මහනුවර අපරාජිතවම ශූරතාව රැගෙන යයි
( ඔෂිත වරකපිටිය ) 2018-02-13 13:00:04
Comments - 0       Views - 182

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිත බව රැකගනිමින් කුසලානය තමන් සන්තකයට ගැනීමට ප්‍රබල මහනුවර කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ මහනුවර නිත්තවෙළදී හැව්ලොක්ස් සමග පැවැති අවසන් තරගයෙන් ලකුණු 30-28 ක තියුණු ජයක් හිමිකර ගනිමිනි.

කෙසේ වෙතත් අවසන් සතිය දක්වාම තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් තරග කළ හැව්ලොක්ස් කණ්ඩායමෙන් අවසන් තරගයේදී මහනුවරට දැඩි අභියෝගයක් එල්ල වීම කැපී පෙනුණි.

තරගාවලිය නිමා වීම සති ගණනාවකට පෙර ප්‍රසාද ලකුණු සටහනට අනුව ශූරතාව දිනා සිටි මහනුවර ක්‍රීඩකයන්ට මෙම තරගයේ ප්‍රතිඵලයෙන් සිය කුසලානය රැක ගැනිමේ කිසිදු අවශ්‍යතාවක් නොවූ අතර අපරාජිත බව රැකගැනීමට පමණක් එය වැදගත් විය.

නමුත් ආරම්භයේ පටන් පීඩනය හැව්‍ලොක්ස් කණ්ඩායමේ කර මත පැටවූ මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය නිමා වනවිටදීම ලකුණු 22 ක් රැස් කළේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණුක් ලබාගැනීමට ඉඩක් ලබා නොදෙමිනි.

නමුත් පළමු අර්ධයේ මෙන්ම පහසුවෙන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස් කිරීමට මහනුවරට, හැව්ලොක්ස්ගෙන් ඉඩක් නොලැබුණු අතර හැව්ලොක්ස් ලකුණු 28 ක් රැස් කරද්දී මහනුවරට රැස් කිරී‘මට ලැබුණේ ලකුණු 8 ක් පමණි. කෙසේ වෙතත් තරගයේ අවසන් ලකුණු සටහනට අනුව ජයග්‍රහණය මහනුවරට හිමිවිය.

සමස්ත තරගයේදී මහනුවර කණ්ඩායමෙන් ගෝල දිනුම් 4 ක් හා ප්‍රවර්තන තුනක් වාර්තා විය. හැව්ලොක්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව උත්සාහක දිනුම් 4 ක් හා ප්‍රවර්තන 4 කින් සමන්විත විය.

මෙම තරගයේ ප්‍රතිඵලයත් සමගින් තරගාවලියේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් නාවුක හමුදා හා සී.එච්. කණ්ඩායම් අතරේ බෙදී ගියේය.

පසුගිය වසරේ (2017) නොවැම්බර් 03 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය සති 14 ක් පුරා ලීග් ක්‍රමයට පැවැත්වූ අතර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම කටයුතු කළේය.

මේ අතර ශ්‍රී ලංකා රග්බි පිටියේ අතිදක්ෂ ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මහනුවර කණ්ඩායමේ ෆාසිල් මරීජා ක්‍රීඩකයෙකු ලෙස අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගීවූ අවසන් තරගය මෙය වූ අතර, මෙහිදී ඔහු උත්සාහක දිනුම් 3 ක් අඛණ්ඩව වාර්තා කිරීම විශේෂත්වයකි. හෙතෙම එළඹෙන 16 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් අනතුරුව රග්බි ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

Champions Image Champs Image Fazil IBA_5199 P1040454

ඡායාරූප- මොහොමඩ් ආෂික්, ඉන්ද්‍රරත්න බාලසූරිය

මහනුවර අපරාජිතවම ශූරතාව රැගෙන යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :