අපිට හදිස්සියක් නැහැ හැබැයි ජනතාවට හදිස්සියි
( . . ) 2018-02-13 10:37:15
Comments - 2       Views - 1188

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (12දා) පැවැත්විණි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ හිටපු ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.


AID_1699

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ආණ්ඩුවක් පිහිටුවන්න ඔබතුමාගේ සූදානමක් තියෙනවාද?

ආණ්ඩු පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙන්න ඕන නම් එක්සත් ජාතික පක්ෂයටයි, ආණ්ඩුවටයි විරුද්ධව මැතිවරණවලට අපි තරග කරන්න ඕන නෑ. අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ඕන මැතිවරණයක් තියලා. දැන් දෙපාර්ශ්වයම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙයවූයේ මම ඇතුළු මා වටා ඉන්න පක්ෂ නායකයන්. වෙන කවුරුවත් නෙමෙයි. අපි 96ක් දිනුවා. ඉන් පස්සේ වරමක් නැතිව තමයි මේ අය ආණ්ඩු පක්ෂයට බැඳුණේ.  අපි විපක්ෂයට ගියාම විපක්ෂ නායකකම, විපක්ෂයේ සංවිධායකකම  අපෙන් උදුර ගත්තා. විපක්ෂයේ කතා කරන්න තියෙන වෙලාවත් අපෙන් උදුර ගත්තා. අපට අවස්ථාවක් දෙන්නෑ. දැන් මේ රටේ ජනමතයක් දීල තියෙද්දී මෙම විකෘති තත්ත්වය කථානායකවරයා විසින් වහාම වෙනස් කරන්න ඕන. ආණ්ඩුකාරයා යටතේ මාස තුනකට වඩා තියෙන පළාත් සභා තුන වහාම තියන්න කියලා අපි ඉල්ලනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින ජනතාවගේ ස්ථාවරය මෙවර මැතිවරණයෙන් පැහැදිලි වුණා. දැන් ඔබතුමාට එම පක්ෂයේ සභාපතිකම දුන්නොත් බාරගන්නවාද?

ඒක ගැන මා වටා සිටින කට්ටිය තමයි තීරණය කරන්න ඕන. ඒ සියල්ල තීරණය කරන්න ඕන පක්ෂය. මම දන්න සිරිසේන නම් එහෙම දෙන්නෙ නැහැ.

පසුගිය කාලයේදී ඔබතුමාට චෝදනා එල්ල වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරනවාය කියලා?

රටේ ජනතාවගේ සාමාජිකත්වය අපිට තියෙනවා නම් තවත් මොකටද බෝඩ් ලෑලි. ඩාර්ලි පාරේ තියෙන ගොඩනැගිල්ලවත්, බෝඩ් ලෑල්ලවත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ. ප්‍රතිපත්ති පමණයි.
ඇති වී තිබෙන ජනමතයත් එක්ක 

ශ්‍රීලනි ප 96 දෙනා එකතු කරගෙන වත්මන් ආණ්ඩුවට බලපෑම් කරන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා නේද?

ඊට වඩා හොඳයි මැතිවරණයකට මුහුණ දීලා ජනතාවගේ තීරණයට මුහුණ දෙන එක. අපිට වැඩක් නැහැ කුමන්ත්‍රණ කරලා, අරහෙන් මෙහේට ඔළුගෙඩි අරගෙන පැනලා, ඉඳිආප්ප හරි මොනවා හරි කාලා ආණ්ඩු පිහිටුවන්න. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණයකදී ජනතාව තීන්දුවක් දෙනකම් අපිට ඉන්න පුළුවන්. අපිට එහෙම හදිස්සියක් නැහැ. හැබැයි ජනතාවට හදිස්සියි. ඒක හින්දා තමයි අපි මහ මැතිවරණයක් ඉල්ලන්නේ.

 පළාත් පාලන ආයතනවල සභාවල් පිහිටුවද්දී අනෙකුත් පක්ෂවල සහාය  ලබාගන්නේ කොහොමද?

ඒකට හුඟක් අය එකතු වේවි. තොණ්ඩමන් මහත්තයා එකතුවෙලා දැනටමත් පිහිටුවන්න සූදානම් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පැමිණියහොත් බාරගන්න සූදානම්ද?

ඒ කිසි කෙනෙක් ඇවිත් මාත් එක්ක කතා කළේ නැහැ. ඒකනේ එහෙම එකක් නෑ කියල මම බය නැතිව කියන්නේ. හුඟක් අය මගේ ළඟට එන්න කැමති නැහැ. ඒ කට්ටියට අමාරුයි. මොකද ජනතාව තීන්දුවක් දීල තියෙනවා.

පොදුජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් පත් කරන්නේ කොහොමද?

අපි ඒ ගැන සාකච්ඡා කරල තීන්දුවක් ගන්නවා. බහුතරයේ කැමැත්ත අනුව ඒ ඒ ප්‍රදේශවලට සුදුසු අය අපි බාර දෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සභාවල බලය පිහිටුවීමට උත්සාහ කළොත් මොකද කරන්නේ?

එහෙම කරන්න පක්ෂ නායකයන්ට පුළුවන් වේවි. නමුත් ජනතාව ඒකට කැමති නැහැ. මම හිතන්නේ දිනපු අයවත් කැමති වෙන එකක් නැහැ. මොකද එයාලා දන්නවා ගමේ තියෙන ජනමතය, හදගැස්ම මොකද්ද කියලා. එහෙම දේශපාලඥයෝ ඉන්න තැනක ඉහළ මට්ටමට ඒක නොදැනුනත් පහළ මට්ටමට ඒක හොඳට දැනෙනවා. එයාලා ඒ තීන්දුව ගනීවි කියලා මම හිතන්නෑ. ඒ නිසා එයාලා නිතරම බලයි අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.

එක්සත් ජාතික පක්ෂය දෙමළ සන්ධානය සමග ආණ්ඩුව පවත්වාගෙන ගියොත් මුහුණ දෙන්නේ කොහොමද?

අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ අය කියන දේවල් මම හිතන්නෑ සිදුවේවි කියලා. අපේ වැඩපිළිවෙළ අපි දියත් කරගෙන යනවා. ජනතාව අපිට ඡන්දෙ දුන්නු හේතු වෙනුවෙන් පෙනී සිටිනවා. පෞද්ගලීකරණය ඇතුළු රජයේ අකටයුතුකම් වෙනුවෙන් විපක්ෂය විදියට අපේ විරෝධය පළ කරනවා. මට පේන විදියට මේ කට්ටියට අනිවාර්යයෙන්ම ඉදිරියේදී මැතිවරණයකට යන්න වෙනවා. තවදුරටත් බලයේ රැඳී සිටීමට මේ අයට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලයි මම හිතන්නේ.

මහ මැතිවරණයක් පැමිණියහොත් පොදුජන පෙරමුණෙන්මද ඔබතුමාලා තරග කරන්නේ?

ජනතාව කියන එක එපැයි මම කරන්න. ජනතාවගේ ඉල්ලීම අනුව කටයුතු කරනවා. මේ පක්ෂය පෙරමුණක්. පොදුජන පෙරමුණ කියන්නේ ජනතාව එකතු වූ බලවේගයක්.

ඉදිරි ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය පැවැත්විය යුතුයි කියලද ඔබ අදහස් කරන්නේ?

අනිවාර්යයෙන්ම. රටේ විශ්වාසයක් නැතිව ආණ්ඩු කරන්න බැහැනේ. රටේ විශ්වාසයක් තියෙනවා කියල හිතාගෙන ආණ්ඩු කළා. දැන් එයාලටම තේරෙනවා රටේ විශ්වාසයක් නැහැ කියලා. ඒක ජනතාව ඔප්පු කරල තියෙනවා. අද රාජ්‍ය සේවකයෝ, ව්‍යාපාරිකයෝ කනගාටුදායක තත්ත්වයකට පත්වෙලා. ආයෝජකයෝ එන්නෑ. මේ අය බොරුනේ කියන්නේ එනවා කියලා. මේ වගේ පාලනයක් දකිද්දි ආයෝජකයෝ හැරිලා දුවනවා.
යුරෝපා සංගමය විසින් මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සපයන රටක් වශයෙන් ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා. මේකෙන් ගොඩගන්න පක්ෂ දේශපාලනයෙන් එහාගිය වැඩපිළිවෙළක් හදාගන්න බැරිද?
ආණ්ඩුවක් තුළ දූෂිත වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යද්දී  රජය මැදිහත්ව කරයි කියලා අපිට හිතන්න බැහැ. ඉතිහාසයේ පළමු වතාවට තමන්ගේ ආණ්ඩුවේ පළමු මාසයේ ඉඳන් හොරකම් කරනවා කියලා ජනාධිපතිවරයාම පිළිගත්තා. ඒක කිව්වේ මම නෙමෙයි. විපක්ෂයට ඉස්සෙල්ලා ජනාධිපතිවරයා කිව්වේ. මගේ ආණ්ඩුව මීතොටමුල්ල කුණු කන්දක් කිව්වට පස්සේ ඊට එහා අපි කතා කරන්න ඕනද කියන එක ප්‍රශ්නයක්. කුණු කන්දක් තුළ රට පාලනය කරන්න අමාරුයි. මෙහෙම කියද්දී රටට ආයෝජකයෝ ඒවිද? කළු සල්ලි පිළිබඳව, එහාට මෙහාට වුණු ගනුදෙනු ගැන ආණ්ඩුවට විරුද්ධව චෝදනා රාශියක් තියෙනවා.

දූෂණයට එරෙහි ප්‍රතිපත්තිය, වයිෆයි ගමට ගෙනියන ප්‍රතිපත්තිය මැතිවරණයෙන් පරාජයට පත්වෙලා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

ඒ නිසා  තමයි ආණ්ඩුවට අස්වෙලා යන්න කියන්නේ. මැතිවරණයකට මුහුණ දෙන්න කියන්නේ ඒ නිසා තමයි. මේක ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට ඉදිරියට යන්න බැහැ. අපි ඉන්නේ විපක්ෂයේ.

මහ මැතිවරණයකින් ආණ්ඩුවක් අරන් රට දියුණු කරන්න ඔබ ළඟ වැඩපිළිවෙළක් තියෙනවද?

අපි කරපු දේවල් ගැන මම කතා කරන්න කැමති නැහැ. නමුත් 2005 මට රට දෙනකොට ණය ප්‍රතිශතයක් වශයෙන් සියයට එකසිය තුනයි. ඒක අපි 70ට අඩු කළා. විරැකියාව අඩු කළා. ආර්ථික වර්ධනය වැඩි වුණා. ඒකපුද්ගල ආදායම වැඩි කළා. නිදහස ලැබුණු දවසේ ඉඳන් එක්දාස් ගාණට තිබුණු එම අගය අපි තුන්දාස් ගාණට වැඩි කළා. අපිට වැටුණු ආර්ථිකයක් දුන්නේ. මහ ලොකු නෙළුම් මලක් පිපුණු ආර්ථිකයක් නෙමෙයි. අපි යුද්ධයකුත් ඉවර කරලා රටේ සවර්ධනයකුත් ඇති කළා. අපි තෙල් බැරලය ඩොලර් 138ට ගත්තා. මේ ආණ්ඩුවට ලැබුණේ 126ට. ඉතිරි සල්ලිවලට මොකද වුණේ. අවුරුදු තුනක් සංවර්ධනය සම්පූර්ණයෙන් නැවැත්වුවා.  වැඩබිමක් වෙලා තිබුණු රට එකපාරටම මුඩුබිමක් බවට පත්වුණා. මේක තමයි මේ ආණ්ඩුවේ ඇත්ත තත්ත්වය. ඒක මිනිස්සු දැක්කා. මිනිස්සුන්ට දැනුණා. එහෙම නැතිව මේ ප්‍රතිඵලය මිනිස්සුන්ට එන්නෑ. දැන් මුළු රටම කුරහන් පාටින් තියෙනවා. මේ අත්දැකීම් එක්ක තමයි අපි වැඩ කරන්නේ.

උතුරු නැගෙනහිර පක්ෂ සමග එක්ව වැඩකරන්න සූදානම් නැද්ද?

අපි බලාගෙන ඉන්නවා. අපිට හදිස්සි නැහැ. සම්බන්ධන්ගේ විපක්ෂ නායකකම ජනතාව ප්‍රතික්ෂේප කරලා. ආණ්ඩුව මොකද දන්නෑ කියන්නේ. ආණ්ඩුව හරි තීන්දුවක් ගන්න ඕන කියල මම හිතනවා. අපි තමයි දැන් තියෙන නියම විපක්ෂය. දැන් තියෙන්නෙ විකෘති පාර්ලිමේන්තුවක්. ආණ්ඩුව හදන්න උදව් කළ අයට තනතුරු දුන් පාර්ලිමේන්තුවක් තියෙන්නේ.

අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න සූදානම්ද?

 ජනතාව  උත්තර දීලා තියෙනවා. මීට වඩා විශ්වාසභංගයක් තවත් අවශ්‍ය නැහැ. අපි කියන්නේ මැතිවරණයක් තියන්න කියලා.

දූෂණ වංචා සිදුනොවන ආකාරයෙන් පළාත් පාලන ආයතනවල පාලනයන් ගෙනයමින්  ඔබතුමාලට ලැබී තිබෙන ජනවරම ආරක්ෂා කරගන්නා ආකාරය පැහැදිලි කළොත් ?

අපි පාලනය කරන හැම ප්‍රාදේශීය සභාවකම ක්‍රියාකලාපය ගැන සොයා බලන්න, උපදෙස් දෙන්න අපි කටයුතු කරනවා. අපි වගකීම බාරගෙන නිතරම සෙවිල්ලෙන් විමසිල්ලෙන් ඉන්නවා. ජනතාව අපිට දීල තියෙන විශ්වාසය කඩකරන්න කාටවත් ඉඩ තියන්නේ නැහැ.

අමිත් මධුරංග/ ඡායාරූපය - ඉසුරු පෙරේරා

අපිට හදිස්සියක් නැහැ හැබැයි ජනතාවට හදිස්සියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Champa on (2018-02-13 08:06:56)

Politicians are in a great hurry, I can see that. But are people also in a hurry? I don't think so Mr. former President. --- If people were in a hurry to change the government or the President, the voter turnout should have been over 80%. But the voter turnout at the LG election was only distant 65% even after repeated requests to consider this election as a referendum which shows that people are fed up with the present politician lot, both in the government and in the opposition. -- SLPP is not a new party. It is the same old bottle with a new label which covers the entire bottle concealing its contents from people. SLPP has no policies, no principles, no plans of action, not even an address. People yearn for a true change, a new leader who has his own vision, his own policies that are new to the country, a new perspective to old problems, a man who could bring in new practical solutions, a man who has no grudge against others, though I don't see any such leadership yet. ---.People will never forget you, Mr. former President. Why do you want to come back to power from the back door? There is no need for you to stand under Basil's umbrella. Once upon a time you were a charismatic admirable leader who took the entire country under your canopy. You shook the world with your fearless leadership. Why settle for less and be under obligation even to your brothers? Have patience.

Posted by Deepal Nirosh on (2018-02-13 23:11:44)

දැන් ජනමතය පැහැදිලියි. ඉස් ඉස්සෙල්ලාම කළ යුත්තේ රාජ්‍ය බලය යොදා ඔබ පාර්ශ්වයට අහිමි කළ පාර්ලිමේන්තු විපක්ෂ නායකධුරය දිනා ගැනීමයි. මහ මැතිවරණයක් දැන්ම අවශ්‍ය නැහැ. ඒ වගේම වංචා දූෂණ අවම පාලන තත්ත්‍රයක් දිනාගත් පළාත් පාලනායතනවල ස්ථාපිත කළ පෙන්විය යුතුයි.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :