X
ඔස්ටියෝකොන්ඩ්‍රෝමා
( නාලිකා රාජපක්ෂ ) 2018-03-06 10:27:39
Comments - 0       Views - 456

ඔස්ටියෝ යන වචනය ඇසීමත් සමගම මේ නම් අස්ථි සම්බන්ධ කතාවක් බව ඔබට එකවරම සිතෙන්නට පුළුවනි. ඔවු ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදියි.  මෙය ඔබේ අස්ථි සම්බන්ධ ගැටලුවක්.  නමුත් මෙය තරුණ වයසේ අයට පමණක් ඇතිවන ගැටලුවක් බව කිවහොත් එය වඩාත් නිවැරදියි. අත පය වල වේදනා ගැන මැසිවිලි නගන්නේ වැඩිපුරම පාහේ වැඩිහිටියන් නමුත් තරුණ වයසේ අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනාවන් බොහෝ විට ඔස්ටියෝකොන්ඩ්‍රෝමා නිසා ඇතිවන්නක් විය හැකිද යන්න විමසීම ට අද සෞඛ්‍ය පිටුව තුළින් උත්සහ දරමු.


අතපය කැක්කුම් ඇතිවීම විවිධ හේතු නිසා සිදුවන්නට පුළුවන. ඇතැම්විටක වැරදි ඉරියව් හේතුවෙන්  එසේත් නැතිනම් නොගැලපෙන ඉරියව්වකින්  නිදා ගැනීම, ඉඳ ගැනීම , බරක් එසැවීම , ඇවිදීම වැනි දෑ  හේතුකොටගෙන  අස්ථි ආශ්‍රිත වේදනා මතුවන්නට පුළුවන.  එමෙන්ම සිරුරේ පිහිටීම ට නොගැලපෙන  උපකරණ භාවිතය නිසාත්  එවැනි තත්ත්වයක් මතුවිය හැකියි.  ඒ පිළිබඳව  තවත් පැහැදිලි කළහොත් , නොගැලපෙන පාවහන්, ආදිය අමතක කළ යුතු නොවේ.  

13023_2007_Article_103_Fig1_HTML copy   

මෙවන් තත්ත්වයක් ඇතිවූ විට බොහෝ දෙනා කරන්නට පෙළඹෙන්නේ  කිසියම් ආලේපනයක් ගල්වා පිරිමැද , හෝ සම්භාහනය කර එයින් යම් සහනයක් බලාපොරොත්තුවීමයි.  මාංශ පේශින් ඇදීයාමක් වැනි තත්ත්වයකදී මෙවැනි පිළිවෙත් තුළින් ඉතාම සුළු සහනයක් ලැබගන්නට හැකි වුවත් අභ්‍යන්තරය තුළින් මතුවන තීව්‍ර ගැටලුවකදී එවැනි ක්‍රියා තුලින් කිසිදා සහනයක් ලැබගන්නට නොහැකිය. මේ වේදනාවන් උළුක්කු සහ මාංශ පේශීන්  ඇදීයාම් හේතුවෙන් ඇතිවන වේදනාවන්ට වඩා වෙනස් බව පළමුවෙන්ම ඔබ දැන සිටිය යුතුය. සමහරෙක් අතපය කැක්කුම් ගැන පැමිණිලි කරන්නට පෙළඹෙනුයේ ක්‍රීඩාවක නිරතවීමෙන් පසු , කිසියම් කයවෙහෙසවා කරන ක්‍රියාවකින් පසු නම් එය අප මේ කියන්නට  සැරසෙන තත්ත්වයට කිසිදු අදාලකමක් නොදක්වන්නකි.  

අස්ථියක් ආසන්නයේ ඇතිවන මෙවැනි වේදනාවක් සමගම අස්ථියේ කිසියම් නෙරීමක්, වර්ධනයක් දකින්නට ඇත්නම්  එය තව දුරටත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ.  ඔස්ටියෝකොන්ඩ්‍රෝමා  වශයෙන් අප හඳුන්වන්නේ  ඔබේ අස්ථියක් ආශ්‍රිතව ඇතිවන වේදනාව සමග එම අස්ථියේ කිසියම් නෙරීමක් හෝ වර්ධනයක් ඇතිවීම නිසා මතුවන රෝගී තත්ත්වයයි.  කුඩා කළ සිටම හොඳින් පැවති අස්ථියක් ඇසුරෙන් තරුණ අයෙකුට හදිසියේම මෙවන් තත්ත්වයක් ඇතිවන්නට හේතුවූයේ කුමක්ද යන්න දැන් ඔබට මතුවිය හැකි ගැටලුක් වනු නියතය. මෙවන් තත්ත්වයක් මතුවන්නට හේතුවනුයේ කුමක්ද යන්න දැන් අප විමසා බලමු. ඔස්ටියෝකොන්ඩ්‍රෝමා තරුණ වයසේදී මතුවුවත්  එය ආරම්භ වනුයේ එක්වරම නොවේ.

ඇතැම් තරුණයෙකුට මේ තත්ත්වය ඇතිවීමට මුල පුරනුයේ ළමා කළ සිට විය හැකිය. කුඩා කළ අස්ථි වර්ධනය ආරම්භකළ කාලයේ දිග අස්ථීවල එනම් දෙපාවල අස්ථී වැනි දිග අස්ථීවල  අස්ථී කොටස් සහ කාටිලේජමය කොටස්  එක්වී සාමාන්‍ය අස්ථී වර්ධනය වන ආකාරයෙන් වෙනස්ව වෙන වෙනමම ආකාරයකට පිළියෙළ වීමට සහ වර්ධනයවීම ආරම්භ කරන අවස්ථාවේ  එය අස්ථීය තුළ වූ ගෙඩියක් ලෙස පිටතට පෙනෙන්නට පුළුවන.  මෙවැනි නෙරීමක් දුටුවහාම  එය තැවීම තෙල් ගැල්වීම, සම්භාහනය ආදී දෙය තුළින් නවතන්නට සමහරුන් උත්සහ දැරූවත්  එය පිටතින් යොදන ලද ආලේප ආදියෙන් නැවතිය හැකි රෝග තත්ත්වයක් නොවන බව මතක තබා ගන්න.

ostchfibfig3 copy

සමහරුන් ඒ නෙරීම මත  විවිධ තෙරපීම් යොදා වෙලා තැබීමෙන්  එය යටපත් කිරීමට වෙහෙසුණත්  එසේ කළ නොහැකිය.  එම නිසා එවැනි උත්සහයන්වල නෙයෙදී  මෙවැනි ආගන්තුක තත්ත්වයක් දුටු වහාම  ශල්‍ය සායන වෙත හෝ ශල්‍ය වෛද්‍යවරයා වෙත යොමුවීම වඩාත් ප්‍රතිඵලදායකවන බව සිහිතබා ගන්න.  දැන් අප මේ අස්ථීවල එන ගෙඩි වේදනාකාරී දැයි විමසා බලමු. ඔස්ටියෝකොන්ඩ්‍රෝමා යන තත්ත්වයේදී මතුවන ගෙඩි වල වේදනාවක් නොදැනෙන නමුත් එසේ වේදනා රහිත යැයි ඇතමෙකුට නොසිතෙන්නට හේතුවන කාරණයක්ද තිබේ.  ඇතැම්විටක මේ අස්ථීවල මතුවන ගෙඩි පිටතට නෙරා ඒමේදී මස්ගොබ සහ කණ්ඩරා යනාදිය  ඒ මත තෙරපීම නිසා එයින් වේදනාවක් දැනේ යැයි දැනෙන්නට ඉඩ තිබේ.  

නමුත් වේදනාවක් ඇතිවන්නට බලපාන එකම කාරණයද මේ මස්ගොබ හා කණ්ඩරා නිසා මතුවන තත්ත්වය පමණක් නොවේ.. මේ අස්ථියේ මතුව පිටතට නෙරා එන ගෙඩිය අවට පිහිටා ඇති ස්නායු නිසාද මේ කියන තත්ත්වය ඇතිවිය හැකිය .ගෙඩියේ නෙරා ඒම නිසා ස්නායු මත තෙරපුමක් ඇතිවීමද එයින් යම් වේදනාවක් ඇතිවෙන්නා ලෙසින් දැනීමට ඉඩ තිබේ. ඇතමුන් වේදනාවක් නොදැනුණද ඒ ගැන කලබලයට පත්වෙන අවස්ථා තිබේ. ඒ සමාජගතව පවතින යම් යම් මත හේතුවෙනි. කිසියම් ගෙඩියන් සෑදී ඇති විටක එයින් වේදනාවක් මතු නොවන්නේ නම් එය පිළිකාවක ලක්ෂණයක් විය හැකිය යන්නයි ඒ.

නමුත් මෙම ගෙඩි සෑමවිටම පිළිකාවක් නොවේ. නමුත් කලාතුරකින් එසේ වීමට ඉඩක් පවතින බව සත්‍යයකි.  බොහෝ විට තරුණයෙකු වඩාත් කලබලයට පත්වනුයේ මෙයින් ඇතිවන වේදනාව පිළිබඳ නොවන්නට ඉඩ තිබේ.   මන්ද පාදයේ මෙවැනි නෙරීමක් ඇතිවුවහොත් එයින් භාහිර ස්වරූපයට යම් අවලස්සනක් මතුවේ යැයි දැනෙන්නට ඇති ඉඩ කඩ නිසාය.  එවන් කැපී පෙනෙන ආකාරයේ අවලස්සනක් නොමැති වුවත් එයින් අවලස්සනක් මතුවේ යැයි යන සැකය තරුණයෙකුට වඩාත් දැනෙන්නට ඉඩ තිබේ. බොහෝ විට එම සැකයට හේතුවනුයේ මේ ගෙඩි එන්න එන්නම විශාලවේ යැයි  ඔවුන් තුළ මතුවන සැකයයි. 

මේ ගෙඩි ඇතිවීමට හේතුව අප මුලදී සඳහන් කළෙමු. එය අස්ථී වැඩීම සමග ආරම්භවන්නකි. නමුත් අස්ථී වැඩීම හැමදාම සිදුවන්නේ නැත.  අස්ථී වැඩී අවසන් වූ පසු මේ ගෙඩි තව දුරටත් විශාල නොවීම මේ සම්බන්ධයෙන් පවතින සත්‍යයි. එනම් අවුරුදු විස්ස වැනි වයස පසු කරන විට තව දුරටත් මේ ගෙඩි විශාල වේ යැයි බියපත් වීම අවශ්‍ය නොවන්නේ ඒ වන විට අස්ථී වැඩීම අවසන්ව පවතින බැවිණි.  එහෙයින් මේ රෝගය සම්බන්ධයෙන් කිසියම් තරුණයෙකු භාහිර ස්වරූපය ගැන කලබලයට පත් විය යුතු වනුයේ අස්ථී වැඩෙන කාලයේ එයින් ඇතිවන වර්ධනය කෙතරම් වේද යන්න පිළිබඳව මිස අස්ථී වැඩීම අවසන්ව ඇති විට එය තවත් විශාල වේ යැයි යන්න පිළිබඳව නොවේ.

අප බොහෝ දෙනා කිසියම් වේදනාකාරී තත්ත්වයක් ඇති වූ වහාම උත්සහ දරනුයේ කුමන හෝ ආකාරයක වේදනා නාශකයක් පානය කිරීමෙන් ඒ වේදනාව සමනය කර ගනීමටයි.දැන් ඔබ සිතන්නේ කුමක්ද ? ඔස්ටියෝකොන්ඩ්‍රෝමා නිසා ඇතිවන වේදනාවත් ඔබට වේදනා නාශක මගින් සුවකර ගත හැකි බවද? නැත මේ සඳහා කිසිවිටෙකත් වේදනා නාශක ආලේපන හෝ වේදනා නාශක ආලේපන වර්ග ප්‍රමාණචත් නොවේ. වේදනා නාශක භාවිතාකරමින් සහනය සොයමින්  මෙවන් තත්ත්වයක් නොසලකා හරින්නට බැරි ඇයිද යන්න  දැන් අප තව දුරටත් විමසා බලමු.   ඉතාම කලාතුරකින් නමුත් ඔස්ටියෝකොන්ඩ්‍රෝමා යන තත්ත්වය  පිළිකාවක් බවට පරිවර්ථනයවීමට පවතින කුඩා ඉඩ කඩ මුලදීම නවතාගන්නට කටයුතුකිරීම  වඩා නුවණැති ක්‍රියාවයි. 

osteochondroma44 copy

මෙවන් තත්ත්වයක් ඔබේ දරුවෙකුට හෝ හිතවතෙකුට පවතින්නේ නම් වහාම එම තැනැත්තාව ශල්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමු කරන්නට වග බලාගන්න. එයින් අප මුලින් කී කලාතුරකින් නමුත් ඇතිවීමට ඉඩ ඇති  පිළිකා අවදානම  කළින්ම නවතාගන්නට අවස්ථාව උදාවෙයි.එමෙන්ම සමහරෙකුගේ සිරුරේ මේ ඔස්ටියෝකොන්ඩ්‍රෝමා ගෙඩි එකකට වඩා පැවතීමටද ඉඩ තිබේ. එසේ මෙවන් ගෙඩි රාශියක්ම පවතී නම් ඒ ගැන වැඩි අවදානයක් දැක්වීම ඉතාම අවශ්‍යය. තවත් සමහරෙකුට මෙය උපතින්ම ඇතිවන තත්ත්වයක් ලෙස පැවතිය හැකිය. එය අප බහුල වශයෙන් පිළිකා තත්ත්වයක් ඇතිවීමට බලපෑ හැකි හේතුවක් ලෙස සලකනු ලබන්නේ එවන් ලක්ෂණ පැවති බොහෝ දෙනෙකුට එම පවුලේ එවැනි පිළිකා සෑදී තිබෙනු  දැකගත හැකි නිසයි.

එම නිසා ඉවත් කිරීමට හැකි තැන්වල මතුවන මෙවැනි ගෙඩි සැතිකමකින් ඉවත්කර ගැනීම වඩාත් සුදුසුවනුයේ එවන් ගෙඩි රාශියක් පැවතෙන්නට ඉඩහැරිය විට එයින් මතුවන පිළිකා අවදානම සලකා බලමිණි.  සාමාන්‍යෙයන් අවුරුදු විස්සකට අඩු පිරිස් අතර අස්ථිවල ඇතිවන පිළිකා බහුලවශයෙන්  මතුවන්නේ ඔස්ටියෝකොන්ඩ්‍රෝමා තත්ත්වය  හේතුකොටගෙන බව පැවසිය යුතුව තිබේ. එහෙත් ශරීරයේ බොහෝ අස්ථිවල මෙවැනි ගෙඩි හටගෙන ඇති අවස්ථාවක  ඒවා ඉවත් කිරීම බොහෝ අපහසු ක්‍රියාවක් බැවින් භාහිර පෙනුම අවලස්සන කරන සහ ඉතාම විශාලව පෙනෙන්නට ඇති ඒවා ඉවත් කිරීමට කටයුතු යොදනු ලබන අතර  මෙවැනි අයින් නොකළ ගෙඩි සහිත පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණයන් යටතේ තබා  සුපරික්ෂාවෙන් පසුවනු ඇත. 

මෙම ශල්‍යකර්මය අස්ථියෙන් කොටසක් කපා සිදුකරනු ලබන ශල්‍යකර්මයකි.  ඉතා හළ පිරිසුදුකමක් සහිතව ආසාදන ඇතිවීමට කිසිදු ඉඩකඩක්  නැති ශල්‍යාගාරයක මෙම සැත්කම සිදුකෙරෙයි.  මෙම ගෙඩි ඉවත් කළ පසු නැවත එම ස්ථානයෙන් ගෙඩි මතුවන්නේ දැයි ඔබට පැණයක් මතුවන්නේ නම්  එය සාධාරණය. නැත ,  එසේ ඉවත් කළ ස්ථානයෙන් නැවත ගෙඩි මතුවීමක් නැත. නමුත් සිරුරේ වෙනත් ස්තානයක  මෙවැනි ගෙඩි පැවතිය හැකිය. එහෙත් එය ශල්‍යකර්මයේ  ප්‍රතිඵල ලෙස මතුවන්නක් නොවේ.  විශේෂයෙන්ම පසු සංකූලතා අඩු  මේ ශල්‍යකර්මයේදිත් හිමටෝමා  වශයෙන් හඳුන්වන  ලේ කැටියක් ඇතිවීම ඉතා කුඩා සංකූලතාවයක් ලෙස  මතුවිය හැකිවුවද, එයද විද රුධිරය ඉවත්කළ හැකි ක්‍රමයක්  පවතින නිසා වැඩි සංකූලතාවයක් ඇති නොකරයි. මේ තත්ත්වයට සමාන තවත් ගෙඩි වර්ගයකි අයිවරි ඔස්ටියෝමා  යන ගෙඩි විශේෂය. 

මේ ගෙඩි බහුලව දැකිය හැක්කේ හිස්කබලේය. ඔළුවට අත තබන විට  හිස්කබලේ  අසුවන ගැටයක් වැනි මේ ගෙඩි නම් පිළිකා අවදානමක් නොදරයි.  මේවාත් ශල්‍ය කර්මයක ආධාරයෙන් ඉවත් කළ පසු  මෙයින් මතුවන අපහසුතාව හෝ අවලස්සන  ඉවත් කළ හැකිය.  කිසියම් ගැටිත්තක් හෝ  ගෙඩියක් පිළිකාවක්ද  නැතිනම් වෙනයම් තත්ත්වයක්ද යන්න දැනගැනීමට නිසි වෛද්‍ය පරීක්ෂණ අවශ්‍යය.  ඔබගේ අස්ථියේ පවතින එවැනි නෙරීමක් ඔස්ටියෝකොන්ඩ්‍රෝමා ද නොඑසේනම්  පිළිකාවක්ද යන්න නිශ්චිතව දැන ගැනීමට  ඝල්‍ය වෛද්‍ය පරීක්ෂාවකින් පසු සිදුවිය යුත්තකි.  කෙසේවෙතත් එවැනි ගැටලු කඩිනමින් විසඳා ගැනීම කල්පසුකරනවාට වඩා නුවණට හුරුය.  

20316tn copy

ඔස්ටියෝකොන්ඩ්‍රෝමා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :