ජනපති විසින් ඉදිරි පැය 24 ඇතුළත අගමැති, ඇමතිවරු වෙනස් කිරීම ගැන තීරණ නොගත්තොත් මීට වඩා අන්ත පරාජයක් ලැබේවි
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2018-02-12 10:06:37
Comments - 6       Views - 8138

පළාත් පාලන ආයතන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූයේ ප්‍රධාන පක්‍ෂ සියල්ල පසෙකළා ආණ්ඩු පක්‍ෂයත් නොවූ විරුද්ධ පක්‍ෂයත් නොවූ පොදුජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක් ලබාදෙමිනි. එක් ආකාරයකින් මෙය මිනිසුන්ගේ නිහඬ විප්ලවයකි. ලාංකේය ජනයා එසේ ප්‍රකාශ කළ ස්වකීය ඡන්දයේ නිරූපිත විවිධ පැතිකඩයන්, ලබාගත් ජයග්‍රහණ, පරාජයන් පිළිබඳ හා පක්‍ෂ නායකත්වයේ ස්වරූපය 'අද' හමුවේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ විද්වත්හු මෙලෙස අදහස් දැක්වූහ. 


චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එජාපයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පූට්ටු කරලා ඒ බරපතළ සූදු‍ෙව් අන්තපරාජයට පත්වුණා 

ජිනීවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක

මේ මැතිවරණ ප්‍රතිඵලය නිකම්ම නිකම් ප්‍රතිඵලයක් නෙමෙයි. මෙය හුදෙක් ජය පරාජය පිළිබඳ ප්‍රශ්නයක්ද නෙමෙයි. මෙතැන සිදුව තිබෙන්නේ නිහඬ විප්ලවයක්. නිහඬ විප්ලවය යන යෙදුම මුලින්ම භාවිත වූයේ 1956 යූ.එන්.පී. ආණ්ඩු විරෝධයට. මීළඟට 1970 දී මෙවැනි විප්ලවයක් සිදු වුණා. එය දෙවැනි නිහඬ විප්ලවය ලෙස හැඳින්වුණා. මේ අනුව නිහඬ විප්ලවයන් දෙකක් ගැන තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කතා වුණේ. නමුත් දැන් මේ සිදුවෙලා තිබෙන්නේ තුන්වැනි නිහඬ විප්ලවයයි. ආණ්ඩු මාරු වීමක් සිදු නොවුණත් මෙය පහළ මට්ටමින් සිදු වූ නිහඬ විප්ලවයක්. ඡන්ද ප්‍රතිඵල අනුව අපට පෙනී යන්නේ 56 හෝ 70 දී ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ පිල ලබාගෙන ඇති බවයි. මේ ප්‍රතිඵලයේ අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ ද්විත්ව තත්ත්වයක් ඇතිවීම. දේශපාලන විද්‍යාවේ තිබෙන මෙම යෙදුම ආරම්භ වෙන්නේ 1917 වර්ෂයේ රුසියානු විප්ලවයත් සමග. අද ලංකාවේත් උද්ගත වන්නේ මේ ද්විත්ව බල තත්ත්වයයි. පාර්ලිමේන්තුවේ එක තත්ත්වයක් තිබෙනවා. නමුත් රටේ සැබැවින්ම තව තත්ත්වයක් තිබෙනවා. එය මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් මැනැවින් පිළිබිඹු වෙන දෙයක්. 

මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණයේ සුවිශේෂම දෙය වන්නේ ආණ්ඩු බලයක් නොමැතිව ආණ්ඩු පක්‍ෂයේ සිටින සුවිශේෂ පක්‍ෂ දෙකක් පරාජය කරමින් තමන්ට හිමිවීමට තිබූ විපක්‍ෂ නායකකමත් නැතිව ලබපු ජයග්‍රහණයක් වීම. ඡන්ද ප්‍රතිඵල අනුව ගත්තහම මහින්ද රාජපක්‍ෂයේ 2005 හා 2010 ඡන්ද ප්‍රතිඵලවලට මේ ප්‍රතිඵලය නෑකම් කියනවා. මේක අලුත් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දෙමින් ලබාගත් විශාල ජයග්‍රහණයක්. 56 පෙරළියේ පතාක යෝධයෝ තුන්දෙනාගෙන් දෙදෙනෙකුගේ පුත්තු දෙන්නෙක් තමයි අද විපක්‍ෂයට නායකත්වය දෙන්නේ. ඩී.ඒ. රාජපක්‍ෂ මහත්තයාගේ පුතා මහින්ද රාජපක්‍ෂ හා පිලිප් ගුණවර්ධනයේ පුතා වන දිනේෂ් ගුණවර්ධන යන අය. ඇත්තෙන්ම 56 විප්ලවයේ දොංකාරයක් තමයි මේ රැව් දුන්නේ. නමුත් වෙනසට තිබෙන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ හා මැතිනියගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පූට්ටු කරලා ඒ බරපතළ සූදුවේ අන්තපරාජයට පත්වීම. 

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එකසත් ජාතික පක්‍ෂයේ ව්‍යාපෘතියක් වූ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන උත්සාහය අසාර්ථක වූ නිසා අද රටට විශාල අර්බුදයකින් තොරව ගමන් කරන්න හැකිවෙලා තිබෙනවා. ඒකට හේතුව සිරිසේන ජනාධිපතිවරයාගේ පක්‍ෂය පරාජය වුවත්, එතුමාට රාජ්‍ය හා ආණ්ඩු බලය නිල වශයෙන් තිබෙන නිසා. සමාජයේ තිබෙන මහජන මතයට අනුකූලව සහ එය නිවැරදිව ප්‍රතිබිම්බනය වන අකාරයටත් ආණ්ඩුවේ ප්‍රතිබිම්බය හා දිශානතිය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට ඇති තරම් බලය තිබෙනවා. අගමැති, ඇමතිවරු වෙනස් කිරීමට මේ යටතේ ඔහුට පුළුවන්. ඉදිරි පැය 24ක් ඇතුළත් ඔහු මෙවන් දෙයක් සිදුකරන්නේ නම් මීළඟට එළැඹෙන පළාත් සභා ඡන්දයේදී මීට වඩා අන්ත පරාජයකට ආණ්ඩුවේ පක්‍ෂ ගමන් කිරීම වළක්වන්න පුළුවන්. ඒ තීන්දුව තිබෙන්නෙ එතුමාගේ අතේ. 
ලංකාවේ තිබෙන වටිනාම වස්තු තමයි ත්‍රස්තවාදීන් පරාජය කර රට එක්සේසත් කරන්න පුළුවන් වීම හා දිර්ඝ කාලීන වශයෙන් බහු පක්‍ෂ ක්‍රමයක් පවත්වාගෙන යෑම. 2015 මැතිවරණයෙන් පසුව සිදු වූයේ ලංකාව පවත්වාගෙන ගිය සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වුවමනාවෙන්ම යම්කිසි විකෘතියකට පත්වීම. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කොටසක් එක්සත් ජාතික පක්‍ෂයට ගැටගැසීම නිසා මේ තරගකාරී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ විශාල විකෘතියක් ඇති වෙනවා. 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පින්සිදු වෙන්න 2/3ක වැඩි බලයක් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන නිසා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ඉතාම වැරදි ගමනක් එම පක්‍ෂයත්, ආණ්ඩුවත් ගෙන ගියා. 2015 මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රබල විපක්‍ෂයක් ලෙස සිටියා නම් එක්සත් ජාතික පක්‍ෂය මේ අයුරින් නරක විදියට හැසිරෙන්නේ නැහැ. ටී.එන්.ඒ. සංවිධානය රටේ 70 වැනි නිදහස් උත්සවය පවා සහාභාගි වීම ප්‍රතික්‍ෂේප කළා. විපක්‍ෂ නායකයා ඒ උත්සවයට සහාභාගි වුණේ නැහැ. මහජනතාවට මෙවැනි දේ දරාගන්න බැරි තත්ත්වයක් තිබුණේ.

මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්ඩු බලයේ සිටි කාලයේ කළ දේවල් මතකයේ තබාගෙන, මේ ආණ්ඩු පාලනය පිළිබඳ ඇති අකැමැත්ත නිසා පොදුජන එක්සත් පෙරමුණට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා.  එක්සත් ජාතික පක්‍ෂයට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වහාම කටයුතු කරන්න වෙනවා. තව මාස කිහිපයකින් පළාත් සභා ඡන්දය පැවැත්වෙනවා. ලබන වර්ෂය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. ඊට මාස කිහිපයකට පසුව පාර්ලිමේන්තු ඡන්දයක්ද පවත්වන්න නියමිතයි. ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂයට අද තිබෙන්නෙ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන් සිතන්න අවශ්‍යයි 1994 වර්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තමන්ට අත්වුණු ඉරණම පිළිබඳව. කවුද හිතුවේ 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියලා. කවුද දන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් පොහොට්ටුව වැනි පක්‍ෂයක් හදාගෙන ඉන් ඉවත් වෙයි කියලා. එය සිදුවිය යුතු නැහැ. නමුත් එය සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස දවසක් හරි පක්‍ෂයේ නායකත්වයේ තබා ගැනීම තුළ. 

භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉක්මනින් මැතිවරණයක් තුළින් ආණ්ඩුවක් පත්කර ගන්න

ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායකmohan-samaranayake

පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සමස්ත ප්‍රතිඵලය තුළින් මට සිහිගන්වන්නේ 1970 වර්ෂයේ මැතිවරණය හා 1977 මහා මැතිවරණ පිළිබඳවයි. 1970 මහා මැතිවරණයේදී සමගි පෙරමුණ 2/3ක බලයක් අත්කර ගත්තා. ප්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂය බලවත් පරාජයකට පත්වුණා. 1977 දී එක්සත් ජාතික පක්‍ෂය මන්ත්‍රීවරුන් 168ක් සහිත ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරු 140ක් දිනා ගනිමින් 5/6ක බලයක් හිමිකර ගත්තා. ඒ හා සමාන සිදුවීමක් මෙවර මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගෙන සිටිනවා. අවුරුද්දක් හා මාස කිහිපයක් පමණ කාලයක් තුළ පිහිටවනු ලැබූ මෙම පක්‍ෂයේ ක්‍රියාකාරීන් පරිණත වුවත්, පක්‍ෂය අලුතින් පිහිටුවා ගත් එකක්. ඒ අනුව පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේදී ඊයේ(11දා) සවස් කාලය වනවිට 45.33%ක ප්‍රතිශතයක් හිමිකර ගෙන ඉදිරියෙන් සිටිනවා. මෙම මැතිවරණයේදී සමස්තයක් වශයෙන් රටේ ජනතාවගෙන් බහුතරයක් සමස්ත යහපාලන බලකායම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.  2015 වර්ෂයේදී යහපාලනය ගෙන එන්නට තේරී පත් වූ බලවේගයම එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම් හා පක්‍ෂයෙන් එළියට ගිය ඇමතිවරු පිරිස, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, බටහිර ධනවත් අධිපති රටවලින් මානව හිමිකම් පිළිබඳ කතා කරන සිවිල් සංවිධාන සහ ඊනියා අන්තර්ජාතික ප්‍රජාව හා ජාත්‍යන්තරය කියන සමස්ත ප්‍රජාව මහජනතාව මෙම මැතිවරණය මගින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. දෙමළ සන්ධානය බොහෝ විට පදනම් වන්නේ වාර්ගිකත්වය පදනම් කරගෙන. ආර්ථික, දේශපාලන සාධක නොවේ. ඒ නිසා එවැනි ප්‍රදේශවල ඔවුන් ජයග්‍රහණය කිරීම අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි. 

බහුතරයක් ජනයා මේ සියලු දෙනා ප්‍රතික්‍ෂේප කර තිබෙන්නේ ශාස්ත්‍රීය වශයෙන් ගැඹුරින් අධ්‍යයනයකින් නොවේ.  ඒ ඔවුන්ගේ හිතට  දැනෙන ආකාරයට. ඒ අනුව යහපාලන ආණ්ඩුව කරන ලද දේවල් හා ගන්නා ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සියල්ල තුළින් ජනතාවගේ සමස්තයට වේදනාවක් දැනීමයි. සෑම ජන ස්ථරයක්ම ඉන් පීඩාවට පත්වුණා. ගොවියන්, කම්කරුවන්, ආරක්‍ෂක නිලධාරීන්, වෛද්‍යවරුන් හා ශිෂ්‍යයන්ට මහත් දුක්ගැනවිල්ලක් තිබුණා මේ යහාපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයත් සමග. 

නමුත් ජනතාවට සහනයක් සලසන කරුණු කාරණා කිහිපයක්ද යහපාලන ආණ්ඩුව විසින් ඉටුකළා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් මිල අඩු කළත් පසුකාලීනව බදු වැඩි කිරීම් හා බඩු මිල වැඩි කිරීම් නිසා ජනතාව පීඩාවට පත්ව සිටියා. අන්න ඒ හේතු තත්ත්වයන් තමයි පෙබරවාරි 10 වැනිදා පොදුජන පෙරමුණට ලැබෙන ඡන්දවලින් පෙන්නුම් කරන්නෙ. 

ඔවුන්ට අවශ්‍ය වුණා අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. එකී අවශ්‍යතාව තිබුණේ දමිළ ජාතික සන්ධානයටයි, බටහිර අධිපතිවාදී රටවලට හා ජාත්‍යන්තරයෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධානවලටයි. ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වරදක් නොවේ. නමුත් බහුතරයක් අමනාප කර ගනිමින් ඉතාම අනුවණ ලෙස ආරක්‍ෂක හමුදාව විදේශිකයක්ට පවාදීමේ උවමනාවට මානව හිමිකම් කවුන්සිලයට එකඟ වුණා. තැපැල් ඡන්දවලින් බහුතරයක් නියෝජනය වන ආරක්‍ෂක අංශ මේ ආණ්ඩුව පිළිබඳ ඇති කලකිරීම එයින් මැනවින් නිරූපණය වෙනවා. තමන්ගේ ආරක්‍ෂක අංශය මේ ලෙස පාවාදීම මේ දක්නා ලොව කිසිදු රටක් සිදු නොකළ දෙයක්. මේ ආණ්ඩුව බලයට පැමිණිලා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට නොහැකිව වෙනත් පක්‍ෂ හා එක්වෙමින් අටවපු ආණ්ඩුවක් මගින් රටේ සම්පත් විදේශිකයන්ට විකුණන්න පටන් ගත්තා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ තමයි අපේ මෑත මතකයන් කරා දිව යන්නේ. නමුත් සැලසුම් කළ බොහෝ පිඹුරුපත් තිබෙනවා. නමුත් ඒවා එළියට ආවේ නැහැ. ඔවුන් සිතුවා රාජ්‍ය බැංකු සියල්ල පෞද්ගලීකරණය කරන්න. පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාල පෞද්ගලික ආයතන බවට පත් කරන්න. එවැනි ආර්ථික මාදිලියක් තමයි මේ රට අනුගමනය කරන්න පටන් ගත්තෙ. මේ නිසා ජනතාව පීඩාවට පත්වුණා. මෙවැනි ආර්ථික මාදිලියකින් ආර්ථික වාසියක් අත්කර ගත් ලොව කිසිදු රටක් නැහැ. මේ ක්‍රියාදාමයේදී ඔවුන් ඒ පිළිබඳ ජනතාවගෙන් නැගුණු ප්‍රතිවිරෝධය මර්දනයෙන් යටපත් කරන්න උත්සහා කළා. සංස්ථා සේවකයන්ගේ වර්ජනය, හම්බන්තොට විරෝධතාව යනාදී සියල්ල කඳුළු ගෑස්වලින් තමයි ඔවුන් යටපත් කළේ. ඔවුන් එය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වන්න උත්සාහ කළා. 

යහපාලනය එන්නේ දූෂණය පිටුදකින්න කියලා. එසේ කියා පැමිණෙන මොවුන් ලංකා ඉතාහාසයේ දැවැන්තම දූෂණය කරනවා. ඒ දූෂණය යටපත් කිරීම සඳහා ජනාධිපති හා අගමැති තමන්ට පුළුවන් හැමදේම කළා.  ඔවුන් අකාරුණික ලෙස බදු වැඩි කළා. වෛද්‍යවරයෙක් චැනල් කළ පසු එයිනුත් බදු ගන්නා අකාරයට මොවුන් කටයුතු කළා. මේ සියල්ල හමුවේ නිහඬව සිටි ජනතාවගේ මතය තමයි මේ මැතිවරණයෙන් ප්‍රකාශයට පත්වුණේ. 

2015 ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා වුවත්, පාලන ක්‍රමයේ නියාමකයා වූයෙත්, සැබෑ ප්‍රතිපත්ති සම්පාදකයා වූයෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. ඔහු ළඟ තිබෙන්නේ අන්ත දක්ෂිණාංශික දේශපාලන ක්‍රමයක්. ඔහුගේ පිළිවෙතට ජනතාවගේ කිසිදු කැමැත්තක් නොවන බවත් මෙයින් පැහැදිලි වෙන දෙයක්. සිරිසේන මහතාව ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙස ගෙන එන්නේ මේ සඳහා සැලසුම් කළ බලවේගවලට බලයට පත්වීම සඳහා මිස සිරිසේන මහතා ගැන තිබෙන ඇල්මක් නිසා නෙමෙයි. එක්සත් ජාතික පක්‍ෂ, දෙමළ ජාතික සන්ධානය, ඩයස්පෝරාව යන අයගේ නියෝජනයක් තමයි එයින් නියෝජනය වුණේ. ඇත්තෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට තිබුණේ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගැටුමක් නම් එය ඇතුළෙ සටන් කර විසඳා ගැනීම හෝ එයින් ඉවත් වී තමන්ගේ දේශපාලනයේ නියැළීමයි. මේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයා ඉතා නරක අයුරින් ජනතාව ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මෙය ඉතා ශෝචනීය කාරණාවක්. ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ තමන් පිළිබඳ චිත්‍රයක් මවා පෙන්නුවේ තමන් දූෂිතයන් සමග ආණ්ඩු නොකරන බව දක්වමින්. නමුත් යම් ලෙසකින් ජනාධිපතිවරයා මුළා කිරීමක් මේ යටතේ සිදු වුණා. ඒවාගේම පක්‍ෂයේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වී තමන්ගේ සුඛවිහරණය හා වාසි අපේක්ෂාවෙන් ආණ්ඩු පක්‍ෂයට එකතු වූ අය සිටිනවා. ඇත්තෙන්ම මේ පිරිස දේශපාලන වසල බළකායක්. මෙය රටටත් ඉතාම අහිතකරයි. 

මේ සෑම දෙයකින්ම පොදුජන පෙරමුණට වුවත් තේරුම් ගැනීමට දෙයක් තිබෙනවා. මොවුන් මේ ජයග්‍රහණය හිමිකර ගන්නේ ජනතාව සමග ඇතිකර ගත් සමාජ සම්මුතියකින් නොවේ. ඔවුන්ට ප්‍රතිපත්තියක් හෝ නිශ්චිත දර්ශනයක් තිබුණේ නැහැ.  පොදුජන පෙරමුණ මෙවැනි ජයග්‍රහණයක් අත්කර ගන්නේ ආණ්ඩුවේ වැරදි නිසා මිස ඔවුන්ගේ ශක්තිමත් හා තර්කානුකූල දැක්ම නිසා නොවේ. ඉදිරි කාලයේ පොදුජන පෙරමුණ රාජ්‍ය බලය ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් බලයට පැමිණි පසු මේ දේවල් කරනවා හෝ මේ දේවල් කරන්නේ නැහැ යන්න පිළිබඳ ජනතාව සමග සම්මුතියකට යා යුතුයි. නැති නම් රටට පැහැදිලි අනාගතයක් හිමිවෙන්නේ නැහැ. නැති නම් මේ මැතිවරණයෙන් පැමිණි උද්දාමය නැවත වාෂ්ප වී යාවි. අනෙක් අතට ආණ්ඩු කිරීමේදී මේ සමග අර්බුදයක් අනිවාර්යයෙන්ම ගොඩනැගෙනවා. මොකද යහපාලන ආණුඩවට රාජ්‍ය පාලනය කිරීමට සිදුවන්නේ මහජනතාවගේ සහයෝගයක් නොමැතිව. ආණ්ඩුව තුළ ගැටලු, හැලහැප්පීම් සිදුවෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්‍ෂමතාව අඩු වෙනවා. මේ අර්බුදය රටට දිගු කාලීන වශයෙන් අනර්ථකාරී නිසා කළ යුත්තේ පක්‍ෂ නායකයන් එකතු වී භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉක්මනින් මැතිවරණයක් තුළින් ආණ්ඩුවක් පත්කර ගන්න අවස්ථාව සලසා දීමයි.

 

සෑම දේශපාලන පක්ෂයක්ම මේ ඉලක්කම් යටින් තිබෙන පණිවුඩය හොඳින් හැදෑරිය යුතුයි

ආචාර්ය ගාමිණී සමරනායක

මෙය ලාං‍ෙක්ය දේශපාලන ඉතිහාසයේ පැවතුණු විශේෂ පළාත් පාලන මැතිවරණයක්. එක් අතකින් මෙය ජාතික වශයෙන් පැවතීම එක හේතුවක් වෙනවා. මොකද, පළාත් පාලන ආයතන 340ක් සඳහා මේ මැතිවරණය පැවතුණා. අනෙක් කාරණය වන්නේ මේ මැතිවරණයත් gaminiසමග බලයේ පවතින ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආණ්ඩුව පරාජයට පත්වීම. ඒ අනුව ගත්තහම මෙය තීරණාත්මක මැතිවරණයක්. මෙවැනි මැතවරණයකදී ජනතාව මූලික වශයෙන් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරනවා. විශේෂයෙන් පක්ෂ නායකත්වය, පක්ෂයට නායකත්වය දෙනුයේ කවරෙක්ද කියන කාරණය, පක්ෂය හා පක්ෂයේ ප්‍රතිපත්තිය යන කරුණු කාරණා. එය 2015 කඩඉමක් වශයෙන් අපි ගන්නවා නම් මෙම මැතිවරණයේ නිල වශයෙන් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පැහැදිලි වශයෙන්ම දෝලනය වීමක් සිදුවෙලා තිබෙනවා.
සියලු පක්ෂ අභිභවා උතුරු නැගෙනහිර පළාත් ඇරුණුකොට වැඩි වශයෙන් සිංහල ජනතාව වාසය කරන ප්‍රදේශවල ඡන්දය අලුත් පක්ෂයට දෝලනය වී තිබෙනවා. එය ඇත්තෙන්ම විශේෂිත වූ දෙයක්. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය අලුත් ලාංඡනයක් යටතේ ඉතා මෑතකදී පිහිටුවා ගත් පක්ෂයක්. නමුත් පලපුරුදු දේශපාලනඥයන් සිටින පක්ෂයක්. සමහර විට එක්සත් ජාතික පක්ෂය සිතන්නට ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් කිහිපයකට කැඩී බිඳීඇති නිසා ඔවුන්ට පහසුවෙන්ම අවස්ථාව හිමි වෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණත් සිතන්නට ඇත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂය මෙලෙස විසිරී තිබියදී තමන්ට ඒ තුළින් වාසියක් ගත හැකියි කියා. නමුත් මේ සියල්ල යටපත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණේ නිල වශයෙන්  නායකයා ප්‍රකාශ නොකළත් එහි නායකත්වය හොඹවනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. එතුමාගේ වශීකරණාත්මක නායකත්වය මේ යටතේ ජයග්‍රහණය කර තිබෙනවා. අප වැනි රටකට ජාතික හෝ ජාත්‍යන්තර බලවේගයන්ට හසුනොවී සිටීමට එවැනි නායකත්වයක් අත්‍යවශ්‍යයෙන්ම තිබෙන්නට අවශ්‍යයි. මෙයින් පෙන්නුම් කරන්නේ ජනතාවගේ අභිලාෂය එතුමා නායකයා වශයෙන් තබාගැනීම යන්නයි. අලුත් පක්ෂයක් වශයෙන් ඔවුන් ලබාගත් ජයග්‍රහණය ඉතා විශිෂ්ටයි. මෙහි ලාංඡනය  හා පක්ෂ නාමය අලුත් වුවත් ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පවා බහුතර බලය ඔවුන්ට හිමි වී තිබෙන තරමටම එම පක්ෂය මිනිසුන්ට සමීප වෙලා තිබෙනවා. මිශ්‍ර ජාතීන් සිටින නාගරික ප්‍රදේශවලට වඩා සාමාන්‍ය ජනතාව සිටින පළාත්වල මොවුන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා තිබෙනවා. 

සමාන්‍ය සම්මතයට අනුව පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලය හිමිවන්නේ ආණ්ඩු පක්ෂයට. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ එසේ වෙනත් පක්ෂ දිනුවහොත් ආණ්ඩුවේ මුදල් නොලැබෙන බවයි. මෙය ඇත්තෙන්ම මැතිවරණය උල්ලංඝනය කිරීමක්. නමුත් ජනතාව එකාවන්ව එක්ව සිටිමින් මෙලෙස පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කිරීම මගින් පැහැදිලි වන්නේ මේ රටේ ඡන්දදායකයාගේ දේශපාලන විඥානය ඉතා ඉහළ බවයි. 

ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 50ක් වැනි කාලයක සිට මේ රටේ දේශපාලනයේ නියුතු වන පිරිසක්. ඔවුන්ගේ මැතිවරණ සටන් පාඨය ලෙස භාවිත කළේ %දූෂණය පිටුදැකීම^ යන්නයි. ඔවුන් පෙනී සිටියේ මේ රටේ දූෂණ විරෝධී නායකයන් ලෙසට. නමුත් දූෂණයට වඩා ඔවුන්ගේ භීෂණය මේ පරාජයට හේතුව බව ජනතාව හොඳින්ම දන්නවා. 

පසුගිය ජනාධිපතිවරණයේදී එක්තරා ආකාරයට විකෘති මැතිවරණ ප්‍රතිඵලයක් ඇති කළා කියා මා සිතනවා. ඒ තුළින් තමයි පසුගිය කාලයේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණේ. නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් නැවතත් එය යථා තත්ත්වයට පත් කරන්න හැකි වුණා. මහජන මතය මේ මැතිවරණයෙන් ප්‍රකාශයට පත් වී තිබෙනවා. පසුගිය කාලයේ ජාත්‍යන්තර මතය රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරලා ඔවුන් හිතුවේ බහුතර මතයට පිටුපාලා ව්‍යවස්ථාව වෙනස් කරන්න. ව්‍යවස්ථාවක් වෙනස් කළ යුත්තේ රටේ බහුතර මතය නියෝජනය වන අයුරින්. නමුත් ඉතාම මුරණ්ඩු ලෙස එය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සිතුවේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. විපක්ෂය ලෙස ද්‍රවිඩ ජාතික සංවිධානයට බලය ලබා දී ඔවුන් සිතුවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගන්න. 

ඒ වැරැද්දම ජේ.ආර් ජයවර්ධන මහතාත් සිදුකළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය පවා නැති කරලා දේශපාලනයෙන් ඉවත් කරන්න හැදුවා. අද මේ තත්ත්වය විපක්ෂ නායක සම්බන්ධන්ටවත් තේරුම් ගන්න බැරි දෙයක් වෙලා තියෙනවා. නමුත් අද බහුතර ජනාතාවක් සිටින්නේ පොදුජන පෙරමුණත් සමගයි. අපි කියන සිංහල බෞද්ධ, හෝ අර්ධ නාගරික ප්‍රදේශවල බහුතර බලය තිබෙන්නේ පොදුජන පෙරමුණේ නායකත්වයට. 

ඒ වගේම අපි තවදුරටත් විසඳා ගත යුතු ගැටලු රැසක් තිබෙනවා. එවැනි රටක අපි ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය විදිහට නොවේ. එය පෞද්ගලික අංශයට යොමු වූ රජය සම්පූර්ණයෙන්ම ඉවත් වූ ප්‍රතිපත්තියකින් නොවිය යුතුයි. මේ ආණ්ඩුව විසින් බොහෝ දේවල් පෞද්ගලික අංශයට පැවරීම මේ ඡන්දය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපි විදේශ ප්‍රතිපත්තියේදී 1956 ප්‍රථම තිබූ පරිදිම බටහිර ගැති ප්‍රතිපත්තියකටයි එළඹී තිබෙන්නේ. අපි ඇමරිකාවට, ඉන්දියාවට සම්පූර්ණයෙන්ම යටවුණු, නිදහස් දිනයට පවා රාජකීය අංශයේ කිසිදා රජ නොවන කුමාරයෙක් ගෙන්වූ රටක්. එය ඉතාම අනුවන ක්‍රියාවක් ලෙස මම දකිනවා. ඇතැම් අවස්ථාවල රට පාවා දීම් සිදුකර තිබෙනවා. මේ මැතිවරණයෙන් ජනතාව ඒ සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

ඇත්තෙන්ම මෙය හුදු පළාත් පාලන මැතිවරණයක් නොවේ. මෙය පවත්නා ආණ්ඩුවට වගේම ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණවලටත් බලපානවා. මේ මැතිවරණයෙන් පසුව සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත්වල පළාත් සභා මැතිවරණ පවත්වන්න අවශ්‍යයි. මෙතැනදී උතුරු මැද හා සබරගමු පළාත්වල ඡන්ද ප්‍රතිඵල දැනටමත් ලියවිලා තිබෙන්නේ. අනෙක් පළාත් සභාවලටත් එසේමයි. මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණවලට මෙය ඉතාම තීරණාත්මක බලපෑමක් එල්ල කරනවා. මේ අනුව රටේ දේශපාලන ස්ථාවරත්වය මැනවින් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා මෙය ජාතික වශයෙන් නොව ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් උගන්වලා තිබෙනවා. සෑම දේශපාලන නායකයෙක්ම හා සෑම දේශපාලන පක්ෂයක්ම මේ ඉලක්කම් යටින් තිබෙන පණිවුඩය හොඳින් හැදෑරිය යුතුයි. විශේෂයෙන්ම මේ මැතිවරණය වර්තමාන ජනාධිපතිවරයාට බලපාන දෙයක්. අනෙක් අතට ඔහු නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් පක්ෂයටත් මෙවර මැතිවරණයෙන් හිමි වූයේ ඉතා අඩු ප්‍රතිශතයක්. ඇත්තෙන්ම ඔහුට එක්සත් ජනතා නිදහස් පක්ෂය පවා මෙහෙයවීමට හැකියාවක් නොමැති බව මෙයින් කාටත් පැහැදිලි වෙන  දෙයක්. මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පොළොන්නරුව ප්‍රදේශයේ පවා බහුතර බලයක් හිමිකර ගැනීමට සමත් වූයේ පොදුජන පෙරමුණයි. මෙය ඇත්තෙන්ම ජනවරමක්. ඒ තුළින් බලයේ සිටින ආණ්ඩුවට තවදුරටත් සිටීමට හැකිදැයි ප්‍රශ්නයක් මතුකරනවා. ඔවුන්ට ක්ෂණික මැතිවරණයකට යන්න සිදුවෙනවා. විශේෂයෙන් සඳහන් කළොත් අලුත් සභාගයකට එන්න සිදුවෙනවා. එය පැහැදිලි වශයෙන් පෙන්නුම් කරන දෙයක්. බොහෝ චෝදනා අපවාද නගනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මේ තුළින් ඉස්මතු වුණා. එතුමා කිසිදු දේශපාලන නායකයෙකුට අපහාස වන පරිදි චරිත ඝාතන ප්‍රකාශයක් කිසිදු මැතිවරණ වේදිකාවක මෙතෙක් ප්‍රකාශ කර නැහැ. අනෙකුත් අයට නැති ආචාර ධර්මීය ප්‍රතිපත්තියක් ඔහුට තිබෙනවා. අද ජයග්‍රහණය කර තිබෙන්නේ එයයි. 

 

ජනපති විසින් ඉදිරි පැය 24 ඇතුළත අගමැති, ඇමතිවරු වෙනස් කිරීම ගැන තීරණ නොගත්තොත් මීට වඩා අන්ත පරාජයක් ලැබේවි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (6)
Posted by laksman on (2018-02-12 07:36:18)

samanupatha kramaya thibunanam mokada venne kiyala poddak hithala balanna

Posted by Siva on (2018-02-12 03:42:35)

me nayata kahina kenek kisima wenaskereema naha, paradunu kattiya amathi thanathuru walatine askaranna

Posted by King Peechang 1 on (2018-02-12 04:37:50)

The need of the hour is to make a UNP government and minimize Ministers number to 30. Paipayage niyayata kahina udaviyage upades apita one naha...

Posted by Medalankara de Choppe on (2018-02-12 11:51:13)

All the members of the sinhala parties should jump into the sea at mid ocean. They are useless crooks.

Posted by Champa on (2018-02-12 14:15:20)

Exactly. SLPP is not the government, not the opposition. So why should the President or the Parliament make changes based on a provincial election results? The motive is to form a UNP government in the Parliament with the help of JO. Is this for what people voted for? SLPP/JO is trying to intimidate the President to give the upper hand to Ranil in the government so that they can work according to the deal they had with UNP. People didn't vote UPFA to join with UNP. This is the game. This is why JO supported Ranil by taking part in the Constitutional Assembly. President is not under obligation to act on whims and fancies of the SLPP which has no representation at all in the Parliament. They had village councils. So they can run them. Their attempt to transfer the power to UNP should be thwarted. As long as Ranil is the leader of UNP, President can't appoint anybody from the UNP as the PM. SLPP should tell Ranil to resign from UNP's leadership. On the other hand President is not in a position to appoint someone from his side, out of 30 something as the PM too, as Ranil's side is strong. If JO thinks that they are the SLPP and that it was them who were instrumental of SLPP's victory, I don't see any reason for President to appoint someone as the PM from a party where there is no representation at all in the Parliament. JO is acting like children. Their claim is absurd. They don't know how to handle it.

Posted by Sri Lanka progressive front on (2018-02-13 00:04:20)

These three so called intellectuals are former boot lickers of Mahinda Rajapakshe and benefited immensely in various ways. All from Peradeniya University who did not have any following by the student body since they were lickers even during university days. They are not in any state of mind to do or conduct a proper analysis since they are very strongly subservient to MR. "ADA " should find more balanced critics to publish if you are unbiased.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :