භික්ෂුව වනාහී දෙස, බස, රැස, සමය යන සිවු කරුණද සිය උර දරා සිවුරු දරන උත්තම පුරුෂයෙකි. උන්වහන්සේ අභිප්‍රාය වශයෙන් සබ්බදුක්ඛ නිස්සරණයෙහි සපථකොට පැවිද්දට එළඹියද ශාසන සංරක්ෂණ වගකීම විෂයෙහි මහදුත්සහයෙන් ව්‍යවෘත වන්නෙකි. ශාසනය රැඳී පවතින්නේ ජාතිය මත බව උන්වහන්සේ හඳුනති. එබැවින් ජාතියේ ආරක්ෂාව පිණිස කැළම අවධානය යොමු කරති. ජාතියේ පැවැත්ම දේශයේ පැවැත්ම මත රඳා පවතින්නකි. එබැවින් දේශයේ අභේද්‍යභාවය විෂයෙහි නිරන්තරයෙන් සාපේක්ෂ වෙති. ජාතියේ හා දේශයේ අනන්‍යතාව නම් භාෂාව හා සංස්කෘතියයි. එබැවින් හෙළ සංස්කෘතිකාංග සුරක්ෂිත කර ගැනීමට මෙන්ම භාෂාවේ අක්මුල් වැනසී යා නොදී සුරැකීමටද උන්වහන්සේ පෙරමුණ ගනිති. දෙසත්, බසත්, රැසත් රැක ගැනීමෙන්ම සසුනේ සුරක්ෂිතභාවය තහවුරු වන බව ජානගතවම විජානනය කොට ගත් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ සෙසු ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගෙන් වෙනස් වූ සුවිශේෂී චරිතයකි.

ලක්දිව භික්ෂුව රජුට උපදේශකයෙකි. පාලකයා යහ මග වන් කල්හී ඔහුට ආශිර්වාද කළා පමණක් නොව, ඔහු බෝධිසත්ත්ව භූමියෙහි ලා ගරු කිරීමට ජනතාව පොළඹවයි. රටට හිතැති රජුන්ට උවදුරක් උපන් කල පිණ්ඩපාතයෙන් හෝ ඔහු පෝෂණය කිරීමටත්, සිවුර තුළ හෝ ජීවිතාරක්ෂාව සැලසීමටත් උන්වහන්සේ නොපසුබටය. පාලකයා වැරදි මඟ පිළිපන් කල්හී පත්තනික්කුජ්ජනයෙන් පවා දඬුවම් කිරීමටත්, ඔහු ආයති සංවරයෙහි නොපිහිටන්නෙක් නම් සිහසුනෙන් නෙරපීමටත් උන්වහන්සේ පසුබට නොවෙති. කොටින්ම සිරිලක රාජ්‍යත්වය පිළිබඳ සුවිශේෂීම පසුබිම, බලවේගය භික්ෂූන් වහන්සේයි.

මිහිඳු මාහිමියන් දෙවනපෑතිස් නිරිඳුන්ට පවසන්නේ ඔබතුමන් රටේ තාවකාලික භාරකරුවා මිස හිමිකරුවා නොවන බවයි. රජුගේ කාර්යභාරය වනුයේ මිනිසා සතා සීපාවා, ගස්වැල් සහිත සකල ධර්ණීතලයම දැහැමින් ආරක්ෂාකොට තැබීමයි. නර රූපයෙන් මහා දෙවියෙකුගේ පෙනී සිටීමක් ලෙස එවන රජුන් පිළිබඳව පෙරදිග වැසියා පිළිගනී. එසේම බෝධිසත්වයෙකු වීමට හෝ වසලයෙකු වීමට ඔහුට ඇති හැකියාවත්, පාලකයෙකුව දෙව්ලොව යෑමට හෝ නිරාගත වීමට ඇති භව්‍යතාවත් ධර්මානුකූලව පහදා දුන්නෝ භික්ෂූන් වහන්සේමය. නොබෝසතුන් මෙරට පාලකයන් නොවිය යුතු බව සම්මත වන්නේ මෙම ඵෙතිහාසික චින්තන පදනම මත පිහිටා සිටිමිනි.

ථෙරපුත්තාභය හිමියන් සිවුරු හැර දුටුගැමුණු යුද පෙරමුණේ සෙන්පතියෙකුව ගමන් කළේ සම්බුදු සසුන සුරැකීමට නම් රට ජාතිය ආරක්ෂා වී පැවතිය යුතුය යන භූමි යථාර්ථය පසක් කොට ගත් බැවිනි. මහානාම හිමියන්, කුඩාපොළ හිමියන්, වාරියපොළ හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් මෙන්ම මෑත වැඩ සිටි දිඹුලාගල නාහිමියන්, මඩිහේ නාහිමියන්, සෝම හිමියන් ද සිය ජාතික කාර්යභාරය නිරන්තරයෙන් දිවි දෙවැනිකොට ඉටු කළේ භික්ෂුවගේ ප්‍ර‘වේණිගත වගකීම පිළිබඳව පැවති අවබෝධය හේතුවෙනි.

Daranagama-Kusaladhamma-Thero-700-01 copy copy

ගරුතර දරණාගම හිමිපාණන්, කුසලධම්ම හිමිපාණන් වහන්සේද යථෝක්ත සඟ පෙළෙහි වත්මන් නියෝජන වෙති. යථෝක්ත ශ්‍රී ලාංකීය ථෙරීය භික්ෂු සම්ප්‍රදායෙහි උරුමයෙන් හෝ වගකීමෙන් හෝ බැහැර නොවූ සිය ජාතික මෙහෙරවර මනාව අවබෝධ කොට ගෙන ක්‍රියා කළ යතිවර ලකුණක් ඉතිරි කළ භික්ෂුවක ලෙස දරණාගම කුසලධම්ම හිමිපාණෝ ඉතිහාසයට එක්වනු ඇත.

වර්ෂ 1963 ජූලි මස 30 වන දින බියගම දරණාගම ග්‍රාමයේ විසූ කරලයින් නෝනා බාලසූරිය මවට සහ ගුණසේන කුමාරපේලි යන දම්පතීන්ට දාව උපත ලැබූ ආනන්ද නෙවිල් කුමාරපේලි, දියණියන් දෙදෙනෙකුගෙන් සහ පුතුන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් දරුවා ලෙස උපත ලැබීය. උපතින්ම දහමට ළැදි සහ තැන්පත් ගති ලක්ෂණවලින් හෙබි මෙම කුල කුමරුවා 1968 වර්ෂයේදී සියඹලාපේ දරණාගම මහා විද්‍යාලයට ඇතුළත් විය. අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.

යොවුන් විය එළඹීමත් සමගින්ම ගිහි ජීවිතයේ අරුත් සුන් බව තේරුම්ගත් ඔහු 1985 අප්‍රේල් මස 05 වන දින හංවැල්ල ජල්තර ධම්මික යෝගාශ්‍රමාධිපතිව වැඩ සිටි පූජ්‍යපාද කොරතොට විමලධම්ම නාහිමිපාණන් යටතේ පැවිදි දිවියට ඇතුළත් විය. පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ සරල, අල්පේච්ච ජීවිතය උපයෝගී කරගනිමින් බවුන් වැඩීමට වැඩි කලක් යොදවමින් ගිහි පින්වතුන් හටද භාවනා කමටහන් ලබාදෙමින් වැඩ සිටියහ. ඉන් අනතුරුව කටුකුරුන්ද බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම කළ උන් වහන්සේ තවත් ශාසනික මෙහෙවරයන් රැසක් ඉටුකළහ.

කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ බුද්ධ ධර්මය, සිංහල, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් හදාරමින් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. එම කාල වකවානුව තුළදී උන්වහන්සේ තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද පිරිවෙනෙහි වැඩ සිටියහ. ඉන්පසු බම්බලපිටිය සිරි වජිරාරාමයට වැඩම කළ උන්වහන්සේ අතිපූජනීය පියදස්සී නාහිමිපාණන් වහන්සේ ඇසුරෙහි ඉතා කීකරු ශිෂ්‍ය රත්නයක් ලෙසද පසුව වජිරාරාම විහාරස්ථ දහම් පාසලේ විදුහල්පතිතුමන් ලෙස සිසු සිසුවියන්ගේ ධර්ම අධ්‍යාපනය නැංවීම පිණිස කැප විය.

පසුව උන්වහන්සේ අතිපූජනීය පියදස්සී නාහිමිපාණන් වහන්සේ සමග කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට වැඩම කරන්නේ එවකට ශ්‍රී සම්බෝධී විහාරාධිපතිව වැඩ සිටි අති පූජනීය පානදුරේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුවය. එසේ වැඩම කරවීමෙන් අනතුරුව උන්වහන්සේ, පියදස්සී නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසී දහම් පාසල ආරම්භ කළහ. සිය තරුණ ජීවිතය ආගම දහම වෙනුවෙන් කැපකරමින් ආබාධිත රණවිරුවන් උදෙසා කිහිලිකරු, අත්වාරු, කෘත්‍රිම පාද, රෝදපුටු යනාදිය බෙදා දෙමින්ද, මරණයට කැපවූ කිරි ගවදෙනුන් මරණයෙන් නිදහස් කර අසරණ ජනතාව වෙත බෙදා දෙමින්ද පියදස්සී නාහිමිපාණන් වහන්සේට මහත් සහයෝගයක් ලබාදෙමින් කටයුතු කළහ.

එතෙක් ගිලන්ව වැඩ සිටි අතිපූජනීය පියදස්සී නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමත් සමග වර්ෂ 1998 අගෝස්තු මස 18 වන දින ශ්‍රී සම්බෝධි විහාරයේ භාරකාරත්වයට පූජනීය කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ පත්විය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායකව වැඩ සිටි අතිපූජනීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ යටතේ උන්වහන්සේ නැවතත් 2005 වර්ෂයේදී උපසම්පදාව ලැබීය.

උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනම ආරම්භ කළ උන්වහන්සේ සකල සියලු ලෝවැසියන් හට උතුම් වූ ශ්‍රී සද්ධර්මය බෙදා දීමේ පරමාර්ථයෙන් වර්ෂ 2007 ජුනි මස 27 වන දින සැම හිත සුව පිණිස යන තේමාව මුල්කොට ගනිමින් බෞද්ධයා රූපවාහිනී නාළිකාවත්, 2011 මැයි මස 15 වන දින බෞද්ධයා ගුවන් විදුලි නාළිකාව සහ ශ්‍රී සම්බෝධි සදහම් සගරාව ද ආරම්භ කළහ.

නාරංවල, දෙල්ගොඩ ගුණරත්න ශ්‍රී සම්බෝධි සදහම් සෙවන, එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය උන්වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් ආරම්භ කළ පුණ්‍යස්ථාන වේ.

තවද සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය රැකගැනීමේ උදාරතර පරමාර්ථයෙන් %දරු දිරි සහන අරමුදල^ ගැමි පුනරුත්ථාපන වැඩසටහන ආරම්භ කළ අතර, ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා වැඩසටහන යටතේ නියඟයෙන්, ගංවතුරින්, නායායෑම් සහ ස්වාභාවික ව්‍යසන වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදා දීම ආදී වූ සමාජ සත්කාරක සේවාවන් රැසක් උන්වහන්සේ සිදුකළහ.

ශ්‍රී ලංකාව පුරා ඵෙතිහාසික සිද්ධස්ථාන මුල් කොට ගනිමින් මියුගුණ මහා සෑ වන්දනාව, මහා බෝ මහා සෑ අටමස්ථාන වන්දනාව^, %පොළොන්නරු සොළොස්මස්ථාන වන්දනාව ආදී අසදෘශ මහා පිංකම් නිරන්තරයෙන් සිදුකළ උන්වහන්සේ, බුදුන් උපන් දේශය වන ඉන්දියාවේ අවිජහිත පුණ්‍යභූමි කේන්ද්‍රගත කරමින්ද මියන්මාරය, තායිලන්තය යන බෞද්ධ රාජ්‍යයන් මූලික කරගනිමින්ද සුවහසක් බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් ආදර්ශමත් මහා පිංකම් රාශියක් සිදුකළහ. එමෙන්ම චීනය, ජපානය ආදී බෞද්ධ රාජ්‍යයන්හීද ධර්ම ප්‍රචාරක කර්තව්‍යයන් රැසක් උන්වහන්සේ මහත් කැපවීමෙන් දියත් කළහ.

මීට මාස කිහිපයකට පෙර හදිසියේ ගිලන් වූ උන්වහන්සේ විදේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැඩම කළහ. අනතුරුව පෙරළා මෙරටට වැඩම කළ උන්වහන්සේ මෙරටදීද පෞද්ගලික රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ලබමින් සිටියදී වර්ෂ 2018 මාර්තු මස 03 වන දින අලුයම විහාරස්ථානයේදී අපවත් වී වදාළහ. රට දැය සමය වෙනුවෙන් අපරිමිත වූ සමාජීය, ශාසනික, ජාතික මෙහෙවරක පුරෝගාමියා වූ ගරු දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුවයම ලැබේවා!

 Ven-Daranagama-Kusaladhamma-Thero copy copy

කොළඹ 08, සුසමයවර්ධන විද්‍යාලයේ ආචාර්ය, නාරාහේන්පිට ශ්‍රී හත්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගලගම ධම්මරංසි හිමිපාණන්

 

 

ධර්ම සන්නිවේදනයේ පුරෝගාමියෙකු වූ දරණාගම කුසලධම්ම හිමිපාණෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :