පක්‍ෂ, පාට එකතු වෙලා ජනතා සංවිධානයක් හදාගෙන පළාත් පාලන ආයතනවලින් වැඩ කරගන්න අභියෝග කරන්න
( චාමර සම්පත් ) 2018-02-26 09:32:30
Comments - 1       Views - 532

රටක් ඉදිරියට යෑමට නම්, රට තුළ දේශපාලන ස්ථාවරභාවය අනිවාර්යය සාධකයකි. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව රට තුළ දේශපාලන ස්ථාවරයභාවය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න ඇති වූ බව පෙනෙන්නට තිබේ. මෙය රටට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ හා ඉදිරිය කෙසේ විය යුතුද යන්න පිළිබඳ සකච්ඡා කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා 'අද'ට සම්බන්ධ කර ගතිමු.


Dr.P.Mahanamahewa-263x263

ආණ්ඩුව දුන් පොරොන්දු

2015 ජනවාරි 08 වැනිදා ‍ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පත් වුණා, ප්‍රතිඥා දුන්නා. එහි පළමු ප්‍රතිඥාව තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වීම. ඒ වගේම හොරුන්, දූෂකයෝ අල්ලනවා වගේ පොරොන්දු රාශියක් ජනතාවට, සිවිල් සංවිධානවලට ලබාදීලා තමයි මේ යහපාලනය බලයට පත් වුණේ. ඊළඟ අගෝස්තුවේදී මැතිවරණ ඇවිත් මහමැතිවරණයත් යහපාලන ආණ්ඩුව ජයග්‍රහණය කළා. එදායින් පසුව එන්න තිබුණු පළාත් පාලන ආයතන මැතිවරණ දින නියමයක් නොමැතිව කල් දැම්මා. ප්‍රධාන වශයෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය අමතක කරලා ප්‍රාදේශීය සභාවක ලේකම්වරයාට හෝ කොමසාරිස්වරයාට වගකීම් පවරලා ඇස් පියාගෙන හිටියා.

ඡන්ද පිපාසයක ජනතාව හිටියා

මේ නිසා ජනතාව දැඩි ඡන්ද පිපාසයක හිටියා. ජනතාවට නිදහස නෙවෙයි අවශ්‍ය ඡන්ද. නිදහසේ දෝංකාරය තිබුණට වැඩක් නැහැ අපට කන්න නැත්නම්. බණ දේශනා කරන්න ඕන කාල ඉවර වෙලා කියලා බුදුහාමුදුරුවෝ වුණත් කියලා තියෙනවා.
ප්‍රාදේශීය මට්ටම අන්තිම බිංදුවට වැටිලා තිබුණේ. ගොවිතැනට ඉඩක් නැහැ. ඒ වගේම හස්ත කර්මාන්ත විකුණාගන්න විදියක් නැහැ. ගොවීන් වස බීලා මැරෙනවා. ණය අරගන්නවා. ප්‍රාදේශීය ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නවා. දරුවන්ට අනාගතයක් නැති තැනට පත්වෙලා තිබෙනවා. මේ වගේ විශාල ප්‍රශ්න රාශියකින් වෙලී ඉන්න අවස්ථාවක තමයි පාර්ලිමේන්තුවේ සියලු විපක්‍ෂ කණ්ඩායම් සටන් කරලා මේ ඡන්දය ලබාගත්තේ. ඒ අනුව මේ මැතිවරණය  පැවැත්වුවේ වසර තුනකටත් වඩා පසුවෙලා.
මේ වගේ ඉරණමක් තමයි සිරිමාවෝ බණ්ඩාරනායකටත් අත්වුණේ. 1975 පවත්වන්න තිබුණු ඡන්දය පැවැත්වුවේ 1977දී. අවසානයේදී ආසන 08ට පසුබැස්සා. ඡන්ද කල් දැමීමේ විපාකය ඒකයි. අපි දන්නවා ජනමත විචාරණයක් තියලා 1983දී පාර්ලිමේන්තුවේ බලය අරගෙන මොකද වුණේ කියලා. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවේ කාලය වසර 05කට වඩා දික්කර ගත්තා. අවසානයේදී රට ලේ විලක් බවට පත්වුණා. ජනතාව සටන් කළා. මෙවැනි ප්‍රතිඵල දැන දැනමයි ආණ්ඩුව ඡන්ද කල් දැම්මේ. මේ කල් දැමීමේ සම්පූර්ණ වගකීම දරන්න ඕන පළාත් පාලන ඇමතිවරයා. 

අලුත් ඡන්ද ක්‍රමය

ඒ වගේම අලුත් ඡන්ද ක්‍රමය ගැන හරි සන්තෝෂයෙන් හැමෝම රටට කිව්වා. මේ ඡන්දය නිරීක්‍ෂණය කරන්න රටවල් 04ක් ආවා. නමුත් ඡන්ද ප්‍රතිඵල පවා ප්‍රමාද වුණා. අදටත් පළාත් පාලන ආයතන පිහිටුවා ගන්න බැරිව ඉන්නවා. මාර්තු 06 වැනිදා වන විට වත් පළාත් පාලන ආයතන පිහිටුවා ගන්න බැහැ. මැතිවරණ කොමිසම අද ආතතියට පත්වෙලා.  

පළාත් පාලන මැතිවරණය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන කියලා කියන්නේ ප්‍රාදේශීය ආණ්ඩු. මේවායේ නම ප්‍රාදේශීය ආණ්ඩු. අපි මේ ගැන හොඳින් තේරුම්ගත යුතුයි. ප්‍රාදේශීය ආණ්ඩු කියන්නේ ප්‍රදේශයේ තිබෙන මූලික අවශ්‍යතා දැන හඳුනාගෙන ඒ ප්‍රදේශය තුළ ආර්ථික, සමාජීය, සංස්කෘතික සංවර්ධනය සිදු කරන ආයතනයි. 1983 ප්‍රාදේශීය සභා පනත සහ 1979 මහ නගර සභා පනත කියන පනත් දෙක ඒ සඳහා තිබෙනවා. නමුත් දැන් ප්‍රශ්නය මතුවෙලා තිබෙන්නෙ ඒක නෙවෙයි.
කුමන තත්ත්වයක් යටතේ හෝ පළාත් පාලන ඡන්දය පැවැත්වුවා. නමුත් වේදිකාවේදී මතුවුණේ පළාත් පාලන ආයතනවල හඬ නොවෙයි. සියලුම ප්‍රධාන පක්‍ෂ කියපු දේවල් අපට මතකයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා, එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, පොදුජන පෙරමුණේ නායකයා කියපු දේවල් අපට හොඳට මතකයි. 

ජනාධිපතිවරයා

කනගාටුම දේ ලංකාවට ජනාධිපතිවරයෙකු පත්වෙන්නේ පක්‍ෂයකට නෙවෙයි. ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැහැ එක් පක්‍ෂයකට විතරක් පෙනී සිටින්න. ජනාධිපතිවරයා ආවේ සියලුම දෙනාගේ ඡන්දයෙන්.  
ජනාධිපතිවරයා කියපු දේවල්වලට මොකද වුණේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරය බාල්දුම කරලා දැම්මා. අගමැතිව සිය අභිමතයෙන්ම ඉවත් කර ගන්න බැරිව අදටත් ජනාධිපති ප්‍රශ්නයක ඉන්නෙ. මේ සියලු දෙනා උගුලක පැටලිලා ඉන්නෙ. අද වෙනකම් උගුල ලිහලා නැහැ. කැබිනට් සංශෝධනයත් දිගින් දිගටම කල් ගියා. කෝ දැනෙන වෙනස, කෝ කසය කියලා ජනතාව ප්‍රශ්න කරන්න පටන් අරගෙන තිබෙනවා. කිසිදෙයක් නැහැ, මේ සියල්ලම බල අරගල.
ජනාධිපතිවරයා මේ හැම දෙයක්ම වරද්දා ගත්තේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා. තමන්ගේ ධුර කාලය වසර 05ද, 06ද, කියලා ජනාධිපතිතුමා ඇහුවා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ වසර 05යි කියලා. ජාතික ආණ්ඩුවක් තියෙනවාද නැද්ද කියලත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ගිහිල්ලා යන්තම් ඒක නවත්වාගෙන තියෙනවා. මේ වැරදි උපදෙස් නිසා ජනාධිපතිවරු අමාරුවේ වැටෙනවා. මේක හරිම දුකයි, කනගාටුයි.
බලයට තිබෙන කෑදරකම නිසා මේ කවුරුත් ප්‍රාදේශීය ආණ්ඩු ගැන හිතුවේ නැහැ. ඔවුන් සියලු දෙනා කිව්වේ ගම සංවර්ධනය කරන්න ආණ්ඩුවට බලය දෙන්න කියලා. පොදු ජන පෙරමුණ කිව්වා මේක ජනමත විචාරණයක් කර ගන්න කියලා. මේ වගේ විවිධ අය විවිධ දේ කිව්වා. නමුත් ජනතාව රිදෙන්න උත්තරයක් දුන්නා. දේශපාලඥයෝ අද වන විටවත් ඒක සතපහකට ගණන් අරගෙන නැහැ. පළාත් සභා ඡන්ද කල් දැම්මොත් සිදුවෙන්නෙත් මේ දේමයි.

ඡන්දෙ ඉවරයි - ඉදිරිය ගැන සිතිය යුතුයි

දැන් ඡන්ද තියලත් ඉවරයි. ප්‍රතිඵල ඇවිල්ලත් ඉවරයි. ඉදිරි ගමන ගැන කතා කරන්න තිබෙන්නෙ. අද මූලික ගැටලු ගණනාවක් මතුවෙලා තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසයේදී මම ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප්ට බලය තිබෙන ප්‍රධාන ප්‍රාන්තවල සැරිසැරුවා. එහේ ඉන්න ගොඩක් ව්‍යාපාරිකයෝ මට හමුවුණා. ලංකාවේ තිබෙන්නේ ජාතික රජයක් කියලනේ කියන්නේ. ජාතික රජයක් පිහිටු වූයේ ඇයි කියලා ඔවුන් අහනවා.  ලෝකයේ ජාතික ආණ්ඩු පිහිටුවලා තිබෙනවා. එහෙම පිහිටුවන්නේ යුද්ධකින් පසුව, එහෙම නැත්නම් ජාතික ව්‍යවසනයකදී. ජාතික ආණ්ඩු පිහිටුවන්න තිබුණේ අද නෙවෙයි. මීට ගොඩක් ඉස්සර යුද්ධ කාලයේ. අද ජාතික රජයක්  අවශ්‍ය නැහැ.  මේ වෙද්දි කිසිම ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. ඒ ඇයි ආණ්ඩුව මේ වෙලාවේ එකක් කියනවා, ටික වෙලාවකින් තව එකක් කියනවා. දැන් ජනාධිපතිතුමා කියනවා වයිෆයි, ටැබ් නෙවෙයි දෙන්න ඕන පොහොර සහනාධාරය ලබාදිය යුතුයි කියලා. අධ්‍යාපන ඇමතිතුමා කියනවා මේක නැවැත්තුවේ තාවකාලිකව කියලා. මේ වගේ සිදුවීම් නිසා ජනාධිපතිද හරි, අගමැතිද හරි කියලා විදේශ ආයෝජකයෝ බලනවා. මේ කුලල් කාගැනීම අපට හොඳයි නමුත් ජාත්‍යන්තරයට පෙනෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. කුමන පක්‍ෂයක් බලයේ හිටියත් ස්ථාවරභාවයක් තිබෙනවා නම්, අයෝජකයෝ එනවා. හොඳම උදාහරණය තමයි වියට්නාමය. ඇමෙරිකන් ආයෝකයෝ යන්නේ වියට්නාමයට.  ඒ මොකද වියට්නාමයේ තිබෙන්නේ සමාජවාදී ආණ්ඩුවක්. නමුත් දේශපාලනයෙන් ඔවුන් ස්ථාවරයි. ඉදිරිය බොහොම ස්ථාවරයි. චීනයේ ආණ්ඩුව ස්ථාවරයි. අපේ තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් යැයි කියාගන්නා ආණ්ඩුව ස්ථාවරද? ජතික ආණ්ඩුව හැදුවට පස්සේ මේ රට දිනෙන් දින ප්‍රපාතයට ගියා. අද ඩොලර් එක කීයද? රට ගැන උනන්දුවක් නැහැ කාටවත්. නමුත් ජනතාව මේ රඟපෑම දැකලා තියෙන්නේ.

කැබිනට් වර්ජනය - රට පස්සට

ඒ වගේම කැබිනට් ඇමතිවරු කැබිනට් වර්ජනය කරලා රට දින 12ක් පිටුපස්සට යනවා කියන්නේ දින 200ට වඩා රට පස්සට ගියා කියන දේ. රටේ පැය 24 රටට කොතරම් වටිනවාද? ඇයි මේ පාලකයෝ ඒ ගැන නොසිතන්නේ. ජනාධිපතිතුමා කලබල වෙන්න ඕන නැහැ. ඡන්දෙන් පසුව වුණත් මේ කැබිනට් මණ්ඩලය මේ විදියටම පවත්වාගෙන යන්න ජනාධිපතිතුමාට තිබුණා. නමුත් ඒක අරාජිත කරගත්තෙත් මේ අයමයි. ඇයි මේ කලබල වෙන්නේ. බල අරගලය නිසාමයි එහෙම කර ගත්තේ. මේ කලබලය නිසා රට සම්පූර්ණයෙන්ම ආපස්සට ගියා.
ප්‍රාදේශීය ආණ්ඩු හදන විට ජනතාව එකතු විය යුතුයි, ඔවුන් පළාත් පාලන ආයතනවලට ගොස් තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත්ව ඒ වෙනුවෙන් වෙහෙසෙන්න. අපි ප්‍රාදේශීය ආණ්ඩු පිහිටුවා ගන්නේ ගම, පාරවල්, කුඹුරු ආදිය සංවර්ධනය කරගන්න. නමුත් අද සටන් පාඨය වෙලා තිබෙන්නේ ජනතා විරෝධය. සාමාන්‍යයෙන් ජනතාව පළාත් පාලන ආයතනවල බලය දෙන්නේ පවතින රජයට. නමුත් මෙවර එය වෙනස් වුණා. ප්‍රථම වතාවට බලයේ ඉන්න ආණ්ඩු පරද්දලා ආණ්ඩු පිහිටුවලා තිබෙනවා. මේ වන විට රට සියලු අතින් අස්ථාවර වෙලා තිබෙනවා. දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, ව්‍යවස්ථාව වශයෙනුත් අස්ථාවර වෙලා තිබෙනවා. මේ නිසා ලංකාවට ආයෝජකයෝ එන්නේ නැහැ. 
මේ සියලු කාරණා නිසා ස්ථාවර රජයක් පිහිටුවීමේ අවශ්‍යතාව තිබෙනවා. එය කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. සියලු දේවල් විසුරුවලා දාලා පාර්ලිමේන්තුවේ වැඩිම බහුතරය තිබෙන කෙනා අගමැති කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. එය ඉන්න කෙනාම වුණත් ගැටලුවක් නැහැ. වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ස්ථාවර ආණ්ඩුවක් ඇති කර ගැනීමයි වැදගත් වෙන්නේ.
ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් හතරක් ඉන්නවා. මැතිවරණය පරාද වීමත් සමගම ඔවුන් ජනාධිපති, අගමැති හමුවුණා. ඔවුන් ඉල්ලීමක් කළා ආණ්ඩුව ගෙනියන්න කියලා. අවසානයේදී චීනයත් ඒ බව කිව්වා. ඒ නිසා විදේශ බලවේග මේ රජය මෙහෙයවනවා කියලා ඉතාම පැහැදිලියි. ලෝක බැංකුව‍, ආසියානු සංවර්ධන බැංකුව, මූල්‍ය අරමුදල වගේ සංවිධානය තමයි අද ආණ්ඩුව මෙහෙයවන්නේ.

ජනතාව ගැන හිතන්න

අද විශේෂ මහාධිකරණ පිහිටුවන්න කලින් පාරිභෝගික උසාවි ඇති කළ යුතු තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අද වන විට පාරිභෝගිකයෝ කොච්චර දුක්විඳිනවද මේ රටේ. ගොවීන් කොච්චර දුක් විඳිනවද? වහාම මේ දේවල් විසඳිය යුතුයි. වහාම රටේ හදිසි ව්‍යවසනයක් බවට ප්‍රකාශයට පත්කරලා රට ගොඩනගන්න කටයුතු කරන්න.
පළාත් පාලන ආයතනවලට ඒ විදියටම යන්න ඉඩ දිය යුතුයි. එකතු වෙලා ආණ්ඩු පිහිටුවන්නේ ඇයි? මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන දේශපාලඥයෝ. 
දේශපාලනය අමතක කරන්න. සියලු පක්‍ෂ, පාට එකතු වෙලා ජනතා සංවිධානයක් හදාගෙන පළාත් පාලන ආයතනවලින් වැඩ කරගන්න අභියෝග කරන්න. තොරතුරු දැනගැනීමේ පනතත් ඒකට උදවු කර ගන්න කියලයි මට ජනතාවට කියන්න තියෙන්නෙ. 

පක්‍ෂ, පාට එකතු වෙලා ජනතා සංවිධානයක් හදාගෙන පළාත් පාලන ආයතනවලින් වැඩ කරගන්න අභියෝග කරන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Siva on (2018-02-26 00:03:59)

Obathumage adhas walata garukarmi, ahema unoth obathuma kiyana widihata wada karagena yanna puluwan

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :