දිනිල්ල
( . . ) 2018-02-09 09:20:20
Comments - 0       Views - 682

දිනිල්ලට උත්සාහ කරන අය බොහෝ වැඩිය. සමහරු හරි පාරෙන් බැරි නම්, හොර පාරෙන් හරි ගොස් දිනන්නට උත්සාහ දරති. දිනන බොහෝ දෙනා හිතන්න ඕන ඊළඟට පරාජය එන බවය. එහෙත් අද නම් දිනන බොහෝ දෙනා පරාජය බාර ගන්න කැමැති නැත. එක් කෙනෙක් දිනන්නේ කෙනෙක් පරද්දලාය. පැරදිච්ච අය නොසිටිනවා නම් දිනන කෙනෙක් ඉන්නටද බැරිය. බොහෝ විට දිනලා උදම් අනන අය පැරදුණු විට ලැජ්ජා වෙනවාය. දිනූ අය ජයපැන් බොන අතර, පැරදුණු අය වස බොන්නේ පරාජය දරාගන්න බැරි වූ විටය. දිනුව සමහර අය දිනුම උහුලාගන්න බැරිව පැරදුණු අයට නොයෙක් අඩන්තේට්ටම් කරති.

ක්‍රීඩාවලින් දිනන අයට බොහෝ දේවල් දිනා ගන්න පුළුවන් වෙනවාය. ක්‍රිකට් තරග දිනන අයට කුසලාන වගේම මුදල් සහ වටිනා තෑගිභෝග දිනාගන්න අවස්ථාව ලැබෙති. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් දිනා රටට කීර්තිය ලබාදෙන්න ඒ අයට හැකිය. ක්‍රිකට් දිනන අයට ලොකු වරප්‍රසාද ලැබුණද, සාහිත්‍ය තරගවලින් දිනන අයට ලැබෙනුයේ කිසිදු වටිනාකමක් නැති බෙලෙක් කැබලි පමණි. එයට හේතුව කලා තරගවලින් දිනිල්ල ක්‍රිකට් වගේ ලොකුවට ගණන් නොගැනීමය.
විභාග දිනිල්ල අද ඔක්කොමට වැඩිය අමාරුය. විභාගවලට ඉදිරිපත් වන අය වැඩිවෙන කොට දිනිල්ලද අමාරු වෙනවාය. පහේ ශිෂ්‍යත්වය දිනන එක හරිම අමාරුය. ඉස්කොලේ ගිහිල්ලා කොච්චර ඉගෙන ගත්තද, විභාග දිනිල්ලට නම් ටියුෂන් පන්ති යන්නම ඕනෑය. විශේෂයෙන්ම පන්තියේ උගන්වන ගුරුවරයාගේ ටියුෂන් පන්තිවලට ගියොත් දිනිල්ල තවත් ලේසි වෙනවාය. කෙතරම් මහන්සි වී විභාගය දිනුවද, සරසවි වරම් දිනිල්ලට නම් බොහොමත් අමාරුය. අපේ රටේ දරුවන් විභාග දිනිල්ලේ හැටියට සරසවිවලට ඇතුළු කරගන්න නම් ජාතික පාසල් වගේ හැම ගමකම විශ්වවිද්‍යාලය විවෘත කළ යුතුය. 

දුප්පත් දරුවාට %ඒ^ තුනක් අරගෙන සරසවි වරම් දිනිල්ලට බැරි වුවද, පොහොසත් අයගේ දරුවන්ට %එස්^ තුනක් ලබාගෙන සරසවි වරම් දිනිල්ලට අවස්ථාව ලැබෙන්නේය. එහෙම දිනන්නේ අධ්‍යාපනයට වඩා සල්ලි බලය නිසාවෙන්ය.
සූදුවට ගියත් හැම දෙනාටම දිනන්න බැරිය. සූදුවට ගොස් දිනූ විට තරගකාරයන් වැඩි වෙනවා යැයි කියනවාය. සූදුකාරයා හැමදාම දිනුවත් එක දවසක පරදින්නේ ඒ සියල්ලටම වැඩියෙන්ය. ඒ නිසා සූදුවට ගොස් දිනපු කෙනෙක් ඇත්තේම නැත. දුප්පතා ඔට්ටු අල්ලලා රුපියල් දාහ, දෙදාහ දිනුවද ධනවතා දිනන්නේ ලක්ෂ ගණනින්ය. ගමේ බූරුපොළ වටලා සේතන්ලා, කයිතන්ලා අත්අඩංගුවට ගන්නා පොලීසියේ ඇත්තෝ ලක්ෂ ගණන් දිනන පරිදන ලොකු සූදු ජාවාරම් අත්අඩංගුවට නොගන්නේ ලොක්කන්ට ඇති බය නිසාද කියා සැක සහිතය.
සමහර අය කිසිම ක්‍රීඩාවක් නොකළද, අනුන්ගේ දිනිල්ල පැරදිල්ල ගැන ඔට්ටු අල්ලා විශාල ලෙස මුදල් දිනති. එ්රොප්පේ දුවන අශ්වයන්ගේ දිනිල්ලට මෙහේ ඉඳන් ඔට්ටු අල්ලා ලොකු මුදල් දිනන අය සිටිති. ඉංග්‍රීසි අකුරක්වත් නොදන්න අය වුණත් ඉංග්‍රීසි පත්තර මුල සිට අගටත්, අග සිට මුලටත් කියවා අශ්වයන්ගේ දිනිල්ලට ඔට්ටු අල්ලති. සමහර තාත්තලාට තමන්ගේ දරුවාගේ උපන් දවස මතක නැති වුවද, එ්රොප්පෙ දුවලා දිනන අශ්වයන්ගේ පැටිකිරිය හොඳට මතකය.
දිනන්නට අමාරුම දිනිල්ල නඩු දිනිල්ලය. නඩු දිනන්නට නම් දක්ෂ නීතිඥ‘යෙකු ඇල්ලිය යුතුය. දිනිල්ල පැරදිල්ල සිදු වෙන්නේ නීතිඥයාගේ දැනුමට වැඩිය කටේ හයියටය. හොඳ නීතිඥයෙක් අල්ලා මහා අපරාධකාරයෝ නඩු දිනන නමුත් සල්ලි වියදම් කරන්න බැරි දුප්පතා පොල් ගෙඩිය හොරකම් කළාටත් සිරදඬුවම් විඳියි. සමහර ඉඩම් නඩු පරම්පරා ගණනක් ගිහිල්ලත් දිනන්න බැරි වෙන්නේ ඒ තරමට නඩු කල්යන නිසාවෙනි. නඩු ගිහිල්ලා පැමිණිල්ලත්, විත්තියත් පැරදුණද දිනන කෙනෙක් සිටියි. ඒ දිනන කෙනා නම් නඩුවට ඇල්ලූ පෙරකදෝරුවෝය.

යුද්ධ දිනන්න නම් සැලසුම් කර සටන් කරන්න ඕනෑය. ඉස්සර රජ කාලයේ අනුන්ගේ රට රාජ්‍ය අත්පත් කරගන්න යුද්ධ කරලා දිනුවේය. එහෙම දිගටම යුද්ධ කරලා දිනපු අය ඒ කාලේ සති ගණන් ජයපැන් බිව්වේය. පසුගිය අවුරුදු තිහක කාලයක් අපි උත්සාහ කළේ යුද්ධ කරලා ලෝකය දිනන්න නොව අපේ මේ පුංචි රට දිනවන්නටය. ඒත් මේ කාලේ ඇතැම් දේශපාළුවන් කරන්නේ කොටියා ඉස්සරහට දමා රට වෙනුවට ඡන්ද දිනිල්ලට උත්සාහ කිරීමය. එදා පමණක් නොව අද ද ඡන්ද දිනන්න හදන්නේ කොටි මැරුව බව කියමින්ය. 
බොහෝ අය උත්සාහ කරන්නේ බොරුවෙන් දිනිල්ලටය. එහෙත් එහෙම බොරුවෙන් දිනිල්ල තාවකාලික වන්නේ කවදා හෝ ඇත්ත හෙළි වූ පසු ඒ දිනිල්ල පැරදිල්ලක් බවට පත්වන නිසාවෙනි. 
අමාරුම දිනිල්ල නම් සිත් දිනිල්ලය. සිත දිනාගන්න බොහෝ දේවල් කරන අය සිටිති. කොල්ලා කෙල්ලගේ සිත දිනාගැනිල්ලට නොකරන දේවල් නොමැත. සමහරු කෙල්ලන් දිනාගන්න උන්ට නොයෙක් තෑගිභෝග, මුදල්හදල්ද නොමසුරුව පරිත්‍යාග කරති. කෙල්ලන් කොල්ලන්ගේ සිත් දිනාගන්නේ රුපියලක්වත් වියදම් නොකරය. ඔවුන් කොල්ලන් දිනාගන්නේ මායම්වලිනි. සිනාවෙන්, කතාවෙන් මෙන්ම කඳුළෙන්ද තමන් ඕනෑ කෙනා දිනාගන්නට ඔවුන් දක්ෂය. කොයි විදියකින් හෝ කෙනෙකුගේ ආලය දිනාගන්න බැරිවූ විට ගුරුකම්වලින් දිනලා දෙන ගුරුන්නාන්සේලා අපට ඕනෑතරම් සිටියි.

මෝඩයා පුංචි දෙයක් දිනාගෙන උදම් අනන්නේ ලෝකයම දිනාගත්තා ලෙසිනි. බුද්ධාගමේ උගන්වනුයේ ලොකුම දිනිල්ල පරාලොව දිනිල්ල බවය. 'දිනුවා නම් පරලොව දිනුවාමය' යනුවෙන් ලෝවැඩ සඟරාවේ කියන්නේ ඒ නිසාවෙනි. ඒත් බොහෝ දෙනා මේ ලොවදී සියල්ල දිනාගන්න උත්සාහ කරන්නේ පරලොවක් නැති යැයි විශ්වාස කරන නිසාවෙනි. එහෙත් එහෙම මෙලොව දිනන අය අනිවාර්යයෙන්ම පරලොවදී පරදින බව මතක තබා ගත යුතුය. 
ඡන්දවලදී දේශපාළුවන් හොර ඡන්ද දමා හෝ බඩු බෙදා‍ හෝ දිනන්න හදන්නේ ඡන්දය දිනාගත් පසු තව නොයෙක් දේ දිනාගැනීමට හැකි නිසාවෙනි. ඡන්දයෙන් දිනූ අයට ඊළඟට වැඩි වැටුප්, යානවාහන, මාලිගා, බිස්නස්, ගුවන් ගමන් හා තනතුරු දිනාගන්න අමාරු නැත්තේය. ඡන්දය ඉල්ලන අය එහෙම දිනාගත්තද කතිරේ ගහන අය නම් දිනනවා වෙනුවට හැමදාම පැරදිලාය.

දිනිල්ල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :